Lyles චරිතයක් වෙද්දී Kipyegon පුරාවෘත්තයක් වී මලල ක්‍රීඩා ශූරතාවලිය නිමා වෙයි!

World Athletic Championship 2023

704

“මා විසින් පිළිගන්නා දේවල් තියෙනවා, ඊට පස්සේ ඒවා මගේ විශාලතම බලාපොරොත්තු බවට පත් වෙනවා. මම පිළිගන්න දේ තමයි මීටර් 100 ඉසව්වෙන් මොනම හරි පාටක පදක්කම දිනා ගැනීම සහ මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කිරීම. මගේ ලොකුම අපේක්ෂාව තමයි රන් පදක්කම් තුනක් සමඟින් මීටර් 200 ලෝක වාර්තාව හිමි කර ගැනීම.” 

19 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය, එහෙමත් නැත්නම් 2023 බුඩාපේස්ට් මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ වෙන්න සති කිහිපයකට පෙර Noah Lyles තමන්ගේ අනාගත බලාපොරොත්තු හෙළිදරව් කළේ ඒ විදිහට. 

Lylesගේ කටමැත දෙඩවීම 

Lyles විසින් ඉහතින් සිදු කළ ප්‍රකාශය කටමැත දෙඩවීමක් සහ තමන් ගැන අධි විශ්වාසයක් තබා ගැනීමක් බව පිරිසක් විසින් සඳහන් කළා. නමුත් තවත් පිරිසක් විශ්වාස කළේ Lyles කිව්වා වගේම මේ දේ කරලත් පෙන්වාවී කියලා. 

Noah Lyles තමන් කියපු දේවල් වලින් බාගයක් ඉටු කරන්න පසුගිය ඉරිදා (27) දිනයේ දී නිමා වුනු 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සමත් වුනා. 

ඔහුට මීටර් 200 ඉසව්වෙන් Usain Botlගේ වාර්තාව අබිබවා යන්න නොහැකි වුනත් ඔහු මීටර් 100, 200 සහ 100×4 ඉසව්වලින් රන් පදක්කම් ජයග්‍රහණය කරන්න සමත් වුනා. 

සමහර විට ඔහු 2024 ඔලිම්පික් උළෙලේ දී සිය ප්‍රකාශයේ ඉතුරු භාගයත් සම්පූර්ණ කරන්න සමත් වේවි. නමුත් තවමත් මීටර් 200 විතරක් නෙවෙයි 100 ඉසව්වෙත් ලෝක වාර්තා තියෙන්නේ තමන් නමින් බව Usain විසින් Lylesගේ අසාර්ථක ප්‍රයත්නයෙන් පස්සේ ලෝකයට මතක් කරලා දුන්නා. 

“තවමත් Boultගේ යුගයයි.” 

ඔහු මේ සටහන පළ කරලා තිබුණේ තමන්ගේ Instagram ගිණුමේ. 

නිමා වුනු ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මේ වගේ තවත් විශේෂ සිදුවීම් කිහිපයක් ම සිදු වුනා. 

Sha’Carri Richardson  

ජැමෙයිකානු කෙටිදුර ධාවනය Boultගේ සමුගැනීමෙන් පසුව බිඳ නොවැටී පවත්වා ගන්න Shelly-Ann-Fraser-Pryce ප්‍රමුඛ කාන්තාවන් පිරිස විසින් සමත් වුනා. 

නමුත් තවමත් වයස අවුරුදු 23ක් පමණක් වයස ඇමරිකාවේ Sha’Carri Richardson විසින් ජැමෙයිකාවට අභියෝග කරන්න මෙවර ලෝක ශූරතාව අවස්ථාවක් කර ගන්නවා. 

ඇය ලොව වේගවත් ම කාන්තාව විදිහට කාන්තා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. නමුත් බහුතරයක් දෙනා බලාපොරොත්තු වුනේ මේ ඉසව්ව ජැමෙයිකාවේ Shericka Jackson හෝ Shelly-Ann-Fraser-Pryce වගේ කෙනෙක් ජයග්‍රහණය කරා වී කියලා. ඒත් Sha’Carri විසින් තත්පර එකොළහකටත් වඩා අඩු කාලයක් ඇතුළත මුළු ලෝකය ම පුදුම කරවන්න සමත් වුනා.

