පවන්ට ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය පැවැරෙයි

ACC Rising Stars Asia Cup 2026

2
ACC Rising Stars Asia Cup 2026

කටාර් හි දී පැවැත්වෙන ACC Rising Stars ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද අතර එහි නායකත්වය 24 වැනි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරු පවන් රත්නායකට හිමි ව තිබෙනවා.

පවන් රත්නායක පසුගියදා පාකිස්තානයේ දී නිමා වූ පාකිස්තානය, එංගලන්තය සහ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙසින් සුවිශේෂී දක්ෂතා දැක් වීමට සමත් වූවා. ඔහු එම තරගාවලිය නිමා කරන්නේ ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 427ක් ලබා ගනිමින්. එය තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර පෙරමුණ ගත් දක්ෂතාවයි.

ඔහුට අමතර ව මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන නිශාන් මදුශ්ක, ජනිත් ලියනගේ, ලසිත් කෲස්පුල්ලේ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිජ සහන්, ලහිරු සමරකෝන් සහ රවිඳු ප්‍රනාන්දු ද එක් කර තිබෙනවා.

ආසියානු කලාපයේ රටවල් 8ක් අතර පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 19 වැනිදා සිට 29 වැනිදා දක්වා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 4ක් බැගින් වූ කාණ්ඩ ද්විත්වයකින් යුත් මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට යෝජිතයි. ඔවුන් සමඟින් ඇෆ්ගනිස්තාන A කණ්ඩායම, බංග්ලාදේශ A කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම ද එම කාණ්ඩයට ඇතුලත්.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී නොවැම්බර් මස 19 වැනිදා ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟින් පළමු තරගයට මුහුණ දෙන අතර 2 වැනි තරගය නොවැම්බර් 21 වැනිදා හොංකොං කණ්ඩායම සමඟින් ද 3 වැනි තරගය නොවැම්බර් 23 වැනිදා බංග්ලාදේශ A කණ්ඩායම සමඟින් ද එක්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම මේ මස 16 වැනිදා මෙරටින් පිටත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම

  • පවන් රත්නායක (නායක)
  • නිශාන් මදුශ්ක
  • සිනෙත් ජයවර්ධන
  • ලසිත් කෲස්පුල්ලේ
  • නිපුන් ධනංජය
  • ජනිත් ලියනගේ
  • චාමික හීනටිගල
  • ශාරුජන් ශන්මුගනාදන්
  • රවිඳු ප්‍රනාන්දු
  • විජයකාන්ත් වියස්කාන්ත්
  • වනුජ සහන්
  • දුලාජ් සමුදිත
  • දුවිඳු රණතුංග
  • ලහිරු සමරකෝන්
  • ගරුක සංකේත්

ACC Rising Stars ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<