ඉතිහාසය අලුත් කළ 2022 මලල ක්‍රීඩා පිටිය

560

2022 වසර අදින් (31) නිමාවට පත්වෙනවා. මෙම වසර ශ්‍රී ලංකා වාසීන්ට එතරම් සුබ වසරක් නොවුනත්, ක්‍රීඩාව දෙසින් පෙරළිකාරී සහ ඉතිහාසගත ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩා ආසියාව ජයග්‍රහණය කරද්දී, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් කැපී පෙනුණා.

2022 වසර ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ද වාර්තා රැසක් බිහි වූ වසරක් වූ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ඉහළ බලාපොරොත්තු ගෙන දෙමින් අවසන් වන 2022 වසරේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිටිනවා.

යුපුන් අබේකෝන් – මීටර් 100 (පිරිමි)

දකුණු ආසියානු මලල ක්‍රීඩා පිටියේ මෑත කාලයේ දී වැඩිම අවධානය දිනා ගත් ක්‍රීඩකයා වන්නේ යුපුන් අබේකෝන්. 2022 වසර සිහින සපුරා ගත් වසරක් කර ගත් යුපුන් මෙම වසරේ දී සිය ක්‍රීඩා දිවියේ ඉහළම කඩඉම් කිහිපයක්ම පසු කරන්නට සමත් වුනා.

අප්‍රේල් මාසයේ දී මෙවර තරග වාරය ආරම්භ කළ යුපුන් මීටර් 150 තරගයක් තත්පර 15.16ක කාලයකින් අවසන් කරමින් එහි ආසියානු වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

එම වාර්තාවෙන් පසුව මැයි මාසයේ දී මීටර් 200 ඉසව්ව ද නියෝජනය කළ යුපුන් එය තත්පර 20.37ක කාලයකින් අවසන් කළේ මීටර් 200 ජාතික වාර්තාව ද සියතට ගනිමිනුයි.

මැයි මාසයේ දී ජර්මනියේ පැවති තරගයක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.06ක කාලයකින් අවසන් කරමින් තමන්ගේ ම ජාතික වාර්තාව බිඳ හෙළු යුපුන්ගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය මාසයක් ලෙස ජූලි මාසය හඳුන්වන්නට පුළුවන්.

ස්විස්ටර්ලන්තයේ පැවති මීටර් 100 තරගයකට සහභාගී වූ යුපුන් එම ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කිරීමට සමත් වන්නේ තත්පර 10 කඩඉම බිඳ හෙළු පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වෙමිනුයි.

එම කාලය ආසියානු ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්ව සඳහා වාර්තා කළ සිව්වැනි හොඳම කාලය වීම ද විශේෂත්වයක්.

සිය ක්‍රීඩා දිවියේ විශාලතම සිහිනය සපුරා ගත් යුපුන් 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට ද අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තා. නමුත් තරගාවලියට පෙර ඇති වූ ප්‍රමාදයක් නිසා එම තරගාවලියේ දී සිතු සේ දස්කම් දැක්වීමට ඔහුට හැකි වුනේ නැහැ.

එම පරාජයෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පැමිණි යුපුන් එහි මූලික වටය තත්පර 10.06ක කාලයකින් අවසන් කිරීමට සමත් වුනේ තරගාවලි ඉතිහාසයේ මීටර් 100 මූලික තරගයක් සඳහා වාර්තා වූ වේගවත්ම කාලය වාර්තා කරමිනුයි.

අවසන් පූර්ව වටයේ තරමක පසුබෑමකට ලක් වූවත් තීරණාත්මක අවසන් තරගය තත්පර 10.14ක කාලයකින් අවසන් කිරීමට යුපුන්ට හැකි වුනේ තුන්වැන්නා ලෙසයි.

ඒ සමඟින් වසර 27කට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පදක්කමක් දිනා ගැනීමට යුපුන් අබේකෝන්ට හැකි වූ අතර මීටර් 100 ඉසව්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා ගත් පළමු ආසියානුවා ලෙස ද යුපුන් ඉතිහාසයට එක් වුනා.

එම තරගාවලිවලට අමතරව මලල ක්‍රීඩා පිටියේ ප්‍රබලතම තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් හි අදියර කිහිපයක් ද නියෝජනය කරන්නට යුපුන් නියෝජනය සමත් වූ අතර එහි දැක්වූ දස්කම් නිසා 2022 ඩයමන්ඩ් ලීග් තරග වාරයේ අවසන් තරගයට සහභාගී වීමේ වරම් ද යුපුන්ට හිමි වුනා.

