තුෂාර සහ ඩිල්ශාන් මාලිංග සමඟින් එක් වෙද්දී, වනිඳු මුරලි ලඟට යයි!

IPL 2024

3120

2024 IPL ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) දිනයේ අවසන් වුනේ එළඹෙන IPL තරගාවලිය සඳහා ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකුගේ නම් තහවුරු කරමිනුයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකුගේ නම් ලැයිස්තු ගත කර තිබූ අතර ඒ අතුරින් පළමුවෙන්ම වෙන්දේසියට නම යොමු වූ හිටපු Royal Challengers Bangalore ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර Sunrisers Hyderabad කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව ලැබුණා.

2022 ක්‍රීඩක වෙන්දේසියේ දී කෝටි 10 ඉක්මවූ වටිනාකමක් ලබමින් RCB සමඟ එක් වූ වනිඳු මෙවර සිය මූලික වටිනාකම ලෙස සටහන් කර තිබූ කෝටි 1.5ක* මුදලට SRH වෙත වෙන්දේසි වූ අතර වෙනත් කිසිඳු කණ්ඩායමක් වනිඳු වෙනුවෙන් ලංසු තැබුවේ නැහැ.

*.සියලු මූල්‍යමය වටිනාකම් ඉන්දීය රුපියල්වලින් දක්වා ඇත.

ඉන් පසුව මෙවර LPL තරගාවලිය වෙනුවෙන් Jaffna Kings වෙතින් ඉතිහාසගත ලංසුවක් ලද ඩිල්ශාන් මදුශංක වෙනුවෙන් 2024 IPL වෙන්දේසියේ දී Lucknow Super Giants විසින් ලක්ෂ 50ක මූලික මුදලට ලංසු තැබීම ආරම්භ කළා. කෙසේ වෙතත් ඒත් සමඟින් මහේල ජයවර්ධන ප්‍රමුඛ Mumbai Indians කණ්ඩායම ද ඩිල්ශාන් වෙනුවෙන් ලංසු තැබීම ආරම්භ කළ අතර එහි අවසන් ප්‍රතිඵල වුනේ කෝටි 4.6ක මුදලකට Mumbai Indians සමඟ එක් වීමට මදුශංකට හැකියාව ලැබීමයි.

නිමා වූ එක්දින ලෝක කුසලානයේ ද ඉහළම කඩුලු ලාභීන් අතර රැඳීමට සමත් වීම මදුශංක මෙවර ලද මෙම වටිනාකමට විශේෂ හේතුවක් වන්නට ඇති.

ඉන් පසුව නිමා වූ Abu Dhabi T10 තරගාවලියේ දී Decan Gladiators සමඟින් පන්දුවෙන් විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වූ නුවන් තුෂාර මෙම වෙන්දේසියට ඉදිරිපත් වුනා. මේ සමඟම Kolkata Knight Riders කණ්ඩායම විසින් තුෂාර වෙනුවෙන් ලංසු තැබීම ආරම්භ කළ අතර, Royal Challengers Bangalore කණ්ඩායම ද KKR සමඟ කරට කර ගැටෙමින් තුෂාර වෙනුවෙන් ලංසු තැබීමට පටන් ගත්තා.

කෙසේ වෙතත් මේ අතරතුර Mumbai Indians කණ්ඩායම නැවතත් තුෂාර වෙනුවෙන් ද ලංසු තැබීම ආරම්භ කළ අතර එහි අවසන් ප්‍රතිඵල ලෙස නුවන් තුෂාර කෝටි 4.8ක මුදලකට Mumbai Indians සමඟ එක් වුනා.

Mumbai Indians වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ රටාවට ආසන්න හැඩයකින් යුතුව පන්දු යවන තුෂාර “පොඩි මාලි” ලෙස කලකට පෙර සිටම ප්‍රසිද්ධියට පත් වී සිටි අතර එළඹෙන IPL තරගාවලියේ දී තුෂාර මාලිංග යටතේ ගුරු හුරුකම් ලබමින් ක්‍රීඩා කරනු ඇති.

(නුවන් තුෂාර MI සමඟ එක් වීමත් සමගින් ම සමාජ මාධ්‍ය ඔස්සේ තුෂාර සහ ඔහුගේ පන්දු යැවීමේ රටාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා.)

මේ අනුව එළඹෙන IPL තරගාවලියේ දී ඩිල්ශාන් මදුශංක සහ නුවන් තුෂාර Mumbai Indians කණ්ඩායම සමඟත්, වනිඳු හසරංග මුත්තයියා මුරලිදරන්ගේ දඟපන්දු පුහුණුකාරීත්වය යටතේ Sunrisers Hyderabad කණ්ඩායම සමඟත් එක් වනු ඇති. එමෙන්ම මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ සුපුරුදු පරිදි Chennai Super Kings කණ්ඩායම සමගින් තරග බිමට පිවිසෙනු ඇති.

