පසුගිය ඔක්තෝබර් මස 28 වැනි දා පැවැත්වුණු 2023 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කිරීමට සමත් වුනත් තවමත් මෙම තරගයේ ලැබුණු යම් විනිසුරු තීරණ පිළිබඳ කතාබහ නම් අවසන් වී නැහැ.
මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව විසින් නවසීලන්තයට එරෙහිව ලකුණු 12 – 11ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් නොකඩවා දෙවැනි වරටත් රග්බි ලෝක ශූරයින් බවට පත් වීමට සමත් වුනා. නමුත් තරගයෙන් පසුව මෙහි දී ලැබුණු විනිසුරු තීරණ (විශේෂයෙන්ම නවසීලන්ත පාර්ශවයට එරෙහිව) පිළිබඳ යම් විවේචන ඇති වීමට පටන් ගත්තා.
මේ අතර ඊයේ (14) දිනයේ නවසීලන්ත වෙබ් අඩවියක් වන Stuff විසින් හෙළිදරව් කර තිබුණේ මෙම තරගයේ දී නවසීලන්ත ක්‍රීඩක Aaron Smith විසින් වාර්තා කළ උත්සාහක දිනුම පසුව අවලංගු කිරීම ලෝක රග්බි සංවිධාන (World Rugby) නීති රාමුවට පිටින් සිදු වී ඇති බවයි.
මෙම තරගයේ 54 වැනි මිනිත්තුවේ දී Smith විසින් මෙම උත්සාහක දිනුම වාර්තා කළ අතර, ඊට මිනිත්තු හතරකට පමණ පසුව විනිසුරු විසින් (රූපවාහිනී විනිසුරුගේ නිරීක්ෂණය මත) එය අවලංගු කළා.
මෙම අවලංගු කිරීම නීති රාමුවට පිටින් සිදු වූ බව World Rugby විසින් නවසීලන්ත රග්බි (All Blacks) හමුවේ පිළිගෙන ඇති බවයි Stuff හෙළිදරව් කරන්නේ. නමුත් ඔවුන් (World Rugby) එය ප්‍රසිද්ධියේ පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවත් Stuff මෙහි දී සඳහන් කරනවා.
මේ වන විටත් එය World Rugby වෙතින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරවා ගැනීම සඳහා දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු වෙමින් පවතින බවත් Stuff විසින් අණාවරණය කරනවා.
- දකුණු අප්‍රිකාව නැවතත් රග්බි ලෝක ශූරයින් බවට පත්වෙයි!
- රග්බි ලොව පතාක යෝධයින් අවසන් ගැටුමට සුදුසුකම් ලබයි!
- අයර්ලන්තයේ ශාපය තවදුරටත්; සත්කාරක ප්රංශයත් ලෝක කුසලානයෙන් ඉවතට
- ෆීජි පැරදුනත් ඉදිරියට; ඕස්ට්‍රේලියාව ඉතිහාසය වෙනස් කරමින් එළියට!
- 2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්න යන්නේ?
මෙම උත්සාහක දිනුම ව්‍යර්ථ වීමෙන් තවත් මිනිත්තු කිහිපයකට පසුව Beauden Barrett විසින් නවසීලන්තය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක වීම නිසා නවසීලන්තයට දකුණු අප්‍රිකාව අබිබවා යෑමට හැකියාවක් ලැබුණේ නැහැ.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගී වූ රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟ හතර තුළ දී වාර්තා වූ එකම උත්සාහක දිනුම ලෙසයි මෙය වාර්තා වුනේ. නමුත් දැන් හෙළිදරව් වී ඇති කරුණ සමඟ මෙම සඳහනේ යම් වෙනසක් වීමට තිබුණා ද යන්න සැකයට භාජනය වනවා.
මීට අමරව මෙම අවසන් මහා තරගය නවසීලන්ත නායක Sam Cane රතු කාඩ් පතක් ලබා තරගයෙන් ඉවත් වීම සහ දකුණු අප්‍රිකා නායක Siya Kolisi කහ කාඩ් පතක් ලැබීම වැනි උණුසුම් සිදුවීම් රාශියකින් පිරී තිබීමත් විශේෂත්වයක්.
තරගය තුළ ලැබුණු විනිසුරු තීරණ පිළිබඳ අදහස් දැක්වීමේ දී නවසීලන්ත පුහුණුකරු තරගයෙන් අනතුරුව සඳහන් කළේ ලැබුණු තීරණ ගණනාවක් පිළිබඳ තමන්ට යම් ගැටලු ඇතත් මෙවන් තරගයක දී ඇතිවෙන පීඩනයත් සමඟ එය තරග විනිසුරුට ද අපහසු තරගයක් වන්නට ඇති බවයි.
මේ පිළිබඳ ඉදිරියේ දී World Rugby වෙතින් නිල ප්‍රකාශයක් සිදු කරාවි යැයි අනුමාන කළ හැකි.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Stuff ඇසුරිනි.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<