ඉඩෝරයකට පසු පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ වසන්තය

Asian Athletic Championship 2023

2160

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ම මතකයක් බවට පත් කරවමින් ඊයේ (16) තායිලන්තයේ බැංකොක් හිදි නිමාවට පත් වුනා. 

1973 වසරේ දී ආරම්භ වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 25 වැනි අදියර ඊයේ නිමා වුනේ එහි ශූරතාව රන් පදක්කම් 16ක් සමඟින් සමස්ත පදක්කම් 37ක් දිනා ගැනීමට සමත් වූ ජපානයට හිමි කර දෙමිනුයි. 

වසර ගණනාවක් මුළුල්ලේ චීනය සතු ව තිබූ තරගාවලි ආධිපත්‍යයට ජපනුන් විසින් අභියෝග කරනා අතරේ, ශ්‍රී ලංකාව ද සිය අතීත මලල ක්‍රීඩා ශ්‍රී විභූතිය නැවතත් ආසියාකරයට සිහිපත් කරවීමට මෙවර තරගාවලිය අවස්ථාවක් කර ගැනීම විශේෂත්වයක්. 

2019 වසරේ දී දෝහා හිදි පැවැත්වුණු තරගාවලියෙන් අනතුරුව වසර 4ක ඇවෑමෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත වූ මලල ක්‍රීඩා කණ්ඩායමක් විසින් රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් 8ක් ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් ලියා තැබීමට සමත් වුනා.

මෙය ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලි ඉතිහාසය තුළ ලබා ගත් ඉහළ ම පදක්කම් ප්‍රමාණය ලෙසයි සටහන් වුනේ. 2007 වසරේ දී රන් 3, රිදී 2ක් සහ ලෝකඩ 2ක් සමඟින් සමස්ත පදක්කම් 7ක් දිනා ගැනීමට සමත් වීම මීට පෙර ශ්‍රී ලංකාවේ ඉහළතම දක්ෂතාව (සමස්ත පදක්කම් ප්‍රමාණය අනුව) ලෙස සටහන් වී තිබුණා. 

එමෙන්ම 1998 වසරේ දී සමස්ත පදක්කම් සටහනේ 5 වැනි ස්ථානයට පත් වීමට හැකි වීම මෙතෙක් ඉතිහාසයේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවක ශ්‍රී ලංකාව දැක්වූ ඉහළතම දක්ෂතාව (පදක්කම් සටහනේ ස්ථානය අනුව) ලෙස සටහන් වී තිබුණා. නමුත් මෙවර එම ඉතිහාසය ද වෙනස් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නිමා කරන්නේ පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානයේ ශ්‍රී ලංකා නාමය ලියා තබමිනුයි. 

එම නිසා ම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකි 90 දශකය අග භාගය සහ 2000 දශකයේ මුල භාගයෙන් පසු නැවතත් ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ආධිපත්‍යය පිළිබඳ යම් ඉඟියක් පළ කළ තරගාවලියක් ලෙස මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය හඳුන්වා දිය හැකියි. 

එමෙන්ම අවසන් වරට පැවැත්වුණු මෙම තරගාවලියේ දී (2019) ලෝකඩ පදක්කම් දෙකකින් පමණක් සෑහීමකට පත් වීමට සිදු වූ ශ්‍රී ලංකාව මෙවර සිය අළු ගසා දමා නැවතත් ආසියාව හා ගැටීමට තමන් සූදානම් බවට ලබා දුන් ඉඟියක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකියි. 

2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් ලාභි ක්‍රීඩක/ක්‍රීඩිකාවන් මෙසේයි. 

රන් පදක්කම් 

  • මීටර් 400 කාන්තා – නදීශා රාමනායක (තත්පර 52.61) 
  • මීටර් 800 කාන්තා – තරුෂි කරුණාරත්න (මිනිත්තු 2.00.66) 
  • මීටර් 400×4 පිරිමි – අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ, කාලිංග කුමාර (මිනිත්තු 3.01.56) 

රිදී පදක්කම්  

  • මීටර් 400×4 කාන්තා – නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස්, නිශේන්ද්‍රා ප්‍රනාන්දු (මිනිත්තු 3.33.27) 
  • මීටර් 400×4 මිශ්‍ර – අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න (මිනිත්තු 3.15.41) 

ලෝකඩ පදක්කම් 

  • හෙල්ල විසි කිරීම කාන්තා – නදීශා ලේකම්ගේ (මීටර් 60.93) 
  • මීටර් 1500 කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 4.14.39) 
  • මීටර් 800කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 2.03.25) 

මෙහි දී ශ්‍රී ලංකාව විසින් ලබා ගත් පදක්කම් 8න් 3කට ම සිය දායකත්වය ලබා දීමට තවමත් 18 හැවිරිදි වියේ පසු වන තරුෂි කරුණාරත්න විසින් සමත් වීම විශේෂත්වයක්. 

තරුෂි කරුණාරත්න  

තරුෂි විසින් පසුගිය දා නිමා වුනු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ද මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම තරුෂි විසින් මෙවර තරගාවලියේ දී මීටර් 800 ඉසව්ව මිනිත්තු 2.00.66කින් අවසන් කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර (මීට පෙර එම වාර්තාව ගයන්තිකා අබේරත්න සතු වුනා), වසර 25ක් පැරණි ආසියානු මලල ක්‍රීඩා ශූරතා වාර්තාව ද අලුත් කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

ඒ අතර ශ්‍රී ලංකා කාන්තා 400×4 කණ්ඩායම විසින් ඊයේ (16) දිනයේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුනා. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිවකු හෝ නොසිතූ ලෙස තරගයට අවතීර්ණ කරවීමේ සම්පූර්ණ ගෞරවය තරුෂි කරුණාරත්න හට හිමි විය යුතු අතර ඇය විසින් ශ්‍රී ලංකාවේ අවසන් ධාවිකාව ලෙස ඉතා වේගවත් ධාවනයක යෙදෙමින් ඉන්දීය කණ්ඩායම අබිබවා යෑමට සමත් වුනා. 

