2023 අවුරුද්දේ පැවැත්වෙන ක්‍රීඩා සැණකෙළි

712

ගෙවී ගිය 2022 වර්ෂය ක්‍රීඩා සැණකෙළිවලින් වර්ණවත් ව අවසන් වුනා සේම, අදින් (01) ආරම්භ වන 2023 වර්ෂයේ ද දෙස් විදෙස් මට්ටමින් ක්‍රීඩා ඉසව් රැසක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ගෙවුන වසරේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය දෙසැම්බර් 30 වැනිදායින් අවසන් වූ අතර, එදා තරගයේ ප්‍රතිවාදීන් ලෙස තරග වැදුණු පාකිස්තානය සහ නවසීලන්තය මෙම වසරේ ද පළමු ජාත්‍යන්තර තරගය (ජනවාරි 02) ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජනවාරි තුන් වැනිදායින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස ක්‍රිකට්  තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර 2023 වර්ෂය ද බලාපොරොත්තු සහගත ලෙස ආරම්භ කිරීමේ ශ්‍රී ලාංකික ප්‍රාර්ථනා වන්ට එදින පටන් පණ ලැබෙනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලාංකික බලාපොරොත්තු  

2022 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙර සිටියාට වඩා යම් නැගී සිටීමක් පෙන්නුම් කළ වසරක් ලෙස සැලකිය හැකි අතර එළඹෙන 2023 වර්ෂයේ ද ඔවුන්ට සඵල කර ගැනීමට බොහෝ බලාපොරොත්තු ඉතිරිව පවතිනවා.

2023 වසරේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු ක්‍රිකට් තරගාවලිය ලෙස ඉන්දියාව සමඟ විස්සයි විස්ස සහ එක්දින තරග තුන බැගින් තරග හයක් පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ  (දෙසැම්බර් 31) ඉන්දියාව බලා පිටත්ව ගියා.

එයින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත තරග සංචාරයක් නියමිත ව ඇත්තේ (දැනට) මෙම වසරේ මාර්තු මාසයේ දී වන අතර එහි දී ශ්‍රී ලංකාව නවසීලන්තය සමඟ ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට නියමිතයි.

මෙම නවසීලන්ත සංචාරය ශ්‍රී ලංකාවට  ප්‍රධාන හේතු දෙකක් මත අතිශයින් ම වැදගත් තරගාවලියක් ලෙස සැලකිය හැකි එකක්.

  1. ලෝක ටෙස්ට් ශූරතා වලියේ අවසන් මහා තරගයට තේරී පත් වීමට.

ලෝක ටෙස්ට් ශූරතා වලියේ අවසන් මහා තරගයට තේරී පත් වීමට නම් ශ්‍රී ලංකාව නවසීලන්ත තරගාවලිය අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු වනවා.

මේ වන විට ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

  1. 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට තේරී පත් වීමට.

ICC World Cup Super League ලකුණු සටහනේ ලකුණු 77ක් ලබා ගනිමින් මේ වන විට 9 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයට තේරී පත් වීමට නම් (Direct Qualify *) නවසීලන්තය සමඟ එක් දින තරගාවලියේ අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතුව පවතිනවා.

*Direct Qualify – සුපර් ලීග් ලකුණු සටහනේ මුල් ස්ථාන හතේ සිටින කණ්ඩායම් සහ ලෝක කුසලාන සත්කාරකත්වය දරන කණ්ඩායම (ඉන්දියාව) ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබන අතර, තවත් කණ්ඩායම් දෙකක් World Cup Qualifiers තරගාවලිය මගින් තෝරා ගනු ලබනවා.

ශ්‍රී ලංකාවට ලකුණු සටහනේ මුල් ස්ථාන 8 අතරට පැමිණීමට හැකි නොවුනහොත්, මෙම වසරේ ජුනි මාසයේ දී සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වනවා.

මීට අමතරව 2023 ආසියානු කුසලානය (අවිනිශ්චිතයි) සහ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය ද ශ්‍රී ලාංකික ක්‍රිකට් බලාපොරොත්තු ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

2023 වසරේ වර්ණවත් වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය

2023 පෙබරවාරි මාසයේ දී කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීමට නියමිත ව පවතින අතර එය දකුණු අප්‍රිකාවේ දී පෙබරවාරි 10 වැනිදායින් ආරම්භ වනු ඇත.

එමෙන්ම පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ දී ද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තාවල සටහන් වුනත් තවමත් එය තහවුරු වී නැහැ.

මෙවර එය පන්දුවාර පනහේ තරගාවලියක් ලෙස පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මීට පෙර ඉන්දීය කණ්ඩායම ඒ වෙනුවෙන් පාකිස්තානයට සංචාරය නොකරන බවට ද රාවයක් පැතිරුණා.