Cummins සහ Starc යුගලය වාර්තාගත වටිනාකම් ලබයි

2023 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 18.50ක මුදලකට Punjab Kings කණ්ඩායම වෙත වෙන්දේසි වීමෙන් IPL ඉතිහාසයේ ඉහළම වටිනාකම ලබමින් Sam Curran විසින් පිහිටවූ වාර්තාව ඊයේ වෙන්දේසිය ආරම්භ වී සුළු මොහොතකින් ම සුනු විසුණු කර දැමීමට ඕස්ට්‍රේලියානු නායක Pat Cumminsට හැකියාව ලැබුණා.

දීර්ඝ ලංසු තැබීමකින් අනතුරුව Sunrisers Hyderabad කණ්ඩායම විසින් Cummins කෝටි 20.50කට සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඉන් සුළු මොහොතකට පසුව ක්‍රියාත්මක වූ Kolkata Knight Riders කණ්ඩායම විසින් Cumminsගේ වේගපන්දු සගයා වන Mitchell Starc කෝටි 24.75ක් වැනි ඉතා ඉහළ වටිනාකමක් ලබා දෙමින් තම කණ්ඩායම සමඟ එක් කර ගැනීමට සමත් වුනා.

මෙවර ඉන්දියාවේ දී ම ඉන්දීය ලෝක කුසලාන සිහිනය බිඳ දැමීමේ පුරෝගාමීන් වූ Starc සහ Cummins ඉන්දියාව විසින් ම කෝටි 45.25ක මුදලක් වැය කරමින් තම IPL කණ්ඩායම්වලට එක් කර ගැනීම විශේෂත්වයක්.

ලෝක කුසලානයේ කැපී පෙනුණු තරු ගැන විශේෂ අවධානයක්

ඉහත යුගලයට අමතරව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලෝක කුසලානය දිනා දීමේ ගෞරවයේ වැඩි අයිතියක් ඇති Travis Head ද (කෝටි 6.8) Sunrisers Hyderabad කණ්ඩායම සමඟින් එක් වුනා.

මේ අතර ලෝක කුසලාන අවසන් පූර්ව වටයෙන් ඉවත් වූ නවසීලන්තයේ Rachin Ravindra (කෝටි 1.8) සහ Daryl Mitchell (කෝටි 14) යන දෙදෙනා ම Chennai Super Kings සමඟ එක් වුනා. ඒ අනුව එළඹෙන IPL තරගාවලියේ දී Chennai සමඟ නවසීලන්ත ක්‍රීඩකයින් සිව් දෙනෙකු (Mitchell, Ravindra, Mitchell Santner සහ Devon Conway) ක්‍රීඩා කරනු ඇති.

මීට අමතරව Gerald Coetzee (MI – කෝටි 5), Lockie Ferguson (RCB – කෝටි 2) ද මෙම වෙන්දේසියේ දී කණ්ඩායම් සමඟ එක් වුනා.

පරණ ක්‍රීඩකයින් අලුත් කණ්ඩායම්වලට

ගිය වර RCB කණ්ඩායම නියෝජනය කළ වනිඳු මෙවර SRH සමඟ එක් වූවා සේ ම Rovman Powell (DC සිට RR), Harry Brook (SRH සිට DC), Harshal Patel (RCB සිට PK), Alzarri Joshep (GT සිට RCB), Shahrukh Khan (PK සිට GT) Mustafizur Rahman (DC සිට CSK) වෙනත් කණ්ඩායම් සමඟ එක් වීමට අවස්ථාව උදා කර ගත් ක්‍රීඩකයින් අතර රැඳුණා.

අවස්ථාව අහිමි වූ සුපිරි තරු

නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලිය අතර මැද ශ්‍රී ලංකා එක්දින නායකත්වය ලද කුසල් මෙන්ඩිස් සහ වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර යන අයගේ නම් මෙවර වෙන්දේසියේ දී සඳහන් වුනත් කිසිඳු කණ්ඩායමක් ඔවුන් වෙනුවෙන් ලංසු තැබීමට ඉදිරිපත් වුනේ නැහැ.

මීට අමතරව ක්‍රිකට් ලොව සුපිරි තරු ලෙස සැලකුම් ලබන Steven Smith, Phil Salt, Josh Hazelwood, Adil Rashid, Akeal Hosein, Ish Sodhi, Tabraiz Shamsi, Finn Allen, Rassie Van der Dussen, James Neesham වැනි ක්‍රීඩකයින් රැසක් ද මෙවර වෙන්දේසියේ දී නොසලකා හැරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙවර පැවැත්වුණේ කණ්ඩායම්වල ඇති අඩු පාඩු පුරවා ගැනීම සඳහා Mini Auction එකක් පමණක් වීම නිසා බොහෝ කණ්ඩායම් තමන්ට අත්‍යාවශ්‍ය ම ක්‍රීඩකයින් වෙනුවෙන් විශාල මුදල් ආයෝජනය කිරීමට පෙලඹුණු බව වටහා ගත හැකි.

