2023 වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා දක්ෂයින් නම් කරයි

668

සෑම වසරක ම මලල ක්‍රීඩා ඉසව්වල දී විශිෂ්ට දක්ෂතා දක්වන මලල ක්‍රීඩක/ක්‍රීඩිකාවන් වෙනුවෙන් පිරිනැමෙන වසරේ මලල ක්‍රීඩක/ක්‍රීඩිකා සම්මානය මෙවර තරමක් වෙනස් ස්වභාවයකින් පිරිනැමීමට පියවර ගෙන තිබුණා.

1988 වර්ෂයේ පටන් නොකඩවා පිරිනැමෙන මෙම සම්මානය සඳහා මීට පෙර වසර වල දී එක් ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක පමණක් තෝරා ගත්ත ද මෙවර එය වෙනස් කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා බැගින් 6 දෙනෙකුට මෙම සම්මානය පිරිනැමීමට තීරණය කර තිබුණා.

ක්‍රීඩා රසිකයින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ World Athletics සාමාජිකයින්ගේ ඡන්දයෙන් මෙම සම්මාන සඳහා සුදුස්සන් තෝරා ගන්නා නමුත් මෙවර ලැබුණු මනාප අනුව සම්මානය එක් ක්‍රීඩකයකු/ක්‍රීඩිකාවක සඳහා පමණක් සීමා කිරීම ඉතා දුෂ්කර වූ නිසා කාණ්ඩ තුනකට බෙදමින් මෙම සම්මානය පිරිනැමීමට තීරණය කල බවයි ඊයේ (11) දිනයේ දී World Athletics විසින් සඳහන් කර තිබුණේ.

ඒ අනුව 2023 වසර සඳහා සම්මාන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේයි;

  • කාන්තා ජවන ඉසව් සඳහා: Faith Kipyegon, කෙන්යාව, 1500m/mile/5000m
  • කාන්තා පිටිය ඉසව් සඳහා: Yulimar Rojas, වෙනිසියුලාව, තුන් පිම්ම
  • කාන්තා මාර්ග ධාවනය: Tigist Assefa, ඉතියෝපියාව, මැරතන්
  • පිරිමි ජවන ඉසව් සඳහා: Noah Lyles, ඇමරිකා එක්සත් ජනපදය, 100m/200m
  • පිරිමි පිටිය ඉසව් සඳහා: Mondo Duplantis, ස්වීඩනය, රිටි පැනීම
  • පිරිමි මාර්ග ධාවනය: Kelvin Kiptum, කෙන්යාව, මැරතන්

 

ගෙවී ගිය වසරේ දී මලල ක්‍රීඩා ඉසව් වලින් ලෝක වාර්තා 23ක් වාර්තා වූ අතර ඒ අතරින් මෙවර සම්මාන දිනාගත් Assefa, Duplantis, Kiptum සහ Kipyegon යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ලෝක වාර්තා පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී 27 හැවිරිදි වියේ පසු වන Assefa විසින් පැය 2.11.53ක් තුළ කාන්තා මැරතන් ඉසව්ව නිම කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර ඇය විසින් පෙර පැවති ලෝක වාර්තාව මිනිත්තු 2 තත්පර 14ක් ඉදිරියට රැගෙන ඒමට ද සමත් වුනා. එය ගෙවුණු වසර 40ක ඉතිහාසය තුළ ලෝක වාර්තාවක් ඉදිරියට ගෙන ආ ඉහළම පරතරය ලෙසයි සටහන් වුනේ.

එමෙන්ම පිරිමි මැරතන් ඉසව්ව පැය 2.00.35කින් නිමා කළ Kiptum විසින් මෙතෙක් ඉතිහාසයේ පිරිමි මැරතන් ඉසව්ව පැය 2 මිනිත්තු 01 කාල සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව සටහන් කිරීමට සමත් වුනා. 24 හැවිරිදි Kiptum ජාත්‍යන්තර මැරතන් තරගවලට සම්බන්ධ වෙමින් තවමත් ගෙවී ගොස් ඇත්තේ වසරකට පමණ ආසන්න කාලයක් වුවත් මේ වන විටත් ඔහු මෙතෙක් ඉතිහාසයේ හොඳම තරග අවසන් කිරීම් හතෙන් තුනක ම අයිතිය හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

මේ අතර 2022 වසරේ මලල ක්‍රීඩකයා සම්මානය දිනා ගත් Armand Duplantis විසින් මෙවර නැවතත් එම සම්මානයේ පහස ලබනවා. ඔහු විසින් මෙම වසර පුරාවට මීටර් 6.00 සීමාව 20 වතාවක් තරණය කිරීමට සමත් වූ අතර සිය ලෝක වාර්තාව ද නැවත වරක් අලුත් කිරීමට සමත් වුනා.

එමෙන්ම කෙන්යාවේ Faith Kipyegon විසින් මෙම වසර තුළ ඉසව් තුනකින් (1500m, 5000m සහ 1600m) නව ලෝක වාර්තා පිහිටුවීමට සමත් වුනා. එමෙන්ම මෙවර මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී මීටර් 1500 සහ මීටර් 5000 ඉසව් දෙකම ජයග්‍රහණය කිරීමට ද ඇය විසින් සමත් වුනා.

ගෙවුණු වසරේ පිරිමි කෙටි දුර ධාවනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූ Noah Lyles විසින් නිමා වූ ලෝක ශූරතාවලියේ දී මීටර් 100, 200 ඉසව් ද්විත්වය ම ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා. එමෙන්ම මෙම වසරේ මීටර් 100 ඉසව්ව සඳහා සම හොඳම කාලය (තත්පර 9.83) වාර්තා කිරීමට ද ඔහු සමත් වුනා.

කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝක වාර්තාවට හිමි කම් කියන Yulimar Rojas හට මෙම වසරේ දී නැවත වරක් සිය ලෝක වාර්තාව වෙනස් කිරීමට හැකියාවක් නොලැබුණත් නැවතත් සිය ඉසව්වේ ලෝක ශූරිය ලෙසින් කිරුළු දැරීමට නම් හැකියාව ලැබුණා.

මේ අතර මීටර් 3000 බාධක දිවීම ඉසව්ව වෙනුවෙන් Faith Cherotich සහ මීටර් 800 ඉසව්ව වෙනුවෙන් Emmanuel Wanyongi වසරේ නැගී එන ක්‍රීඩක/ක්‍රීඩිකා සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

2023 වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ උණුසුම් පුවත් ඔබට සමීප කල සේ ම ලබන වසරේ ද ThePapare.com සමඟ ජාත්‍යන්තර මලල ක්‍රීඩාවට සමීප වීමට ඔබට අවස්ථාව හිමි වනු ඇති, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

World Athletics ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<