සම්මාන නොපතන, Pantගේ සුවය පමණක් පතන ජීවමාන දෙවිවරු!

2022
​Sushil and Paramjeet

ක්‍රිකට් පිළිබඳ දශමයක හෝ උනන්දුවක් නැති බස් රථ රියදුරෙකු වූ Sushil Kumar ඊයේ (30) උදෑසන සුපුරුදු පරිදි සිය බස් රථය Haridwar සිට Delhi බලා ධාවනය කරමින් මොහොතක පාරේ අනෙක් පසින් රියදුරු පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථයක් ඉතා වේගයෙන් තමා දෙසට එන ආකාරය දකිනවා.

එසේ පැමිණි මෝටර් රථය මාර්ගය බෙදා ඇති වැටේ වැදීමෙන් අනතුරට පත් වන ආකාරය දකින Sushil වහාම සිය බස් රථය නවතා ඒ දෙසට දිව යන්නේ මෝටර් රථයේ සිටි රියදුරා ව බේරා ගන්නා අදහසිනුයි.

“අපි ආවේ පාරේ අනිත් පැත්තෙන්, ඒ කියන්නේ මම Haridwar වල ඉඳන් Delhi දෙසට ආවේ, ඔහු Delhi වල ඉඳන් ආවේ. Gurukul Nasran කියන ප්‍රදේශයේ දී මම බස් රථයේ වේගය පැයට කිලෝමීටර් 45ක් විතර වෙන කම් අඩු කළා. ඒ වෙලාවේ මම දුර තියාම දැක්කා වාහනයක් පාරේ අනිත් පැත්තෙන් ගොඩක් වේගයෙන් දෙපැත්තට පැද්දෙමින් එන බව.”

සුපිරි ඉන්දීය පිතිකරු Rishab Pant ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට භාජනය වීමෙන් පසුව ඔහුගේ දිවි බේරා ගැනීමට මුල් වූ Sushil Kumar විසින් Cricbuzz වෙබ් අඩවිය සමඟින් සිය අත්දැකීම බෙදා හදා ගෙන තිබෙනවා.

එහි දී ඔහු විසින් සිය අත්දැකීම විස්තර කිරීම ආරම්භ කළේ පෙර සඳහන් කළ විස්තරය සමඟයි.

Sushil තව දුරටත් සිය අත්දැකීම මේ ආකාරයෙන් වෙබ් අඩවිය සමගින් බෙදා ගත්තා.

“ඒ වෙලාවේ මම හිතුවා කාර් එක බෙදුම් වැටේ වදීවී කියලා. නමුත් කාර් එක වැට බිඳ ගෙන මගේ පැත්තට ආවා. ඒ වගේ දෙයක් මම බලාපොරොත්තු වුනේ නැහැ. මම මගේ වාහනය නතර කළා. ඒ එක්කම අර වාහනය ගිනි ගන්නවාත් මම දැක්කා.”

Sushil සිය අත්දැකීම විස්තර කරද්දී, බස් රථයේ කොන්දොස්තර මහතා (Paramjeet) ද සිය අත්දැකීම මෙසේ විස්තර කළා.

“ඒක සිද්ධ වුනේ උදේ 5.14- 5.15ට විතර. අපේ ඇස් ඉස්සරහමයි ඒ අනතුර සිද්ධ වුනේ. අපි ඔහුව (Pant) එළියට ඇදලා ගත්තා, අපි හිතුවේ ඔහු මිය ගිහින් කියලා. අපි ඔහු පාර වෙන් කරපු බෙදුම (Road Divider) උඩින් තිව්වා. මම අපේ රියදුරාට කිව්වා වාහනයේ තව කවුරු හරි ඉන්නවා ද කියලා පරීක්ෂා කරන්න කියලා. ඒ එක්කම අපේ බස් රථයේ හිටපු මගීන් කිහිප දෙනෙකුත් එතනට ආවා. ඒත් එක්කම වගේ වාහනයේ පිපිරීමක් ඇති වෙලා ගින්න වැඩි වුන නිසා අපි ඉක්මනින් එතැනින් ඈත් වුනා. මොහොතකින් ඔහුට (Pantට) සිහිය ආවා, ඔහු අපිට කිව්වා වාහනයේ වෙන කවුරුත් නැහැ කියලා.

මම ඒ වෙලාවේ ඔහුගෙන් ඇහුවා ඔහු කවුද කියලා. ඔහු ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව ඒ වෙලාවේ අපිට කිව්වා.”

තමන්ට ක්‍රිකට් ගැන ආශාවක් නැති වුනත්, Pantට උදව් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා කියලයි දැන් Sushil කියන්නේ.