Sha’Carri කියන්නේ සෑහෙන්න බාධක පහු කර ගෙන මෙතැනට ආපු ක්‍රීඩිකාවක්. ඒ නිසාම ඇය විසින් මේ ලබා ගත්තු ජයග්‍රහණයට විශේෂ වටිනාකමක් එකතු වෙනවා. 2021 ඔලිම්පික් වලට මර්ජුවානා පාවිච්චි කිරීමේ චෝදනාව නිසා සහභාගී වෙන්න නොලැබෙන තැන ඉඳන් ම ඇය නොසෑහෙන්න අභියෝගවලට මුහුණ දෙනවා. සෑහෙන්න අපවාදවලට ඇහුම්කන් දෙන්න ඇයට සිදු වෙනවා. 

ඒත් අවසානයේ ඇය මෙවර ලෝක ශූරතාවය නිමා වෙද්දී රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගන්න සමත් වෙනවා. 

Ingebrigtsenගේ අභිමානය 

Jakob Ingebrigtsen තමයි මේ මොහොත වන විට ලෝකයේ පිරිමි මීටර් 1500 සහ 5000 ඉසව් දෙකේ ම විශිෂ්ටතම ක්‍රීඩකයා විදිහට සැලකෙන්නේ. නමුත් මේ නෝර්වේජියානුවාට නිමා වුනු ලෝක ශූරතාවයේ දී මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. ඒ ඉසව්වෙන් Ingebrigtsenව අබිබවා ගිය මහා බ්‍රිතාන්‍යයේ Josh Kerr විසින් රන් පදක්කම ජයග්‍රහණය කිරීම Ingebrigtsenව නොසෑහෙන්න කලබල කරවපු බවක් පෙනෙන්න තිබුණා. 

Ingebrigtsenට මුහුණ දෙන්න සිදු වුන මේ අවාසනාවන්ත පරාජයට හේතුව ඔහු සතුව තිබුණු අධි මාන්නය (Ego) කියලත් සමහරු කතා කරන්න පටන් ගන්නවා. 

කොහොම වෙතත් ශූරතාවලියේ අවසාන දවසේ දී නැවතත් සිය ක්ලැසික් ධාවනයේ යෙදෙමින් තමන්ට ලැබිය යුතු ගෞරවය වෙනුවෙන් සටන් වදින්න Ingebrigtsen සමත් වුනා. ඔහු මීටර් 5000 ඉසව්වේ ලෝක ශූරයා බවට පත් වුනා. 

Kipyegon “අම්මා” 

පිරිමි මීටර් 1500 සහ 5000 ඉසව්වලින් Ingebrigtsen නම් මේ ඉසව් දෙකේ ම කාන්තාව විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් කෙන්යාවේ Faith Kipyegonව. 

ඇය 2016 සහ 2020 ඔලිම්පික් උළෙල ද්විත්වයේ ම මීටර් 1500 ඉසව්ව වෙනුවෙන් රන් පදක්කම් ලාභි ක්‍රීඩිකාව වගේම ලෝක ශූරිය බවට වෙන්නත් සමත් වුනා. නමුත් ඇයට අලුත් ඉසව්වක් වුන මීටර් 5000 ඉසව්ව වෙනුවෙන් තමන්ගේ පළමු ලෝක ශූරතා පදක්කම දිනා ගන්න Faith මෙවර සමත් වෙනවා. (මෙවර 1500 සහ 5000 ඉසව් දෙකේ ම රන් පදක්කම් ඇය දිනා ගන්න සමත් වුනා.) 

ඇය මීටර් 5000 ඉසව්වට අලුත් වුනත්, දැනටමත් ඉසව්වේ ලෝක වාර්තාව නම් ලියැවිලා තියෙන්නේ Faitගේ නමින්. 

2018 දී දරුවෙකුට උපත ලබා දුන්න Faith විසින් මාස 18ක පමණ ඇවෑමෙන් පසුවයි නැවතත් තමන්ගේ ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ. එතැනින් පසුව ඇය විසින් පෙරටත් වඩා හොඳින් දක්ෂතා අතරට පිවිසෙන්න සමත් වුනු බවයි දකින්නට ලැබුණේ.

