දකුණු අප්‍රිකාව නැවතත් රග්බි ලෝක ශූරයින් බවට පත්වෙයි!

Rugby World Cup 2023

346

දකුණු අප්‍රිකාව විසින් 2023 රග්බි ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට අද (29) අලුයම සමත් වුනා.

ප්‍රබල නවසීලන්තයට එරෙහිව ලකුණු 12-11ක් ලෙස තියුණු ජයග්‍රහණයක් අත් පත් කර ගැනීමත් සමඟින් දකුණු අප්‍රිකාව විසින් සිය සිව්වැනි ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සාර්ථක ම කණ්ඩායම ලෙස ද සිය නම සටහන් කර ගනිමිනුයි.

අවසන් තරගයට පෙර මෙවර ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා ඊයේ (28) අලුයම ආජන්ටිනාව සහ එංගලන්තය තරග වැදුණු අතර එම තරගය ලකුණු 23-26ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්තය විසින් සමත් වුනා.

ආජන්ටිනාව සහ එංගලන්තය

මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 10-16ක් ලෙස එංගලන්තය තරගයේ ඉදිරියෙන් සිටියත්, ආජන්ටිනාව සුපුරුදු පරිදි තරගයේ දෙවැනි අර්ධයේ ග්‍රහණය සියතට ගැනීමට සමත් වුනා.

නමුත් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ආජන්ටිනාව පාර්ශවයෙන් සිදු වූ යම් අඩුපාඩු නිසාවෙන් එංගලන්තයට තරගයේ ආධිපත්‍ය රැක ගැනීමට හැකි වුනා. විශේෂයෙන්ම තරගයේ 75 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා ක්‍රීඩක Nicolas Sanchezට ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට නොහැකි වීම නිසා ආජන්ටිනාවට ලකුණු තත්වය සම කිරීමට තිබූ අවස්ථාව අහිමි වුනා.

ඒ අනුව එංගලන්තයට මෙවර ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය හිමි වූ අතර මෙය ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ තෙවන ස්ථානය ලබා ගත් පළමු අවස්ථාව ලෙසයි සටහන් වුනේ. මේ අතර 2007 වසරේ දී තෙවැනි ස්ථානය සහ 2015 දී සිව්වැනි ස්ථානය දිනා ගත් ආජන්ටිනාව නැවතත් මෙවර ද ලෝක කුසලානයේ සිව් වැනි ස්ථානයට පත්වුනා.

අවසන් මහා තරගය

මාස දෙකකට ආසන්න කාලසීමාවක් තිස්සේ පැවැත්වුණු 2023 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද අලුයම උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුනා. මෙම තරගය නැරඹීමට හිටපු සුපිරි රග්බි තරු මෙන්ම Roger Federer, Novak Djokovic වැනි ලෝක මට්ටමේ ක්‍රීඩා තරු ද පැමිණ සිටීම විශේෂත්වයක්.

තරගය ආරම්භයේ පටන් දෙපිළම එකිනෙකාට නොදෙවෙනි අයුරින් තරග වැදුණු අතර තරගයේ පළමු අර්ධයේ දී ම නවසීලන්ත නායක Sam Cane හට රතු කාඩ්පතක් හිමි වීම නිසා ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු වුනා. මේ නිසා තරගයේ ඉතිරි කොටස ක්‍රීඩා කිරීමට ඉතිරි වුනේ නවසීලන්ත ක්‍රීඩකයින් 14 දෙනෙකු පමණයි.

තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිළම එකඳු උත්සාහක දිනුමක් හෝ වාර්තා කිරීමට සමත් නොවූ නමුත් ලකුණු 6-12ක් ලෙස දකුණු අප්‍රිකාව තරගයේ ඉදිරියෙන් පසු වුනා. දෙපිළම මෙම ලකුණු සියල්ල ලබා ගත්තේ දඬුවම් පහර හරහායි.

තරගයේ දෙවැනි අර්ධය ආරම්භයේ දී දකුණු අප්‍රිකාව උත්සාහක දිනුම් දෙකක් සඳහා ඉතා ආසන්නයට පැමිණියත් ඔවුන්ට ඒවා සාර්ථක කර ගැනීමට නවසීලන්තයෙන් ඉඩ ලැබුණේ නැහැ.

නමුත්, තරගයේ 58 වැනි මිනිත්තුවේ දී නවසීලන්ත ක්‍රීඩක Beauden Barrett විසින් තරගයේ වාර්තා වූ එකම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනා. මෙය මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ අවසන් මහා තරග හතරේ දී ලබා දුන් එකම උත්සාහක දිනුම ලෙසයි සටහන් වුනේ.

නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මෙන්ම, තරගයේ 73 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ද නවසීලන්තය සමත් නොවීම නිසා තරගයේ අවසන් ලකුණු තත්වය 11 – 12ක් ලෙස සටහන් වෙමින් තරගය අවසන් වුනා.

මීට පෙර 1995, 2007 සහ 2019 යන වර්ෂවල දී රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ දකුණු අප්‍රිකාවේ සිව්වැනි ලෝක ශූරතාවය ලෙස මෙය සටහන් වූ අතර, මේත් සමඟින් මෙතෙක් කල් රග්බි ලෝක ශූරතා තුන බැගින් ජයග්‍රහණය කරමින් නවසීලන්තය සමඟ සම මට්ටමේ රැඳුණු අප්‍රිකානුවන් දැන් තමන් ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සාර්ථකම කණ්ඩායම බව ඔප්පු කර අවසන්.

දකුණු අප්‍රිකාව මෙතෙක් සහභාගී වූ අවසන් මහා තරග සියල්ල ජයග්‍රහණය කරද්දී, නවසීලන්තය මෙතෙක් සහභාගී වූ ලෝක කුසලාන අවසන් මහා තරග 5න් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තුනක් පමණයි. එමෙන්ම ඔවුන් පරාජය වූ අවසන් තරග ද්විත්වය ම දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමත් විශේෂත්වයක්.

එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමඟින් 2011 සහ 2015 වර්ෂවල දී නොකඩවා දෙවරක් ලෝක ශූරතාව ජයග්‍රහණය කරමින් නවසීලන්තය පිහිට වූ වාර්තාව සම කිරීමට ද දකුණු අප්‍රිකාව සමත් වුනා.

“දකුණු අප්‍රිකාවේ නොවන අයට මේක අපිට මොන තරම් වටිනවා ද කියලා තේරුම් ගන්න බැරි වේවි. එය ක්‍රීඩාව ගැන විතරක් ම දෙයක් නෙවෙයි. අපේ රට ගොඩක් දේවල් තුලින් යනවා. අපිට මෙහි සිටීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා. මට දකුණු අප්‍රිකානු ජනතාවට ‘ගොඩක් ස්තුතියි’ කියලා කියන්න ඕන.”

ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු නායක Siya Kolisi විසින් එසේ සඳහන් කළා.

2023 රග්බි ලෝක කුසලානය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සමත් වූවා සේ ම ඉදිරියේ දීත් ලෝක රග්බි ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Sky News සහ BBC ඇසුරිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<