පළමු ලෝක කුසලානයේ පළමු නායකයා – අනුර තෙන්නකෝන්

905

ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ පළමු ක්‍රිකට් නායකයා ඔහුය. ටෙස්ට් වරම් දිනා ගැනීමට පෙරාතුව ක්‍රිකට් ලෝකයේ ලිලිපුට්ටන් ලෙසින් හැඳින්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අනෙකුත් කණ්ඩායම් ඉදිරියේ තරගකාරී කණ්ඩායමක් බවට පත් කිරීමේ පළමු පියවර තබන ලද්දේ ඔහුගේ නායකත්වය යටතේ ය. එහි පළමු පියවර වූයේ 1975 වසරේ ලෝක කුසලාන තරගාවලියයි.

එම තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් පිත්තෙන් ද අගනා දක්ෂතාවයන් දැක්වීමට සමත් වූ ඔහු අනුර තෙන්නකෝන් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් දිනා ගැනීමට පෙරාතුව අප සතුව ඉතා ප්‍රබල පිතිකරුවන් කිහිප දෙනෙකුම සිටියේය. ඒ පිතිකරුවන් අතර ඉහළින්ම සඳහන් වූ නමක් වූයේ අනුර තෙන්නකෝන්ය. එසේ ටෙස්ට් වරම් දිනා ගැනීමට පෙරාතුව ඉන්දියානු කණ්ඩායම හා පැවති පළමු පෙළ තරගයක් අතරතුර කොළඹ එස්. එස්. සී. පිටියේ දී අනුර විසින් රැස්කළ ලකුණු 169 පිළිබඳව විචාරකයන් බොහෝ ඉහළින් සඳහන් කරයි. 

අනුර තෙන්නකෝන් පුල් පහරක් එල්ල කරමින්..

එම ඉනිම පිළිබඳව තම මතකය අවධි කරන අනුර එම තරගය පිළිබඳව සිහි කරන්නේ මේ අයුරිනි.

“එය මගේ විශිෂ්ටතම පිතිකරණයන් කිහිපය අතරින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිල නොවන ටෙස්ට් තරගයේ අවසන් දිනයට එනකොට අපේ කණ්ඩායමේ කඩුලු 5ක් දැවී ගිහින් තිබුණා. ඒ වගේම ඉනිමක පරාජයෙන් බේරෙන්න අපට තවත් ලකුණු 120ක් පමණ ලබා ගන්න තිබුණා. ඉතින් දිනය ආරම්භ කරනකොට අපි හිටියෙ ඉතා අසීරු තත්ත්වයක. නමුත් මං කොහොමහරි කඩුල්ලේ රැඳී ඉඳලා කණ්ඩායමට අවශ්‍ය කරන ලකුණු ප්‍රමාණය රැස් කරලා දුන්නා. ඒ ලකුණු නිසා අපිට ඉනිමක පරාජයෙන් ගැලවෙන්න අවස්ථාව උදා වුනා. ඒ වගේම අපිට හැකි වුනා දෙවන ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 80ක ඉලක්කයක් ලබා දෙන්න. අන්තිමේ ඔවුන් කඩුලු 4ක් දැවී ගිහින් ඒ ඉලක්කය සපුරා ගත්තා. නමුත් මුලින් අපේ කණ්ඩායම හිටපු තත්ත්වයත් එක්ක අපි නැවතත් තරගට අවතීර්ණ වුන විදිහ ඇත්තටම අපි ලබපු ජයග්‍රහණයක්.”

1975 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම. රතු පැහැති කවයෙන් දක්වා ඇත්තේ අනුර තෙන්නකෝන් ය.