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගය පස්වැන්නා ලෙස අවසන් කිරීමෙන් පසුව සිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග කිහිපයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව 2022 තරග වාරය යුපුන් අවසන් කළේ මෙරටට අමතක නොවන ජයග්‍රහණ රැසක් දායාද කරමිනුයි.

පාලිත බණ්ඩාර – පැරා මලල ක්‍රීඩක

පැරා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සටහනක් තබමින් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුනා.

තරගාවලියේ F42-44/61-64 කාණ්ඩයේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පාලිත මීටර් 44.20ක දස්කමක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ගයන්තිකා අබේරත්න – මීටර් 800, 1500 (කාන්තා)

36 වැනි වියේ පසුවන ගයන්තිකා අබේරත්න මෙම වසරේ කාන්තා ක්‍රීඩිකාවන් අතරින් ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩිකාව ලෙස හැඳින්විය හැකි.

අප්‍රේල් මාසයේ පැවති සියවැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:01.44ක කාලයකින් අවසන් කළ ගයන්තිකා එම ඉසව්වෙන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ඔස්සේයි.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී සුපුරුදු දස්කම් දැක්වීමට ඇයට නොහැකි වූවත්, ලොව ප්‍රබල ක්‍රීඩිකාවන් සමඟ තරග වැදුණු ඇය මූලික වටය මිනිත්තු 02:02.35ක කාලයකින් අවසන් කළේ පස්වැන්නා ලෙසයි.

මීටර් 800 ඉසව්වේ මෙන්ම මීටර් 1500 ඉසව්වට ද ඇය දැක්වූ දස්කම් නිසා 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ඉසව් ද්විත්වයෙන්ම සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකි වුනා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 මූලික වටය මිනිත්තු 4:16.97ක කාලයකින් හත්වැන්නා ලෙස අවසන් කළ ඇය මීටර් 800 මූලික වටය මිනිත්තු 2:01.20ක කාලයකින් පස්වැන්නා ලෙස අවසන් කළේ ඇය විසින්ම පිහිටුවා තිබූ ජාතික වාර්තාව අලුත් කරමිනුයි.

ක්‍රීඩා දිවියේ සුවිශේෂී තරගාවලි කිහිපයකින් පසුව සැප්තැම්බර් මාසයේ පැවති ජාතික තේරීම් තරගාවලියේ මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කරමින් ගයන්තිකා 2022 වසර අවසන් කළා.

නිලානි රත්නායක – මීටර් 3000 බාධක දිවීම (කාන්තා)

ජාතික මලල ක්‍රීඩාවට ඉතා විශාල සේවාවක් ඉටු කළ මලල ක්‍රීඩිකා නිලානි රත්නායක අවාසනාවන්ත වසර කිහිපයක් අවසන් කරමින් 2022 වසරේ දී සිය ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩඉම් කිහිපයක් පසු කළා.

මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ දිගු කාලීන ජාතික ශූරිය වන නිලානි අප්‍රේල් මාසයේ පැවති ජාතික ශූරතාවයේ දී සිය ඉසව්ව මිනිත්තු 9:40.24ක කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාව අලුත් කළා.

ජුනි මාසයේ පැවති සුවිශේෂී මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 9:46.39ක කාලයකින් නිලානි අවසන් කිරීමට සමත් වීම නිසා ශ්‍රේණිගත කිරීම් ඔස්සේ ලෝක මලල ක්‍රීඩා ශූරතා සුදුසුකම සපුරා ගැනීමට නිලානිට හැකි වුනා.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී ප්‍රබල ක්‍රීඩිකාවන් සමඟ තරග කළ නිලානි එහි මූලික තරගය මිනිත්තු 9:54.10ක කාලයකින් අවසන් කළේ දහතුන්වැන්නා ලෙසයි. එම නිසා ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකි වුනේ නැහැ.

එම තරගාවලියෙන් පසුව පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 3000 බාධක දිවීම අවසන් තරගයට සහභාගී වූ නිලානි මිනිත්තු 10:00.34ක කාලයකින් ඉසව්ව අවසන් කළේ හත්වැන්නා ලෙසයි.

නිලානි සැප්තැම්බර් මාසයේ පැවති තේරීම් තරගාවලියේ දී මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 10:00.13ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කරමින් 2022 තරග වාරය අවසන් කළා.

සාරංගි සිල්වා – දුර පැනීම (කාන්තා)

කාන්තා දුර පැනීම ඉසව්වේ වත්මන් ශූරිය වන සාරංගි සිල්වා මෙම වසරේ දී දුර පැනීම ඉසව්වෙන් ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක්.

