2023 ක්‍රීඩා පිටිය දෙස නැවත හැරී බැලීමක්

Sport Roundup 2023

636
Sport Roundup 2023

ගෙවුණු 2023 වසරේ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සුවිශේෂී අවස්ථා පිළිබඳ මතකය අවදි කර ගනිමු. 

දේශීය ක්‍රීඩා පිටිය 

තහනමක් සමඟ ඇරඹුම 

ගෙවුණු වර්ෂය ආරම්භයේ දී ම FIFA වෙතින් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට තහනමක් ගෙන ආ අතර එය මාස අටක පමණ කාලයක් පැවතීමෙන් පසුව පසුගිය අගෝස්තුවේ දී යම් කොන්දේසි මත නැවත ඉවත් කර ගත්තා. 

එමෙන්ම World Rugby වෙතින් ද ගෙවුන මැයි මාසයේ දී ශ්‍රී ලංකා රග්බි වෙත තහනමක් පැනවුන අතර එම නිසා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඔලිම්පික් කමිටු ධජය (OCA) යටතේ ක්‍රීඩා කිරීමට පවා සිදු වුනා. පසුගිය නොවැම්බර් මාසයේ දී එම තහනම ද නැවත ඉවත් කෙරුණා. 

2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාව 

අප්‍රේල් මස 27-30 දක්වා උස්බෙකිස්තානයේ දී පැවැත්වුණු මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලුපුල් පැහැසර (උස පැනීම), තුශේන් සිල්වා (රිටි පැනීම) රිදී පදක්කම් දිනා ගනිද්දී, අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු), නිර්මලී වික්‍රමසිංහ (මීටර් 800) ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුනා. සමස්ත පදක්කම් 4ක් සමඟින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 13 වැනි ස්ථානයට පත් වුනා. 

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාව 

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් ද්විත්වයක් හිමි වූ අතර ඒ ද්විත්වයට ම සම්මාදම් වීමට තරුශි කරුණාරත්න (මීටර් 800, මීටර් 400×4 කාන්තා) විසින් සමත් වුනා. 

මීට අමතරව තරුශි විසින් මීටර් 400 ඉසව්වෙන් ද රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා. එමෙන්ම එම ඉසව්වේ ලෝක පදක්කම ශ්‍රී ලංකාවේ ජයේශි උත්තරා විසින් හිමි කර ගනිද්දී පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ මලිත් යසිරු විසින් ද ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ බැබළෙන තරුව වීමට තරුශිට හැකි වුනා.
ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ බැබළෙන තරුව වීමට තරුශිට හැකි වුනා.

මෙම තරගාවලියේ දී සමස්ත පදක්කම් පහක් සමඟින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 7 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. 

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාව 

දකුණු කොරියාවේ දී පැවැත්වුණු මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී මැලේසියාව හමුවේ පරාජය වීමට සිදු වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පසුව හොංකොං කණ්ඩායමට එරෙහිව ලද ජයග්‍රහණය නිසා තරගාවලියේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. 

2023 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාව 

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් F64 පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමිත දුලාන් විසින් සමත් වූ අතර F46 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේශ් ප්‍රියන්ත විසින් ද ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළා. 

සමස්ත පදක්කම් දෙකක් සමඟින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 59 වැනි ස්ථානයේ රැඳුණා. 

2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාව 

ගෙවුණු වසරේ මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලාංකේය නාමය ඉහළින් ම රැඳවීමට සමත් වූ තරගාවලිය ලෙස මෙය හඳුන්වා දිය හැකියි. 

මෙහි දී ශ්‍රී ලංකාව විසින් රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමඟින් සමස්ත පදක්කම් 08ක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මේත් සමඟින් ම ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව් වැනි ස්ථානය ද හිමි කර ගත්තා. 

රන් පදක්කම්  

  • මීටර් 400 කාන්තා – නදීශා රාමනායක 
  • මීටර් 800 කාන්තා – තරුෂි කරුණාරත්න 
  • මීටර් 400×4 පිරිමි 

රිදී පදක්කම්   

  • මීටර් 400×4 කාන්තා 
  • මීටර් 400×4 මිශ්‍ර  

ලෝකඩ පදක්කම්  

  • හෙල්ල විසි කිරීම කාන්තා  
  • මීටර් 1500 කාන්තා – ගයන්තිකා අබේරත්න 
  • මීටර් 800 කාන්තා – ගයන්තිකා අබේරත්න 

Sport Roundup 2023කාන්තා දැල්පන්දු ලෝක කුසලානය  

මෙවර දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණු කාන්තා දැල්පන්දු ලෝක කුසලානය ශ්‍රී ලංකාවට එතරම් සුබ ඵල අත් කර දුන්නේ නැහැ. 