ඒ වන විට ටෙස්ට් වරම් දිනා නොතිබුනත් 1975 වසරේ එංගලන්තයේ පැවති පන්දුවාර 60 ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර එම කණ්ඩායමට නායකත්වය සැපයීමේ අවස්ථාව හිමි වූයේ අනුර තෙන්නකෝන් හටයි. ප්‍රබල කණ්ඩායම් රැසක් තරග වැදුණ එම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු තරගය වෙනුවෙන් මුහුණ දීමට සිදු වූයේ එම වකවානුවේ ලෝක ක්‍රිකට් ප්‍රබලයින් ලෙස හැඳින්වුන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

එම තරගාවලිය පිළිබඳව අනුරගේ මතකය මෙලෙසය..

“ඒ දිනය අඳුරු වළාකුළුවලින් පිරුණ දිනයක්. ඒ වගේම තණතීරුව කොළ පැහැති තණකොළවලින් පිරිල තිබුණා. අපේ අවාසනාවට එදා අපිට කාසියේ වාසිය අහිමි වුන නිසා ඒ අසීරු වටපිටාවෙ අපිට මුලින්ම පන්දුවට පහර දෙන්නත් වුනා. ඒ වගේ දවසක තණකොළ බහුලව තිබෙන තණතීරුවක් උඩ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන එක ඉතා දුෂ්කර දෙයක්. ඉතින් ඒ අසීරු වටපිටාවෙ අපිට රැස්කරගන්න පුළුවන් වුනේ ලකුණු 80ක් වගේ ප්‍රමාණයක් විතරයි. එහි දී මම දැවී ගියේ බර්නාඩ් ජූලියන්ගේ පන්දුවකට. ජූලියන් එදා කඩුලු 5ක් රැස් කරගන්න සමත් වුනා. ඔහු පන්දුව ගුවනේ පා කළා වගේම තණතීරුව මත දෝලනයත් කළා. ඔහුට මුහුණ දෙන එක වගේම අනෙක් වේගපන්දු යවන්නන්නට මුහුණ දෙන එකත් එදා අපිට ගොඩක් අසීරු වුනා.” 

1975 ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් සමඟින් කාසියේ වාසිය උරඟා බලන අනුර තෙන්නකෝන්.

බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ දණින් වැටෙන්නට සිදුවීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඒ වන විට සිටියේ දැඩි සිත් වේදනාවකිනි. බටහිර මාධ්‍යවේදීන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඔච්චම් කරමින් මාධ්‍ය හැසිරවීම නිසා මේ හිත් වේදනාව තවත් වැඩි වශයෙන් ඔවුන්ට දැනෙන්නට විය.

සිදු වූ අපවාදයෙන් ගැලවීමට නම් ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිත මීළඟ තරගයේ හොඳින් දක්ෂතා පෙන්විය යුතු බව අනුර ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොඳින් වටහාගෙන සිටියහ

එදා පරාජිත මානසිකත්වයෙන් ගැලවී ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් හා උරෙන් උර ගැටුණ ආකාරය අනුර සිහි කරන්නේ මෙසේය.

ඒ පරාජයෙන් පස්සෙ අපිට තිබුණේ ඕස්ට්‍රේලියාවත් එක්ක තරගය.. ඒ තරගයේ දී ප්‍රබල වේගපන්දු යවන්නන් යුගලයක් වුන ඩෙනිස් ලිලී සහ ජෙෆ් තොම්සන් යන දෙදෙනාට මුහුණ දෙන්න අපිට සිදු වුනා. විශේෂයෙන්ම තොම්සන් ඉතාමත්ම වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයෙක්. ඒ තරගයෙදි අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා කොදෙව්වන්ට එරෙහිව ලබපු පරාජය මගහරවාගෙන ඉදිරියට එන්න.

අපේ වාසනාවට එදා හොඳ දීප්තිමත් දවසක් වුනා. ඒ වගේම තණතීරුවත් පිතිකරුවන්ට ඉතා යෝග්‍ය මට්ටමේ එකක් වුනා. මම හිතන්නෙ ඕස්ට්‍රේලියාව එහි දී කාසියේ වාසිය ලබාගෙන මුලින්ම පන්දුවට පහර දුන්නා. ඒ තරගාවලියේ එක් කණ්ඩායමකට පන්දුවාර 60 බැගින් තමයි ක්‍රීඩා කළේ. ඕස්ට්‍රේලියාව ඔවුන්ට නියමිත පන්දු වාර 60 අවසන් වෙනකොට කඩුලු 6ක් දැවී ගිහින් ලකුණු 320ක් ලබාගෙන තිබුණා.”