මාර්තු මාසයේ පැවති තේරීම් තරගාවලියේ කාන්තා දුර පැනීම ඉසව්වේ මීටර් 6.65ක වාර්තාගත දුරක් සමඟින් සාරංගි මෙවර තරග වාරය ආරම්භ කළේ ඉසව්වේ ජාතික වාර්තාව තමන් සතු කරගෙනයි.

ඉන්පසුව පැවති සියවැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා දුර පැනීම කිරුළ දිනා ගත් සාරංගි ලෝක මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කර ගනිමින් විශේෂ යුරෝපීය සංචාරයකට එක් වුනා.

එම සංචාරයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සාරංගි සමත් වූ අතර ස්විස්ටර්ලන්තයේ පැවති තරගාවලියක දී කාන්තා දුර පැනීම ඉසව්ව මීටර් 6.33ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වුනා.

මෙවර තරග වාරයේ දැක්වූ දස්කම් නිසා ශ්‍රේණිගත කිරීම් ඔස්සේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට සාරංගි සමත් වූවත්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් පුහුණු වීම් සඳහා ඇය ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගි වීමෙන් වැළකී සිටියා.

තරමක අසනීප තත්වයක් යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් වූ සාරංගි එහි සුදුසුකම් ලැබීමේ වටයේ දී මීටර් 6.42ක දස්කමක් දක්වමින් හයවැන්නා ලෙස අවසන් වටයට සුදුසුකම් ලැබුවා.

අවසන් වටයේ දී බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට සාරංගි සිල්වාට නොහැකි වූ අතර මීටර් 6.02ක දස්කමක් සමඟ ඇය ඉසව්ව අවසන් කළේ 13 වැන්නා ලෙසයි.

සැප්තැම්බර් මාසයේ දියගම දී පැවති ජාතික තේරීම් තරගාවලියට සහභාගී වූ සාරංගි එහි දී මීටර් 6.37ක දස්කමක් දක්වමින් මෙවර තරග වාරය අවසන් කළා.

සුමේධ රණසිංහ -හෙල්ල විසිකිරීම (පිරිමි)

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට පවා සහභාගී වූ සුමේධ රණසිංහ පසුබෑමකට ලක් වූ කාලයක් අවසන් කරමින් නැවතත් සුපුරුදු රිද්මයට පැමිණීමට මෙම වසරේ දී සමත් වුනා.

මාර්තු මාසයේ පැවති තේරීම් තරගාවලියේ දී මීටර් 81.79ක කැපී පෙනෙන දස්කමක් දැක්වූ සුමේධ අප්‍රේල් මාසයේ පැවති සියවැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 82.18ක ඉහළ දස්කමක් දක්වමිනුයි.

එම දස්කම මෙවර තරග වාරයේ ලොව හොඳම දස්කම් අතරට එක් වූ දස්කමක් වූ අතර සියවැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබුවේ සුමේධ රණසිංහයි.

මෙවර තරග වාරයේ කැපී පෙනෙන දස්කම් දැක්වූවත් සුමේධ හට ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වූ නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා සංචිතයට ඔහු ඇතුළත් වුනා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීම ඉසව්වේ මීටර් 70.77ක දස්කමක් දැක්වූ ඔහුට හිමි වුනේ දසවැනි ස්ථානයයි.

කාලිංග කුමාරගේ – මීටර් 400 (පිරිමි)

තහනම් උත්තේජන චෝදනාවෙන් නිවැරදිකරු වීමෙන් පසුව පෙරළිකාරී දස්කම් දැක්වූ කාලිංග මෙම වසරේ ද මීටර් 400 තරග පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනා.

අප්‍රේල් මාසයේ දියගම දී පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 400 කිරුළ දිනා ගැනීමට කාලිංග සමත් වුනේ තත්පර 45.88ක කැපී පෙනෙන කාලයකින් තරගය අවසන් කරමිනුයි.

එම ජයග්‍රහණයෙන් පසුව ලෝක මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කර ගනිමින් යුරෝපා සංචාරයකට එක් වූ කාලිංග එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූවත්, ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වුනේ නැහැ.

නමුත් ඔහු මෙම වසරේ දැක්වූ දස්කම් නිසා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට නම් කළ මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත් වීමට ඔහුට හැකි වූ අතර එහි මීටර් 400 මූලික වටයේ දී තත්පර 46.53ක දස්කමක් දක්වමින් සිව්වැන්නා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කාලිංගට හැකි වුනා.

තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී සිය රිද්මයට පිවිසීමට අසමත් වූ කාලිංග තත්පර 47.00ක කාලයකින් තරගය අවසන් කළේ හත්වැන්නා ලෙසයි.

මෙම වසරේ සහභාගී වූ අවසන් තරගය වූ තේරීම් තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්පර 45.70ක කැපී පෙනෙන කාලයකින් අවසන් කරමින් කාලිංග 2022 තරග වාරය නිමා කළා.

උෂාන් තිවංක – උස පැනීම (පිරිමි)

මලල ක්‍රීඩා පිටියේ මෙම වසරේ වැඩි අවධානයක් දිනා ගත්  ක්‍රීඩකයෙකු ලෙස උෂාන් තිවංක හඳුන්වන්නට පුළුවන්.

මංජුල කුමාර පිහිටුවා තිබූ උස පැනීමේ වාර්තා සියල්ල තමන් සතු කර ගත් උෂාන් ගෘහස්ථ සහ එළිමහන් තරග ද්විත්වයේම මීටර් 2.27ක කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.

ඇමරිකාවේ වාසය කරන උෂාන් සිය විශ්වවිද්‍යාල වෙනුවෙන් ඉහළ දස්කම් දක්වමින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට සමත් වූවත්, ප්‍රධාන පෙළේ තරගාවලියකට සහභාගී වීමට අවස්ථාව නොලැබීම නිසා ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වුනේ නැහැ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් ලබා ගන්නා දස්කම් මට්ටමේ උෂාන් සිටියත්, පෞද්ගලික හේතුවක් මත එම තරගාවලියෙන් ඉවත් වීමට උෂාන් තීරණය කළේ සිය 2022 තරග වාරය අවසන් කරමිනුයි.

තරුෂි කරුණාරත්න – මීටර් 400 (කාන්තා)

2022 වසරේ ජාතික මලල ක්‍රීඩා පිටියේ පෙරළියක් ඇති කරමින් සුවිශේෂී දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩිකාවක් ලෙස තරුෂි කරුණාරත්න හඳුන්වන්නට පුළුවන්.

ඇය, සියවැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 400 ඉසව්ව තත්පර 53.85ක කාලයකින් අවසන් කරමින් ජාතික කිරුළ දිනා ගත්තේ පාසල් ක්‍රීඩිකාවක්ව සිටින අතරවාරයේ වීම විශේෂත්වයක්.

ඉන්පසුව පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 400 ඉසව්ව තත්පර 54.85ක කාලයකින් අවසන් කරමින් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට තරුෂිට හැකි වුනා.

ගුවන් ගමනේ ප්‍රමාදය ඇතුළු ගැටලු රැසක් යටතේ ලෝක ශූරතාවයට සහභාගි වූ තරුෂි එහි මීටර් 400 මූලික තරගය තත්පර 54,13ක කාලයකින් සිව්වැන්නා ලෙස අවසන් කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව තරගය තත්පර 54.86ක කාලයකින් අවසන් කළ තරුෂි හත්වැන්නා ලෙස ලෝක ශූරතා ගමන අවසන් කළා.

ජාතික සහ ජාත්‍යන්තර තරගාවලිවලින් පසු පාසල් පිටියේ ප්‍රබල ආධිපත්‍යක් රඳවා ගත් තරුෂි නිමා වූ ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලියේ සහ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව් ජයග්‍රහණය කළේ තරගාවලි වාර්තා ද සමඟිනුයි.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වෙමින් තරුෂි මෙවර තරග වාරය අවසන් කළා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව මෙම වසරේ දී අමාෂා ද සිල්වා, චමෝද් යෝධසිංහ, ලක්ෂිකා සුගන්ධි වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවන් දේශීය තලයේ සුපුරුදු දස්කම් දක්වද්දී, හිරූෂ හෂාන්, වත්සලා මධුශානි, ඉසුරු කෞෂල්‍ය සහ ධනුක දර්ශන වැනි යොවුන් ක්‍රීඩකයින් ද කැපී පෙනෙන දස්කම් දැක්වුවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වෙමිනුයි.

සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් අතර සිටීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අනාගතයට සුබ ලකුණක් වන අතර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ආසියානු ක්‍රීඩා උළෙල යන ද්විත්වයම ලබන වසරේ පැවැත්විමට නියමිත නිසා එම වසර ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තීරණාත්මක වසරක් වනු නොඅනුමානයි.

මෙම දස්කම් තව තවත් වර්ධනය කර ගනිමින් 2023 වසරේ දී ජයග්‍රහණවලින් ලක් මාතාව බැබළවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබේවායි ThePapare.com හි ප්‍රාර්ථනාවයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<