“ඔහු කවුරු වුනත්, අපි අපිට කරන්න පුළුවන් දේ කරනවා. ඔහු අපෙන් වතුර ඉල්ලුවා, අපි ඔහුට වතුර ටිකක් දුන්නා. ඒ මගේ වගකීම, ඒ වෙලාවෙ එතන වෙන කවුරු හරි හිටියත් ඒ දේම කරාවි. මම මානුෂීයව කටයුතු කළා විතරයි. මම දැන ගෙන හිටියේ නැහැ ඔහු ඉන්දියන් ක්‍රිකට් වල ලොකු තරුවක් කියලා. මම හිතුවේ ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් කියලා. මම ඒ වෙලාවේ කරපු දේ වෙන ඕනම කෙනෙක් කරාවි”.

Sushilගේ සහයකයා Paramjeet නම් කියන්නේ තමන්ගේ දෙමාපියන් කියලා දුන්න විදිහට ඔහු මිනිසුන්ට උදව් කරමින් ජීවත් වෙනවා කියලයි.

“අපි ඒක කළේ ඇයි කියන එක අහන්න තරම් දෙයක් නෙවෙයි. අපි ඉන්නෙම මේ මහ පාරේ. අපිටත් කවදා හරි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්.”

අනතුරෙන් පසුව Pant විසින් සිය මවට දුරකතන ඇමතුමක් ලබා ගන්න උත්සාහ කළත් ඒක ව්‍යර්ථ වෙලා තියෙනවා. ඊට පස්සේ Sushil පොලිස් හදිසි ඇමතුම් ඒකකය අමතලා සිද්ධිය දැනුම් දීලා ගිලන් රථයක් එතනට ගෙන්වා ගෙන තියෙනවා.

මේ සිදුවීමෙන් පස්සේ අපේ වීරයින් දෙන්නට හතර වටෙන්ම දුරකතන ඇමතුම් ගලා ගෙන එනවා කියලයි ආරංචි වෙන්නේ. ඒ වගේම Haryana රජය විසින් ඔවුන්ට සම්මාන පිරිනමන බවත් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ දෙනො නම් ඒ කිසිම වරප්‍රසාදයක් අවශ්‍ය නැති බව සඳහන් කරලා තියෙනවා.

“අපිට සම්මාන අවශ්‍ය නැහැ, අපි හර්යානා රජයේ සේවකයින්. අපි කළ යුතු වගේම, එතන වෙන කවුරු හිටියත් කරන දේ අපි කළා. අපිට සතුටුයි Rishab Pantට ඉක්මනින් සුව වෙනවා නම්.”

අනතුරට මුහුණ දීමෙන් පසුව Pantගේ මුහුණෙන් ලේ වැගිරෙමින් තිබූ බවත්, ඇඳුම් ඉරී ගොස් සිරුර පුරා සීරීම් තුවාල තිබූ බවත්, ඔහු ඉතා අපහසුවෙන් කොර ගසමින් ඇවිදීමට උත්සාහ කළ බවත් Sushil තව දුරටත් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

පසුව BBCI විසින් Pant ගේ අනතුර පිළිබඳ ව ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

Rishabගේ නළලේ කැපුම් තුවාල දෙකක්, දකුණු දණහිසේ මාංශපේශි ඉරී යාමක් සිදු වී ඇති අතර, ඔහුගේ දකුණු මැණික් කටුව, වළලු කර සහ ඇඟිලි වල තුවාල ඇති බවත් එම නිවේදනයේ සඳහන්. එමෙන්ම ඔහුගේ පිට ප්‍රදේශයේ ද සීරීම් ගණනාවක් ඇති බව එහි සඳහන් වුනා.

එමෙන්ම Dehradun Max රෝහලේ දී ඔහුව තව දුරටත් පරීක්ෂණවලට භාජනය කරන බවත් ඒ අනුව වැඩි දුර ප්‍රතිකාර සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබුණා.

එමෙන්ම අද (31) උදෑසන දිල්ලි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ප්‍රධානී Shyam Sharma ප්‍රකාශ කළේ තමන්ගේ කණ්ඩායමක් අද Pantගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමට Max රෝහල වෙත යන බව සහ Pantව ප්ලාස්ටික් සැත්කම් කිරීම සඳහා දිල්ලි වෙත යැවිය යුතු නම් ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග තමන් විසින් ගන්නා බවයි.

මේ අතර Haridwar පොලිස් අධිකාරි SK Singh විසින් Pant මුහුණ පෑ රිය අනතුර සිදු වූ ආකාරය පිළිබඳ පැහැදිලි කිරමින් පවසා ඇත්තේ, සිය ඥාතීන් බැලීමට Roorkee වෙත ගමන් කරමින් Pantට නින්ද යාම නිසා සිය වාහනය පාලනය කර ගැනීමට නො හැකි වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

Rishab Pantගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ තොරතුරු මෙන්ම දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz සහ Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<