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඉනිම ආරම්භ කළ සුනිල් වෙත්තමුණි අලංකාර ස්වීප් පහරක් එල්ල කරමින්.

“අපි පිතිකරණයට එළඹුනාම අපේ ආරම්භක පිතිකරුවන් අපට ඉතාමත්ම හොඳ ආරම්භයක් අරගෙන දුන්නා. මම හිතන්නෙ එදා අපේ ඉනිම ආරම්භ කළේ රන්ජිත් ප්‍රනාන්දු සහ සුනිල් වෙත්තමුණි යන ක්‍රීඩකයන් දෙදෙනා. ඔවුන් අපට ලකුණු 40ක් 50ක් වගේ ප්‍රමාණයක් රැස්කරලා දුන්නා. ඊළඟට පිටියට ගියේ බන්දුල වර්ණපුර. ඔහුටත් ලකුණු අතරට එන්න හැකියාව ලැබුණා. 

ඊටත් පස්සෙ පිටියට ගිය දුල්ප් මෙන්ඩිස් ඉතාමත්ම හොඳින් පිතිකරණයේ යෙදුණා. ඔහු ඉතා හොඳ වේගයකින් ලකුණු රැස්කරමින් හිටියා. නමුත් අවාසනාවකට ඔහු ජෙෆ් තොම්සන්ගේ බවුන්සර් පන්දුවකට හුක් පහරක් එල්ල කරන්න ගිහින් පන්දුව නළලේ වැදීම නිසා ආබාධයකට ලක්වුනා. මේ නිසා ඔහුට යළිත් පිතිකරණයේ යෙදීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහුව පිටියෙන් ඉවතට අරන් ගියෙ ඔසවාගෙන. නමුත් ඔහුගේ වාසනාවට ඔහුට ඒකෙන් දිගුකාලීන හානියක් වුනේ නැහැ.” 

තොම්සන්ගේ පන්දුව හිසේ වැදුන පසුව දුලිප් මෙන්ඩිස්ව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන ගිය අයුරු. රතු පැහැති කවයෙන් දක්වා ඇත්තේ අනුර තෙන්නකෝන් ය..

එම වකවානුවේ ලොව වේගවත්ම පන්දු යවන්නා ලෙසින් බොහෝ දෙනා පිළිගනු ලැබුවේ ජෙෆ් තොම්සන් ය. පැයට සැතපුම් 95ක වේගය ඉක්මවා යොමු වූ එම පන්දුවක් හිසේ වැදීමෙන් ඇති වන වේදනාව හා අපහසුතාවය පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. 

කෙසේ නමුත් ඒ අවස්ථාවේ විශාලතම අභියෝගය එල්ල වූයේ අනුර හටය. ඒ තමාගේ එක් ප්‍රතිවාදියෙකු බිම දමා ආවේගශීලී මානසික තත්ත්වයක සිටි තොම්සන්ගේ ඊළඟ පන්දු කිහිපයට මුහුණ දීම සඳහා පිටියට පැමිණිය යුතුව තිබුණේ ඔහුට නිසාය.

ඒ අභියෝගයට මුහුණ දුන් ආකාරය අනුර සිහි කරන්නේ මේ අයුරිනි.

“ඊට පස්සෙ පන්දුවට පහර දෙන්න පිටියට යන්න තිබුනෙ මට. විවේකාගාරයට ගිහින් දුලිප්ගේ තත්ත්වය බලලා නැවතත් පිටියට එනකොට මට ටිකක් වෙලා ගියා. ප්‍රේක්ෂකයො මග බලාගෙන හිටියෙ දුලිප්ට වුන දෙයින් පස්සෙ මම පිතිකරණයට එන්නෙ නැති වෙයි ද කියලා. නමුත් නැවතත් පිටියට ගිහින් ඉනිම ආරම්භ කරන්න මට පුළුවන් වුනා.” 

