“ඉදිරියේ දී ශ්‍රී ලංකා ටෙස්ට් සංයුතිය ගොඩක් වෙලාවට වෙනස් වෙයි” – දිමුත්

5479

ඉදිරි ටෙස්ට් තරගාවලිවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියේ සැලකිය යුතු මට්ටමක වෙනසක් සිදු වනු ඇති බවත්, තමාගේ නායකත්වය පිළිබඳව ගැටලුවක් තිබේ නම් ඒ ගැන තේරීම් කමිටුව තීරණයක් ගැනීමට අවස්ථාව තිබෙන බවත්, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසා සිටිනවා.

සත්කාරක ඉන්දියාව හමුවේ 2-0ක අවාසනාවන්ත පරාජයකට මුහුණ දීමට සිදු වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඊයේ (17) අලුයම දිවයිනට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් ඒ බව සඳහන් කළා.

සංචිතයේ සිටිය යුතු ප්‍රධාන ක්‍රීඩකයින් ආබාධවලට ලක්ව සිටීම ද කණ්ඩායමේ සංයුතිය වෙනස් කිරීමට හේතු වුනු බව ඔහු එහි දී කියා සිටියා.

“අපි තරගයක් හරි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්දියාවට ගියේ. නමුත් අපිට ඒක කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපේ පිතිකරණය පැත්තෙන් බැලුවත්, පන්දු යැවීම පැත්තෙන් බැලුවත් සෑහෙන දුර්වලතා තිබුණා”, යනුවෙන් දිමුත් කරුණාරත්න තරගාවලිය ගැන අදහස් දක්වමින් පවසා සිටියා.

“ඉන්දියාව කියන්නේ ප්‍රබල කණ්ඩායමක්. පසුගිය කාලවල වුනත් ප්‍රබල ක්‍රීඩකයින් ඉද්දීත් අපි ඉන්දියාවේ දී තාමත් ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරලා නැහැ. අපි ඒවා ගැන හිතන්නේ නැතුව බැලුවේ කොහොම හරි තරගයක් ජයග්‍රහණය කරන්න. ඒත් අපේ පැත්තට කිසිම වාසියක් තිබුණේ නැහැ. කාසියේ වාසියත් අපි පරාජයට පත් වුනා. කණ්ඩායමක් විදිහට බැලුවොත් අපිට මේ තරගාවලියේ දී හොඳ දක්ෂතා අතරට එන්න බැරි වුනා.”

“මම හිතන්නේ ඉදිරි ටෙස්ට් තරගවල දී අපේ කණ්ඩායමේ සංයුතිය ගොඩක් වෙලාවට වෙනස් වෙයි. මේ වෙද්දී අපේ ක්‍රීඩකයෝ ගොඩක් ආබාධවලට ලක්වෙලා තියෙනවා. ඒවත් එක්ක බලද්දී ඉදිරි තරගාවලිවල දී අපේ ටෙස්ට් සංයුතිය වෙනස් වෙයි.”

ඉදිරියේ දී කණ්ඩායමේ නායකත්වය වෙනස් වනු ඇත්දැයි මෙහි දී මාධ්‍යවේදියෙකු දිමුත්ගෙන් විමසා සිටි අවස්ථාවේ දී දිමුත් මෙසේ සිය අදහස් පැවසුවා.

“ඒක මම දන්නේ නැහැ. ඒක මගේ අතේ නෙවෙයි තියෙන්නේ. තේරීම් කමිටුව අතේ. ඒගොල්ලන්ට අවශ්‍ය නම් මගේ නායකත්වය මාරු කරන්න, මට එකේ කිසි ප්‍රශ්නයක් නැහැ.

මට කරන්න පුළුවන් උපරිමය රට සහ කණ්ඩායම වෙනුවෙන් මම කරා. ඒක තේරීම් කමිටුවට මදිනම්, නායකත්වය තව කාට හරි දෙන්න ඕනෙ කියලා හිතනවා නම් ඒකට මගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ”, යැයි දිමුත් පවසා සිටියා.

මේ වන විට 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව තරග 4න් තරග 2ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 24ක් දිනාගෙන තිබෙනවා. ඒ 50%ක ජයග්‍රාහී ලකුණු ප්‍රතිශතයක් ද රඳවා ගෙනයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත මීළඟ ටෙස්ට් සංචාරය එළඹෙන මැයි මාසයේ දී බංග්ලාදේශය සමඟින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් ඇතුළත් වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<