එවැනි දෙයක් සිදු වුවහොත් එය මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට ද බලපෑමක් එල්ල කිරීමට තරම් දරුණු ගැටලුවක් වීමට ඉඩ පවතිනවා (ඉන්දියාව පාකිස්තානයට ඒම වර්ජනය කළහොත්, පාකිස්තානයට ඉන්දියාවට යනවා ද, නැද්ද යන ගැට‍ලුව මතු වීමට ඉඩ ඇති නිසා.)

මේ අතර මෙවර එක් දින ලෝක කුසලානය මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත අතර ඊට පෙර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මෙම වසරේ ජුනි සහ ජූලි මාසවල දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පළමු වරට පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ද මෙම වසරේ ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිතයි.

ක්‍රිකට් වලට අමතරව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා බලාපොරොත්තු

2022 වසරේ පැවැත්වීමට නියමිත ව තිබූ ආසියානු ක්‍රීඩා උළෙල (Asian Games) මෙම වසරට කල් දැමූ අතර, එය මේ වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා 37ක් පැවැත්වීමට බලාපොරොත්තු වන මෙවර ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආසියානු රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ඉදිරිපත් වීමට නියමිත අතර ශ්‍රී ලංකාව ද ඒ අතර වනවා.

පසුගිය වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පවා සාධනීය දස්කම් පෑ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ මේ වසරේ දීත් බලාපොරොත්තු තබා ගෙන බලා හිඳීමට අවස්ථාවක් ක්‍රීඩා රසිකයින්ට මේ සමඟින් උදා වේවි.

එමෙන්ම කාන්තා දැල්පන්දු ලෝක ශූරතාව ද මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වීමට නියමිතයි. මෙවර ලෝක කුසලානයේ C කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ද ලෝක කුසලානයට ඉදිරිපත් වීමට නියමිතයි.

මීට අමතරව ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ද මෙම වසරේ අගෝස්තුවේ දී පැවැත්වෙන බව දැන ගන්නට ලැබෙනවා.

2023 කියන්නෙත් 2022 වගේම උද්වේගකර ක්‍රීඩාශීලී වසරක් බවට පෙර ලකුණු පහළ වෙනවා.

ඉහත සඳහන් කළ ක්‍රීඩා ඉසව්වලට අමතරව ලෝක මට්ටමෙන් ඉතා වැඩි අවධානයක් දිනා ගැනීමට නියමිත ක්‍රීඩා ඉසව් ගණනාවක් 2023 වසරේ දී පැවැත්වීමට නියමිතයි.

2022 වර්ෂය පාපන්දුවට නතු වුනා සේම, 2023 වර්ෂය රග්බි ක්‍රීඩාවට නතු වීමට ඉඩ සලසමින් රග්බි ලෝක කුසලානය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

එමෙන්ම වසර ආරම්භයේ දී ම (ජනවාරි 13 වැනිදා සිට) හොකී ලෝක කුසලාන තරගාවලිය ද ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම කාන්තා පාපන්දු ලෝක කුසලාන (FIFA Women’s World Cup)  තරගාවලිය ද මෙම වසරේ ජූලි මාසයේ සිට අගෝස්තු තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව 2023 Diamond League තරගාවලිය, වාර්ෂිකව පැවැත්වෙන ටෙනිස් තරගාවලි ද ඔබට මේ වසරේ ක්‍රීඩා ඉසව් ලෙස විඳ ගැනීමට හැකියාව පවතිනවා.

එමෙන්ම නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අවධානය යොමු කරනවා නම් මේ වසරේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත අළුබඳුන ක්‍රිකට් තරගාවලිය සහ මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලිය වෙනුවෙන් ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටින ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අනුමාන කරන්න පුළුවන්.

ලීග් ක්‍රිකට් පිටියත් පෙරට වඩා තරගකාරී වනු ඇත.

ලීග් ක්‍රිකට් තරගාවලි අතරින් වඩාත් ම අවධානය දිනා ගන්නා IPL තරගාවලිය මෙවර ද පැවැත්වීමට නියමිත අතර එය බොහෝ දුරට මේ වසරේ අප්‍රේල්- මැයි මාස වල දී පැවැත්වෙනු ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ සංවිධානය වන LPL සහ T10 තරගාවලි ද 2023 වර්ෂයේ දී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

එමෙන්ම දකුණු අප්‍රිකාවේ SA20, පාකිස්තානයේ PSL, බංග්ලාදේශයේ BPL, බටහිර ඉන්දීය කොදෙව් දේශයන් නියෝජනය කරමින් CPL, ඕස්ට්‍රේලියාවේ Big Bash සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් ILT20 තරගාවලියත් පැවැත්වෙනු ඇත.

ඒ අනුව උදා වුන 2023 වර්ෂය ද කාර්ය බහුල ක්‍රීඩාශීලී වසරක් වනු ඇති බවට අනුමාන කළ හැකි අතර, ThePapare.com ඒ සෑම ක්‍රීඩා අංශයක් ම ආවරණය කරමින් ඔබ වෙත පුවත් ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<