1975 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම, කණ්ඩායම් බස් රථය ඉදිරිපිට. රතු පැහැති කවයෙන් දක්වා ඇත්තේ අනුර තෙන්නකෝන් ය.

මට මුහුණ දෙන්න වුන ජෙෆ් තොම්සන්ගෙ පළවෙනි පන්දුවාරය ගැන මම කියන්නම ඕන. ඔහු පන්දු යැවීමේ දී අත තරමක් ඈතින් යොමුවන නිසා (ලසිත් මාලිංග මෙන්) ඔහුගේ පන්දු හඳුනා ගැනීම ඉතා අපහසුයි. මම මුහුණ දුන්න ඔහුගේ පළමු පන්දුවාරය පුරාවටම මට දකින්න ලැබුණේ පන්දුව මගේ ඔළුව පහුකරන් යන විදිහ විතරයි. ඒ වෙලාවෙ කිසිම පන්දුවක් මගෙ ඔළුවෙ නොවැදුනේ වාසනාවකට. කොහොමහරි මට ඒ පන්දුවාරයෙන් බේරෙන්න හැකි වුනා. ඊට පස්සෙ මම හෙමින් පන්දුවේ වේගයට හුරුවෙලා ලකුණු අතරට පැමිණියා. එහි දී මයිකල් තිසේරා එක්ක එකතුවෙලා හොඳ සම්බන්ධතාවයක් පවත්වන අතරේ ලකුණු 46ක් රැස්කර ගන්න මට හැකියාව ලැබුණා.

මං පිටියට ගිය වෙලාවෙම වගේ තොම්සන් එවපු පන්දුවක් සුනිල් වෙත්තමුණිගෙ පාදයෙ පිටි පතුලේ වැදුණා. පන්දුවේ වේගය නිසාම ඔහු දැඩි වේදනාවකින් නොන්ඩි ගසමින් සීමා ඉරෙන් ඉවතට පැමිණියා. ඒ වෙලාවෙ ජෙෆ් තොම්සන් පන්දුවත් අරගෙන කඩුල්ල බිඳදාලා සුනිල්ව දුවද්දී දැවී යාමකට හසුකරගන්නත් උත්සාහ කළා. ඒක ඕස්ට්‍රේලියානුවන්ගෙ තියෙන ආක්‍රමණශීලී ස්වභාවය තේරුම් ගන්න ඉතා හොඳ උදාහරණයක්.”

අනුර තෙන්නකෝන්.

ඉන් පස්සෙ සුනිල්ට ක්‍රීඩා කරන්න අපහසු නිසා පිටියෙන් ඉවත් වුනාම මම මයිකල් තිසේරා එක්ක එකතුවෙලා 4 වැනි කඩුල්ල වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කළා. කොහොමහරි තරගය අවසාන වෙනකොට අපි කඩුලු 4 ක් දැවී ගිහින් ලකුණු 270ක් වගේ ප්‍රමාණයක් රැස්කරගෙන තිබුණා. මං හිතන්නෙ එදා අපේ ක්‍රීඩකයන් ආබාධයන්ට ලක් නොවුනා නම් අපිට ඕස්ට්‍රේලියානුවන්ගේ ඉලක්කයට සෑහෙන්න ළං වෙන්න තිබුණා.”

ජාත්‍යන්තර තලයේ ප්‍රබල කණ්ඩායමක් ලෙසින් නොසැලකූ නමුත් ඉතා විශිෂ්ට පිතිකරුවන් කිහිප දෙනෙක්ම ඒ වකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු විය. නමුත් ජාත්‍යන්තර තරග අත්දැකීම් නොමැති වීම හා නුපුරුදු දේශගුණික තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමට සිදුවීම වැනි කරුණු නිසා තම දක්ෂතා උපරිම තලයට ගෙන ඒමේ අවස්ථාව ඔවුන්ට අහිමි වී ගියේය.