වත්මන් ආසියානු ශූරියන් ලෙස මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ඉදිරිපත් වුව ද, ඔවුන්ට තරගාවලියේ දී හිමි වුනේ අවසන් ස්ථානයයි. මෙහි දී සිංගප්පූරුව හමුවේ ද (ආසියානු අනු ශූරයින්) ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුනා. කෙසේ වෙතත් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම සිංගප්පූරුව හැරුණු කොට වෙනත් කණ්ඩායමක් පරාජය කිරීමේ ඓතිහාසික අවස්ථාව කරා එළඹීමට ශ්‍රී ලංකාව සමත් වුනේ බාබඩෝස් කණ්ඩායම පරාජය කරමිනුයි. 

මේ අතර මෙම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස හඳුන්වා දිය හැකි තර්ජනී ශිවලිංගම් ක්‍රීඩාවට සමු දීමට ද තීරණය කළා. 

Sport Roundup 2023යොවුන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල 

යොවුන් ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී ද පදක්කම් ජයග්‍රහණය කළ අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු) සහ නිලුපුල් පැහැසර (උස පැනීම) පිළිවලින් රිදී සහ ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

ආසියානු ක්‍රීඩා උළෙල 

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ආසියානු ක්‍රීඩා උලෙළක් නිමා කිරීමට මෙවර ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු අතර එහි වැඩි ගෞරවයක් මලල ක්‍රීඩක/ ක්‍රීඩිකාවන්ට හිමි වුනා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නදීශා ලේකම්ගේ (හෙල්ල විසි කිරීමෙන්) රිදී පදක්කම් ජයග්‍රහණය කරද්දී, කාන්තා සහ පිරිමි 400×4 කණ්ඩායම් ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් මෙම වසරේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ජාත්‍යන්තර අවධානයට ලක් කිරීමේ ප්‍රධානතම කොටස්කාරිය වූ තරුශි කරුණාරත්න විසින් වසර 21 කට පසු ආසියානු ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කර දීමට (මීටර් 800 ඉසව්වෙන්) සමත් වුනා. 

ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පදක්කම් සටහනේ 8 වැනි ස්ථානය සහ සමස්ත පදක්කම් සටහනේ 26 වැනි ස්ථානය දිනා ගත්තා. 

පැරා ආසියානු ක්‍රීඩා උළෙල 

පිරිමි T44 මීටර් 100 ඉසව්වෙන් නුවන් ඉන්දික සහ පිරිමි T46 මීටර් 1500 ඉසව්වෙන් ප්‍රදීප් සෝමසිරි විසින් දිනා ගත් රන් පදක්කම් දෙක ද ඇතුළුව ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලියේ දී සමස්ත පදක්කම් 11ක් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ පදක්කම් සටහනේ 18 වැනි ස්ථානය හිමි කර ගනිමිනුයි. 

විදෙස් ක්‍රීඩා පිටිය 

විදෙස් ක්‍රීඩා පිටිය දෙස අවධානය යොමු කිරීමේ දී ගෙවුණු වසරේ දී ක්‍රීඩා ඉසව් කිහිපයක ම ලෝක ශූරයින් තෝරා ගැනීම සිදු වුනා. 

එහි ආරම්භය 2023 ජනවාරි මාසයේ ඉන්දියාවේ පැවැත්වුණු පිරිමි හොකී ලෝක කුසලානය විසින් සනිටුහන් කළා. මෙහි ශූරතාව ජයග්‍රහණය කිරීමට ජර්මනිය විසින් සමත් වුනේ අවසන් තරගයේ දී බෙල්ජියමට එරෙහිව 5-4ක් ලෙස දඬුවම් පහර සාර්ථක කර ගනිමිනුයි. 

ඉන් පසුව 2022 වසරේ FIFA Club ලෝක කුසලාන අවසන් මහා තරගය Real Madrid සහ Al Hilal කණ්ඩායම් අතර පැවැත්වුණා. ඉතිහාසයේ 5 වැනි වරටත් මෙහි ශූරතාව දිනා ගැනීමට Real Madrid කණ්ඩායම විසින් සමත් වුනා. 

පසුව පෙබරවාරි සහ මාර්තු මාසවල දී පැවැත්වුණු Six Nations රග්බි ශූරතාව ජයග්‍රහණය කිරීමට අයර්ලන්තය විසින් සමත් වුනා. 

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණු දැල් පන්දු ලෝක කුසලානය ශ්‍රී ලංකාවට එතරම් සුබ මතකයක් නොවුණත් ඕස්ට්‍රේලියාව සිය අඛණ්ඩ ජයග්‍රහණය රැල්ල තවදුරටත් රඳවා ගැනීමට සමත් වුනා. 