ඒ වගේම මෙම තරග වාරය තමන්ගේ ක්‍රීඩා දිවියේ හොඳම තරග වාරය බවට පත් කර ගන්න සමත් වුන Faith Kipyegon විසින් මීටර් 1500, සැතපුම් (මීටර් 1600) සහ මීටර් 5000 ඉසව් තුනේ ම ලෝක වාර්තා අලුත් කරන්න සමත් වෙනවා. 

තමන්ගේ ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාවක ධාවනයේ යෙදෙන, වගේම දැනටමත් දුර ධාවනයේ පුරාවෘත්තයක් ලෙස සැලකිය හැකි Faithගේ ධාවනය මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සජීවී ව දකින්න සහ විඳින්න ලැබුණා නම් ඔබත් සැබෑ ම වාසනාවන්තයෙක්! 

Femke Bol ප්‍රමුඛ නෙදර්ලන්තය  

නෙදර්ලන්තය මෙවර ශූරතාවලියේ පදක්කම් සටහනේ 8 වැනි ස්ථානයට පත් වෙන්නේ රන් පදක්කම් ද්විත්වයක් සමඟ. මේ පදක්කම් දෙක වෙනුවෙන් ම දායක වුන සහ වැඩි ගෞරව හිමි විය ‍යුතු චරිතය තමයි Femke Bol කියන්නේ. ඇය විසින් කාන්ත මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කළා වගේම කාන්තා 400×4 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරමිනුත් රන් පදක්කම් ජයග්‍රහණය කරන්න සමත් වුනා.  

විශේෂතම දේ තමයි මේ සහය දිවීමේ ඉසව්ව නෙදර්ලන්තය ජයග්‍රහණය කරාවි කියන හැඟීමක් වත් නැතිව තිබුණු මොහොතක මේ ජයග්‍රහණය තමන්ගේ රටට ගෙන ඒමට Bol විසින් සමත් වීම.

ඒ වගේම තරගාවලියේ ආරම්භක දිනයේ ම රන් පදක්කමක් ලබා ගන්න නෙදර්ලන්තයට තිබුණු අනර්ඝ අවස්ථාව Femke නිසාම* නෙදර්ලන්තයට අහිමි වුනා. 

*.මිශ්‍ර 400×4 සහය දිවීමේ ඉසව්ව නිම කරන්න ඔන්න මෙන්න අවස්ථාවක දී Femke Bol ධාවන පථය මත ඇද වැටුණා. මේ නිසා ඔවුන්ට තරගයෙන් ඉවත් වෙන්න සිදු වුනා. 

නමුත් පසුව ඇය විසින් ඒ අඩුව තමන්ගේ උපරිමයෙන් ම පුරවන්න උත්සාහ දැරුවා සහ සාර්ථක වුනා කිව්වොත් නිවැරදියි.  

දිනාවි කියලා හිතුවාට පැරදුණු අය 

සාමාන්‍යයෙන් මේ වගේ ශූරතාවලි ආරම්භ වෙන්නත් කලින් ම තමන්ගේ ඉසව් වෙනුවෙන් පදක්කම් අතේ තියා ගෙන එනවා වගේ පෙනෙන ක්‍රීඩක/ක්‍රීඩිකාවෝ ඉන්නවා. නමුත් මෙවර තරගාවලියේ දී එහෙම හිටපු ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට නොහිතපු පරාජයන් වලට මුහුණ දෙන්න සිදු වුනා. 

ලිපියේ පෙර සඳහන් කළ Ingebrigtsenගේ මීටර් 1500 ඉසව්ව වගේම, කාන්තා මීටර් 100 ඉසව්වෙන් ජැමෙයිකාවේ Shericka Jackson, පිරිමි මීටර් 400 ඉසව්වේ දී දකුණු අප්‍රිකාවේ Wayde Van Niekerk, ඇමරිකාවේ Vernon Norwood, ග්‍රෙනේඩාවේ Karani James, කාන්තා මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්වේ නයිජීරියාවේ Tobi Amusan වගේ අයට පදක්කම් අහිමි වීම සඳහන් කරන්න පුළුවන්. 

ඒ වගේම පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් ග්‍රීසියේ Miltiadas Tentoglou සහ කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් වෙනිසියුලාවේ Yulimar Rojas දෙදෙනා ම තමන්ගේ අවසාන පිමි වලින් තමයි රන් පදක්කම් ජයග්‍රහණය කරන්න සමත් වුනේ. 