ඒ ගැන අනුර දරන්නේ මෙවැනි අදහසකි.

“අපිට ඒ වකවානුවේ ඉතා හොඳ පිතිකරුවන් හිටියා. නමුත් අපිට පන්දුව දෝලනය වන තණතීරු මත ක්‍රීඩා කරලා අත්දැකීම් තිබුණේ නැහැ. අපි එංගලන්තයට ගිය පළවෙනි සංචාරයේ ඉඳන්ම අපි එය තේරුම් අරන් තිබුණා. වායුගෝලයේ ජලවාෂ්ප වැඩිවීමත්, තණතීරු මත කොළ පාට තණකොළ වැඩිවීමත් නිසා පන්දුව ගුවනේ පාවීම වගේම තණතීරුව මත පන්දුව දෝලනය වීම නිසා ඒවාට ඉක්මනින් සූදානම් වෙන එක අපට අසීරු කාර්යයක් වුනා. මේ නිසා අපිට ඒ දේවල් වලට මුහුණ දීම අසීරු වුනා. කොහොම වුනත් ඕස්ට්‍රේලියාව එක්ක තරගයෙන් පස්සෙ අපි ක්‍රිකට් ලෝකයට පෙන්නුවා අපටත් දක්ෂ විදිහට ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් බව.”

අනුර තෙන්නකෝන් 1979 ICC කුසලානය සමඟ. මේ ජයග්‍රහණයත් සමඟින් 1979 වසරේ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ පළමු පෙරළිකාර ජයග්‍රහණය වාර්තා වූයේ 1979 ලෝක කුසලානය තරගාවලිය අතරතුර දී ය. එහි දී වෙන්කටරාගවන්, බිෂන් සිං බේඩි, සුනිල් ගවස්කාර්, කපිල් දේව්, මොහින්දර් අමර්නාත්, දිලිප් වෙන්සකාර් වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාවට පසුකාලීනව ටෙස්ට් වරම් දිනා ගැනීම වෙනුවෙන් ද එම ජයග්‍රහණය ඉවහල් වූ බව ඇතැම් විචාරකයන් ප්‍රකාශ කර තිබේ. 

එම ජයග්‍රහණය හා ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා ගැනීම පිළිබඳව අනුරගේ මතකය මෙසේය.

“ඒ තරගය පැවැත්වුණේ මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී. නමුත් අවාසනාවකට වගේ ඊට කලින් පැවැත්වුන නවසීලන්තයත් එක්ක තරගයේ දී මාව ආබාධයකට ලක්වුනා. ඒ නිසා මට ඒ තරගය ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා කණ්ඩායමේ නායකත්වය බන්දුල වර්ණපුරට පැවරුණා. ඔහු ඉතා දක්ෂ විදිහට කණ්ඩායම මෙහෙයවලා තරගය ජයග්‍රහණය කළා. එදා ප්‍රබල ඉන්දීය වේගපන්දු යවන්නන්ට අපේ පිතිකරුවන් ඉතා හොඳින් මුහුණ දුන්නා. ඒ ජයග්‍රහණයත් එක්ක අපි නැවත වතාවක් ලෝකයට ඔප්පු කළා අපිටත් ප්‍රබල කණ්ඩායම්වලට අභියෝග කරන්න පුළුවන් බව. 

1979 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම. රතු පැහැති කවයෙන් දක්වා ඇත්තේ අනුර තෙන්නකෝන් ය.

