හොංකොං පරාජය කළ ශ්‍රී ලංකාව ආසියාවේ තෙවැනි තැනට!

Asian Youth Netball Championship 2023

3083

12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ දී හොංකොං කණ්ඩායමට එරෙහිව ලකුණු 46-32ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට අද (17) සමත් වුනා.

පසුගිය 10 වැනිදා දකුණු කොරියාවේ දී ආරම්භ වූ ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් දිනය වන අද දිනයේ දී තරගාවලියේ සිව්වැනි සහ තෙවැනි ස්ථාන තීරණය කිරීම වෙනුවෙන්, ඊයේ (16) පැවැත්වුණු අවසන් පූර්ව වටයේ තරගවල දී මැලේසියාව සහ සිංගප්පූරුව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් එකිනෙකා තරග වැදුණා.

මෙම තරගයේ පළමු කාර්තුවේ පටන් ඉතා තියුණු මුහුණුවරකින් යුතුව කණ්ඩායම් දෙක ම තරගයට අවතීර්ණ වෙමින් ක්‍රීඩා කළ අතර පළමු කාර්තුව නිමා වන විට හොංකොං කණ්ඩායම ලකුණු 11ක් ලබා ගනිමින් තරගයේ ඉදිරියෙන් සිටීමට සමත් වුනා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ද ලකුණු 10ක් සමඟින් හොංකොං අසලින් ම රැඳී සිටීමට සමත් වූ අතර ඔවුන් දෙවැනි කාර්තුවේ දී තරගයේ ආධිපත්‍යය සියතට ගැනීමට ද සමත් වුනා.

තරගයේ දෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාව විසින් තවත් ලකුණු 11ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වූ නමුත් හොංකොං ක්‍රීඩිකාවන් හට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 6ක් පමණයි. ඒ අනුව දෙවැනි කාර්තුව නිමා වන විට ලකුණු 21-17ක් ලෙස තරගයේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

දෙවැනි කාර්තුවේ දී ලබා ගැනීමට සමත් වූ ප්‍රගතිය තව දුරටත් ආරක්ෂා කර ගනිමින් තරගයේ තෙවැනි කාර්තුවේ ද තවත් ලකුණු 13ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සමත් වූ අතර, ඔවුන් හොංකොං ක්‍රීඩිකාවන් හට එම කාර්තුවේ දී ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ ලකුණු 10ක් පමණයි.

එමෙන්ම තරගයේ සිව්වැනි කාර්තුවේ දී තවත් ලකුණු 12ක් ලබා ගත් ශ්‍රී ලංකාව තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, එම කාර්තුවේ දී හොංකොං ලකුණු පුවරුවට එක් වුනේ ලකුණු 5ක් පමණයි.

අවසන් ලකුණු තත්වය : ශ්‍රී ලංකාව 46-32 හොංකොං

ඒ අනුව 12 වැනි ආසියානු ‍යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. එමෙන්ම සිංගප්පූරුව සහ මැලේසියාව අතර තරගාවලියේ අවසන් මහා තරගය ද අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<