ඉන්දියාව දිනුම්! 

මෙවර තරගාවලියේ ඉන්දීය කණ්ඩායම එකම එක රන් පදක්කමක් පමණයි (පිරිමි හෙල්ල විසි කිරීමෙන් Neeraj Chopra විසින්) ලබා ගන්නේ. විශේෂත්වය තමයි මේ ඔවුන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසය පුරාවටම ලබා ගත්තු එකම එක රන් පදක්කමත් වීම. මේක ලෝක මට්ටමෙ බැලුවහම මහා ලොකු දෙයක් නොවුනට, ලංකාවේ අපේ අසල්වැසියා විදිහට ඉන්දියාව ලබපු අපිට නොලැබුණු දේවල් ගැන පොඩි හැඟීමක් අපිට නොදැනෙනවා ම නෙවෙයි. 

ඒ වගේම පිරිමි මීටර් 400×4 ඉසව්වෙන් ලෝකයේ පස් වැනියා විදිහට තරගය නිමා කරන්න වගේම, ඉසව්වේ මූලික වටයේ දී නව ආසියානු වාර්තාවක් පවා පිහිටුවන්නත් ඉන්දියාව සමත් වීමත් ඔවුන් දක්වපු විශේෂ දක්ෂතාවක්.

මීට අමතරව මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 400 ඉසව්වෙන් වසර 40කට පසුව ජැමෙයිකාවට රන් පදක්කමක් ලබා දෙන්න සමත් වුන Antonio Watson, පිරිමි දසප්‍රයාම ඉසව්වෙන් ලෝකයේ මෙතෙක් වාර්තා වූ හයවැනියට ඉහළතම ලකුණු සංඛ්‍යාව (ලකුණු 8909) වාර්තා කිරීමට සමත් වුන කැනඩාවේ Pierce Lepage පිළිබඳවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.  

ඒ වගේම නිමා වුනු ඔලිම්පික් උළෙලේ දී පිරිමි උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම බෙදා ගත්තු දෙදෙනාගෙන් කටාර් දේශයේ Mutaz Essa Barshim මෙවර ලෝකඩ පදක්කමෙන් සෑහෙද්දී, ඉතාලියේ Gianmarco Tamberi සිය පළමු ලෝක ශූරතා රන් පදක්කම ජයග්‍රහණය කරන්න සමත් වීම සහ කාන්තා රිටි පැනීම ඉසව්වෙන් ඕස්ට්‍රේලියාවේ Nina Kennedy සහ ඇමරිකාවේ Katie Moon දෙදෙනා ම රන් පදක්කම් දිනා ගනිමින් සම මට්ටමින් තම ඉසව්ව නතර කිරීම පිළිබඳවත් විශේෂ මතක් කිරීමක් සිදු කළ යුතුමයි. 

ශ්‍රී ලංකාව 

මෙවර ශූරතාවලියේ දී ශ්‍රී ලංකා සහභාගීත්වය ලැබෙන්නේ ඉසව් 3කට පමණයි. මේ ඉසව්වල දී පිරිමි 400×4 කණ්ඩායම ‍රටවල් 17ක් අතුරින් අවසන් ස්ථානයටත්, කාන්තා හෙල්ල විසි කිරීමේ මූලික වටයට සහභාගී වුන නදීශා ලේකම්ගේ ක්‍රීඩිකාවන් 36 දෙනෙකු අතුරින් 22 ස්ථානයටත්, පිරිමි මීටර් 400 ඉසව්වට සහභාගී වුන අරුණ දර්ශන ක්‍රීඩකයින් 41 දෙනෙකු අතරින් 34 වැනි ස්ථානයත් පත් වුනා. 

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වලට ඒ තරම් එළියක් නොලැබුණත් නිමා වුන මලල ක්‍රීඩා ශූරතාවලිය සාපේක්ෂව ඉතාම හොඳ මට්ටමෙන් පැවැත්වුනා. හොඳ තරගකාරී ඉසව් දකින්න ලැබුණා. නොහිතපු අය පැරදුණා වගේම, නොහිතපු අය දිනුවා. 

ක්‍රීඩාව කියන්නේ අනාවැකි බොරු කරවන්න ඉහළතම හැකියාවක් තියෙන අංශයක් බව ඔප්පු කරලාම පෙන්නුවා. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<