ඒ වගේම ඒ ජයග්‍රහණය පසුකාලීනව අපිට ටෙස්ට් තත්ත්වය ලබා ගන්නත් උපකාරී වුනා. අපිට තිබුණ ගැටලුව තමයි ICCය හිතුවා ටෙස්ට් තත්ත්වය ලබන්න තරම් අපට තිබුණ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව. නමුත් ගාමිණී දිසානායක මැතිතුමා ICCයට තත්ත්වය පැහැදිලි කර දීමෙන් අනතුරුව අපිට ටෙස්ට් වරම් හිමි වුනා. ටෙස්ට් වරම් ලැබුණාට පස්සෙ අපි තව තවත් ශක්තිමත් කණ්ඩායමක් බවට පත්වුනා.”

1981 වසරේ ජූලි මස 21 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිකරදුන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ටෙස්ට් තරගයට සහභාගී වූයේ 1982 වසරේ පෙබරවාරි 17 වැනි දින බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුතුවය. ඒ වන විට අනුර විශ්‍රාම ගෙන සිටි නිසා පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වාසනාව ඔහුට හිමි වූයේ නැත. 

ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය හා පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව අහිමි වීම පිළිබඳව අනුර දක්වන්නේ මෙවැනි අදහසකි.

“සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවල දී තීරණ ගන්නේ ඒ අවස්ථාවේ පවතින තත්ත්වය සලකා බලලයි. 1979 වසරෙදි ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය ගන්නකොට මම දෙදරු පියෙක්. ඒ වගේම ක්‍රීඩාව නිසා මට මගෙ රැකියා කටයුතු අතපසු වෙලා තිබුණා. මම තවදුරටත් ක්‍රිකට් වෙනුවෙන් මගෙ කාලය කැපකිරීම සුදුසු ද කියන ප්‍රශ්නය මට තිබුණා. මොකද ඒ වෙනකොට මගෙ රැකියාවෙන් ඉහළට යාමේ අවශ්‍යතාවයක් මට තිබුණා. ඉතින් ඒ හේතු නිසා මම තීරණය කළා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න. 

මම විශ්‍රාම ගන්න කොට මගෙ වයස අවුරුදු 34යි. ඇත්තෙන්ම මට තවත් වසර කිහිපයක් ක්‍රීඩාවේ නිරත වීමේ අවස්ථාව තිබුණා. නමුත් ඒ සඳහා මම ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙනුත්, පුහුණුවීම් වෙනුවෙනුත් වැඩි කාලයක් කැප කළ යුතු වුනා. එසේ වුනා නම් මට මගේ පවුල් ජීවිතය වගේම රැකියාවත් අහිමි වීමේ අවදානමක් තිබුණා. ඉතින් ඒ නිසා 199 වසරේ ලෝක කුසලානයෙන් පසුව විශ්‍රාම ගන්න මම තීරණය කළා.”

>>මරාගෙන මැරුනත් මැච් එක අත් නොහැරිය උපුල් චන්දන<<

ක්‍රීඩාවෙන් සමුගත් පසුව ක්‍රිකට් පරිපාලකයෙක් ලෙස ද පසුකාලීනව තම දායකත්වය සැපයීමට අනුරට හැකියාව ලැබුණ අතර ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක ධුරය, තේරීම් කමිටු සාමාජික ධුරය වැනි වගකිවයුතු නිලයන් කිහිපයක්ම දැරීමේ වාසනාව හිමි විය. 

ක්‍රීඩකයන් අතර මෙන්ම පරිපාලකයන් අතර ද සැබෑ මහත්මයෙකු ලෙසින් නමක් දිනාගෙන සිටි අනුරගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙත ලැබුණ දායකත්වය අතිමහත් ය. ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳව අන් කවරදාටත් වැඩියෙන් කතාබහට ලක්වන යුගයක ඔහු වැනි මහත්වරුන් ක්‍රීඩාව තුළ මෙන්ම ක්‍රීඩා පරිපාලනය තුළ ද ඉතා දුර්ලභය.

අනුර තෙන්නකෝන් ක්‍රිකට් පුරාවෘතයක් වන්නේ එබැවිනි.

Image Credits: gettyimages.com, espncricinfo.com, thuppahi.wordpress.com

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<