Sport Roundup 2023ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 61-45ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව විසින් මෙහි දී සමත් වුනා. 

FIBA (පැසිපන්දු) ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී සර්බියාවට එරෙහිව ලකුණු 83-77ක් ලෙස තියුණු ජයක් ලැබූ ජර්මනිය විසින් නව ලෝක ශූරයින් බවට පත් වුනා. මෙහි දී පැසිපන්දු ලොව කිරුළු නොපලන් රජු වන ඇමරිකා එක්සත් ජනපදය තරගාවලියෙන් ඉවත් වීම බොහෝ කතාබහට ලක් වූ සිදු වීමක් වුනා. 

එමෙන්ම මෙවර ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වුණු FIFA (පාපන්දු) කාන්තා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤය විසින් සමත් වූ අතර මෙය ඔවුන්ගේ පළමු ලෝක ශූරතාව ලෙසයි සටහන් වුනේ. තරගාවලියේ අනුශූරතාව එංගලන්තයට හිමි වුනා. 

2023 රග්බි ලෝක කුසලානය ප්‍රංශයේ පැවැත්වුණේ ගෙවුණු සැප්තැම්බර් සහ ඔක්තෝබර මාස දෙකේ දීයි. මෙහි දී තරගාවලියේ අවසන් මහා තරගයට රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රබලතම කණ්ඩායම් යුගලය සුදුසුකම් ලැබු අතර එහි දී දකුණු අප්‍රිකාව විසින් නවසීලන්තයට එරෙහිව ලකුණු 12-11ක තියුණු ජයග්‍රහණයක් ලබමින් සිය සිව් වැනි ලෝක ශූරතාව ජයග්‍රහණය කළා. නමුත් පසුව මෙම ජයග්‍රහණය පිළිබඳ ව යම් ගැටලුකාරී තත්වයක් ද පැන නැගුණා. කෙසේ වෙතත් තවත් නිල වශයෙන් ම ලෝක ශූරයින් ලෙස කිරුළු දරන්නේ දකුණු අප්‍රිකාව විසිනුයි. 

Sport Roundup 2023මේ අතර වසර අවසානයේ පැවැත්වුණු 2023 FIFA Club ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට Manchester City කණ්ඩායම විසින් සමත් වූ අතර එය ඔවුන්ගේ පළමු Club World Cup ජයග්‍රහණය ලෙසයි සටහන් වුනේ. එමෙන්ම මෙම ජයග්‍රහණය සමඟින් 2023 තරග වාරය Manchester City ඉතිහාසයේ හොඳම තරග වාරයක් ලෙස ද ඉතිහාසයේ සටහන් වුනා. 

මලල ක්‍රීඩාවේ සලකුණ 

ගෙවුණු වසරේ දී ලෝක මලල ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පෙරට ආ නමුත් වසර අවසන් වන විට වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත් වීමට ස්වීඩනයේ රිටි පැනීමේ ශූර Armand Duplantis සහ කෙන්යාවේ දුර දිවීමේ ශූරී Faith Kipyegon හට අවස්ථාව හිමි වුනා. 

ඊට අමතරව ඇමරිකාව මෙම වසරේ කෙටි දුර ධාවනයේ රජුන් කිරීමේ වගකීම Noah Lyles සහ Sha’carri Richardson විසින් විශිෂ්ට ලෙස ඉටු කලා. 

Sport Roundup 2023මීට අමතරව නෝර්වේ දේශයේ Jacob Ingebrigtsen, නෙදර්ලන්තයේ Femke Bol වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ගෙවුණු වසරේ දී මලල ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් බලාපොරොත්තු තබා සිටින යුපුන් අබේකෝන් මෙන්ම, ලෝක කෙටි දුර ධාවනයේ කැපී පෙනෙන නමක් දිනූ ඇමරිකාවේ Sydney McLaughlin-Levrone වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ම ආබාධ නිසා මෙම වසර එතරම් සුබදායී වුනේ නැහැ. 

කෙසේ වෙතත් එළඹෙන වසරේ පැරීසියේ දී පැවැත්වීමට නියමිත 2024 ඔලිම්පික් උළෙල සමඟින් මෙම සියලු තරු නැවත ධාවන පථයට පිවිසෙනු ඇති බව අනුමාන කළ හැකියි. 

ඒ අනුව ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම වසරක් බවට පත් වෙමින් මෙසේ 2023 වසර නිමා වනවා.  

ගෙවුණු වසර පුරාවට ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ද සියලු උණුසුම් ක්‍රීඩා පුවත් ඔබ වෙත සමීප කිරීමේ වගකීම ThePapare.com විසින් වගකීමක් සහිතව ඉටු කිරීමට සමත් වුනා. 

එමෙන්ම 2024 වසරේ දී ද දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<