විශේෂ සිදුවීම්

සුපිරි තරු හැලී ගිය මෙම වෙන්දේසියේ දී ගිය වර SRH කණ්ඩායම සඳහා ඉතා ඉහල වටිනාකමක් (කෝටි 13.25) ලබමින් පියමන් කළ Harry Brook මෙවර කෝටි 4ක මුදලකට Delhi Capitals සමඟින් එක් වීම විශේෂත්වයක්.

එමෙන්ම RCB විසින් ඉවත දැමූ Harshal Patel කෝටි 11.75ක් වැනි ඉහළ වටිනාකමක් ලබමින් Punjab Kings සමඟින් එක් වුනා.

මේ අතර වනිඳු, Hazelwood වැනි පන්දු යැවීමේ තුරුම්පු නිදහස් කරමින් වෙන්දේසියට එක් වූ RCB කණ්ඩායම විසින් මෙවර කෝටි 11.5ක මුදලකට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Alzarri Joshep තම කණ්ඩායම සමඟ එක් කර ගැනීම ද සමාජ මාධ්‍යවල යම් කතාබහක් නිර්මාණය කළා.

මෑතකාලීන ව වරින් වර කණ්ඩායම් අතර හුවමාරු වූ Shardul Takur නැවතත් Chennai Super Kings කණ්ඩායම සමඟින් එක් වුනා.

ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් පිටියේ කැපී පෙනෙන ඉනිම් දියත් කළ, LPL පිටියේ ද විශිෂ්ට දක්ෂතා දැක්වූ Tom Kohler-Cadmore ලක්ෂ 40ක මුදලකට Rajasthan Royals සමඟ එක් වුනා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Shai Hope ලක්ෂ 75ක වටිනාකමක් සහිතව Delhi Capitals සමඟ එක් වුනා. DC නිත්‍ය නායක Rishabh Pantගේ ආබාධය නිසා DC කඩුලු රැකීමේ වගකීම Shai Hope හෝ Tristan Stubbs වෙත පැවරෙනු ඇති.

2024 ක්‍රීඩක වෙන්දේසියෙන් කණ්ඩායම් සඳහා එක් වූ ක්‍රීඩකයින්;

  • Royal Challengers Bangalore

Alzarri Joseph, Yash Dayal, Tom Curran, Lockie Ferguson, Swapnil Singh, Saurav Chauhan

  • Mumbai Indians

නුවන් තුෂාර, ඩිල්ශාන් මදුශංක, Anshul Kamboj, Naman Dhir, Shreyas Gopal, Gerald Coetzee, Mohammad Nabi, Shivalik Sharma

  • Delhi Capitals

Harry Brook, Tristan Stubbs, Ricky Bhui, Kumar Kushagra, Rasikh Dar, Jhye Richardson, Sumit Kumar, Swastik Chikara, Shai Hope

  • Punjab Kings

Harshal Patel, Chris Woakes, Ashutosh Sharma, Shashank Singh, Vishwanath Pratap Singh, Tanay Thyagarajann, Prince Choudhary, Rilee Rossouw

  • Kolkata Knight Riders

KS Bharat, Chetan Sakariya, Mitchell Starc, Angkrish Raghuvanshi, Ramandeep SIngh, Sherfane Rutherford, Manish Pandey, Mujeeb Rahman, Gus Atkinson, Sakib Hussain

  • Sunrisers Hyderabad

වනිඳු හසරංග, Travis Head, Pat Cummins, Jaydev Unadkat, Akash Maharaj Singh, Jhathavedh Subramanyam

  • Rajasthan Royals

Rovman Powell, Shubham Dubey, Tom Kohler-Cadmore, Abid Mushtaq, Nandre Burger

  • Chennai Super Kings

Daryl Mitchell, Sameer Rizvi, Mustafizur Rahman, Rachin Ravindra, Shardul Thakur, Aravelly Avanish

  • Gujarat Titans

Azmatullah Omarzai, Umesh Yadav, Manav Suthar, Shahrukh Khan, Sushant Mishra, Kartik Tyagi, Spencer Johnson, Robin Minz

  • Lucknow Super Giants

Shivam Mavi, Arshin Kulkarni, Ashton Turner, M Siddharth, David Willey, Mohammed Arshad Khan

මේ අනුව ඊයේ දිනයේ අවසන් වූ ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව Mumbai Indians, Chennai Super Kings, Royal Challengers Bangalore, Gujarat Titans, Sunrisers Hyderabad, Lucknow Super Giants, Delhi Capitals, Punjab Kings කණ්ඩායම් සිය උපරිම ක්‍රීඩක සංඛ්‍යාව සම්පූර්ණ කර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් Kolkata Knight Riders සහ Rajasthan Royals කණ්ඩායම් දෙකට පිළිවලින් තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ තිදෙනෙකු ලබා ගැනීමට ඉඩ ඉතිරි වී තිබෙනවා. එමෙන්ම මෙම වෙන්දේසියේ දී මිල දී ගත් ක්‍රීඩකයින් කිසිවකුට හෝ ඉදිරි තරගාවලිය මග හැරේ නම් මෙම සංචිත වෙනස් වීමට ද ඉඩ කඩ ඉතිරි වී තිබෙනවා.

2024 IPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<