2023 දැල්පන්දු ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට!

Netball World Cup 2023

1836

එංගලන්තය පැරද වූ ඕස්ට්‍රේලියානු දැල්පන්ද කණ්ඩායම 2023 දැල්පන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ (06) රාත්‍රියේ සමත් වුනා.

මෙතෙක් දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථක ම කණ්ඩායම ලෙස හඳුන්වා දිය හැකි ඕස්ට්‍රේලියාව විසින් දැල්පන්දු ලෝක ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ 12 වැනි වරට වීම විශේෂත්වයක්. 

මෙවර දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිදි පැවැත්වුණු තරගාවලිය ආරම්භයේ පටන් ම මෙවර ලෝක කුසලානය ද තමන්ගේ කර ගැනීමට සූදානමින් සිටින බවට ඕස්ට්‍රේලියාව විසින් ඉඟි සැපයුවා. ඒ අනුව ඊයේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු අවසන් මහා තරගයේ දී ලකුණු 61-45ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වුනා. 

තරගයේ පළමු කාර්තුව තුළ දෙපිළම සම මට්ටමින් දක්ෂතා පෙන්වමින් ලකුණු 13 බැගින් ලබා ගැනීමට සමත් වුනත් දෙවැනි කාර්තුවේ පටන් ඕස්ට්‍රේලියාව තරගයේ වැඩි ගෞරව තමන් වෙතට යොමු කර ගැනීමට සමත් වුනා. 

මේ අනුව දෙවැනි කාර්තුව තුළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් විසින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වූ අතර, එංගලන්තය විසින් ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි. 

තරගයේ තෙවැනි කාර්තුව මෙම තරගය ද ඉතිහාසයේ අනෙක් අවසන් මහා තරග බොහෝමයක සිදු වූවා සේ ම ඕස්ට්‍රේලියාව වෙතට ලියැවුණු තරගයක් බව තහවුරු කළා. එහි දී ඕස්ට්‍රේලියාව ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර එංගලන්තය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 13ක් පමණයි.  

එවන් වතාවරණයක් තුළ ආරම්භ වූ තරගයේ සිව්වැනි සහ අවසන් කාර්තුවේ දී ද ඕස්ට්‍රේලියාව විසින් පහසුවෙන් ඉදිරියට පැමිණීමට සමත් වූ අතර එහි දී ඕස්ට්‍රේලියාව විසින් තවත් ලකුණු 15ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනේ එංගලන්තය ලකුණු 9ක් පමණක් රැස් කරනා අතරේ දීයී. 

අවසන් ලකුණු තත්වය:ඕස්ට්‍රේලියාව 61 – 45 එංගලන්තය 

මෙවර දැල්පන්දු ලෝක කුසලානය අතීත තරගාවලි සමඟ සැසඳීමේ දී තරමක් වෙනස් එකක් වූ බව සඳහන් කළ හැකි. 

මෙහි දී මෙවර අනුශූරතාව දිනා ගැනීමට සමත් වූ  එංගලන්තය විසින් 1975 වසරේ පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලියේ දී දෙවැනි ස්ථානය හිමිකර ගැනීමෙන් වසර 48 පසුව නැවතත් එවැනි ම දස්කමක් දක්වමින් දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සිය උපරිම දක්ෂතාවක් කරා ළඟා වීමට සමත් වීම විශේෂත්වයක්. 

එමෙන්ම 1995 වර්ෂයේ දී දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් මහා තරගයක් පැවැත්වීමෙන් අනතුරුව පැවැත්වුණු දැල්පන්දු ලෝක කුසලාන අවසන් මහා තරග හයේ ම ප්‍රතිවාදීන් බවට පත් වීමට සමත් වුනේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම් විසිනුයි.

නමුත් මෙවර එම ඉතිහාසය වෙනස් කිරීමට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වුනේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තයට නොසිතු විරූ පරාජයක් උරුම කර දීමත් සමඟයි. 

ඒ අනුව 1999 වසරෙන් පසුව දැල්පන්දු ලෝක කුසලාන අවසන් තරගයක් මග හැරී ගිය නවසීලන්තය අවසානයේ නතර වුනේ මෙවර තරගාවලියේ සිව්වැනි ස්ථානයට පත් වෙමිනුයි. 

ඊයේ ජැමෙයිකාව සහ නවසීලන්තය තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් තරග වැදුණු තරගයෙන් ජැමෙයිකාව ලකුණු 52-45ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මේ අනුව නවසීලන්තය සිය දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩා කළ දුර්වලම තරගාවලිය ලෙසයි මෙවර තරගාවලිය ඉතිහාසයට එක් වුනේ. 

මෙතෙක් කලකට ඔවුන් ලෝක කුසලාන තරගාවලියක තෙවැනි ස්ථානයෙන් පහළට ඇද වැටී තිබුණේ නැහැ. 

මේ අතරම තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණු C කාණ්ඩයේ සාමාජිකත්වය දැරූ ජැමෙයිකානු කණ්ඩායම 2007 වසරෙන් පසු නැවතත් ලෝක කුසලාන තරගාවලියක තෙවැනි ස්ථානයට පත්වීමට සමත් වීමත් විශේෂත්වයක්. 

තරගාවලියේ සත්කාරකත්වය දැරූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙවර තරගාවලියේ 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනේ පස්වැනි ස්ථානය උගන්ඩාව විසින් හිමි කර ගන්නා අතරේයි. 

2023 දැල්පන්දු ලෝක කුසලානය නිමා වන විට කණ්ඩායම් ස්ථාන ගත කිරීම් අවසන් වුනේ මේ අයුරිනුයි. 

  1. ඕස්ට්‍රේලියාව  
  2. එංගලන්තය  
  3. ජැමෙයිකාව 
  4. නවසීලන්තය  
  5. උගන්ඩාව 
  6. දකුණු අප්‍රිකාව 
  7. මලාවි 
  8. ටොන්ගා 
  9. වේල්ස් 
  10. ස්කොට්ලන්තය  
  11. ෆීජී 
  12. ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ  
  13. සිම්බාබ්වේ  
  14. බාර්බඩෝස්  
  15. සිංගප්පූරුව  
  16. ශ්‍රී ලංකාව 

මීට අමතරව තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වීමට ජැමෙයිකාවේ Jhaniele Fowler (ලකුණු 213) සමත් වුනා. තරගාවලියේ වීරවරිය සම්මානය දිනා ගැනීමට සමත් වුනේ එංගලන්තයේ Helen Housby විසිනුයි. 

පුරා දින 10ක් තුරාවට 2023 දැල්පන්දු ලෝක කුසලානයේ තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com විසින් සමත් වුනා. 

ඒ අයුරින් ම ඉදිරියේ දී ද ඔබ හා සමීපව ක්‍රීඩාවේ විචිත්‍රවත් බව බෙදා හදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<