මීට අමතරව ඇය විසින් මිශ්‍ර 400×4 ඉසව්ව නියෝජනය කරමින් ද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා. 

නදීෂා රාමනායක  

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දීමේ ගෞරවය හිමි වන්නේ නදීෂා හටයි. 

2017 වසරෙන් පසු ආසියානු මලල ක්‍රීඩා ඉසව්වක රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට වසර 6ක් බලා හිඳීමට සිදු වූ අතර නදීෂා විසින් මීටර් 400 කාන්තා ඉසව්වෙන් පසුගිය 13 වැනිදා ලබා ගත් රන් පදක්කම සමඟ එම ඉඩෝරයට තිත තැබුණා. 

එමෙන්ම 2000 වසරේ දී දමයන්ති දර්ශා විසින් මීටර් 400 ඉසව්ව තත්පර 51.05කින් නිම කරමින් තරගාවලි වාර්තාවක් සමඟ මෙම ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමෙන් වසර 23ක් ගෙවී යාමෙන් පසුව නදීෂා විසින් මෙම ඉසව්වෙන් නැවත වරක් ආසියාව අතික්‍රමණය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්. 

මීට අමතරව ඇය විසින් මිශ්‍ර 400×4 ඉසව්වෙන් ද රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සිය දායකත්වය ලබා දුන්නා. 

නදීශා ලේකම්ගේ  

2013 වසරේ දී නදීකා ලක්මාලි විසින් මීටර්  60.64ක දුරක් හෙල්ල විසි කරමින් පිහිට වූ ජාතික වාර්තාව අබිබවා යමින් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නදීශා ලේකම්ගේ විසින් සමත් වුනා. 

ගයන්තිකා අබේරත්න  

තරුෂි කරුණාරත්න විසින් ඊයේ දිනයේ දී මීටර් 800 ඉසව්වේ ජාතික වාර්තාව අබිබවා යෑමට පෙර එම වාර්තාවට හිමිකම් කීමට සමත් වී සිටියේ ගයන්තිකා අබේරත්න විසිනුයි. ඊයේ තරුෂි විසින් එම වාර්තාව බිඳ හෙළද්දී ඇයට මීටර් කිහිපයක් පිටුපසින් සිටි ගයන්තිකා විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා. 

එමෙන්ම ඇය විසින් මෙවර තරගාවලියේ මීටර් 1500 ඉසව්වට සහභාගී වෙමින් තවත් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා. 

මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව ගයන්තිකා අතින් ගිලිහී ගියත්, තවමත් මීටර් 1500 ශ්‍රී ලංකා වාර්තාව නම් ගයන්තිකාගෙන් ගැළවීමට කිසිවකුත් සමත් වී නැහැ. 

අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ 

අරුණ දර්ශන සහ කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයින් දෙදෙනා ම මෙවර තරගාවලියේ එක් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් බැගින් දිනා ගැනීමට (එකම ඉසව් නියෝජනය කරමින්) සමත් වුනා.

මෙහි දී ඔවුන් දෙදෙනා විසින් නදීශා රාමනායක සහ තරුෂි කරුණාරත්න සමඟ මිශ්‍ර මීටර් 400×4 ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනේ නව ජාතික වාර්තාවක් ද පිහිටුවමිනුයි. 

එමෙන්ම එහි දී ඔවුන් විසින් මෙම වසරේ ජුනි මාසයේ දී ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී පිහිටුවා තිබූ ජාතික වාර්තාව තත්පර 10කින් පහතට හෙළීමට සමත් වීම විශේෂත්වයක්. 

මීට අමතරව තරගාවලියේ අවසන් ක්‍රීඩා ඉසව්ව ලෙස ඊයේ සවස් කාලයේ දී තායිලන්තයේ බැංකොක් හි පැවැත්වුණු පිරිමි මීටර් 400×4 ඉසව්ව අතීත ශ්‍රී ලංකා කෙටි දුර ධාවනයේ විශිෂ්ටත්වය පිළිබඳ මතක අලුත් කරවන අන්දමේ එකක් බවට පත් කරවීමට ශ්‍රී ලංකා 400×4 පිරිමි කණ්ඩායම විසින් සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනා විසින් අදාළ තරගය මිනිත්තු 3.01.56ක කාලයක් තුළ නිමා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනේ එම ඉසව්වේ නව තරගාවලි සහ ජාතික වාර්තාවන් පිහිටුවීමට සමත් වෙමිනුයි. 

මෙහි දී ඔවුන් විසින් 2015 වසරේ දී කටාර් දේශය විසින් පිහිට වූ තරගාවලි වාර්තාව මෙන් , 2000 වසරේ දී රොහාන් ප්‍රදීප් කුමාර ප්‍රමුඛ කණ්ඩායමක් විසින් පිහිටුවීමට සමත් වූ ජාතික වාර්තාව ද බිඳ හෙළීමට සමත් වුනා. 

එමෙන්ම ඔවුන් විසින් වාර්තා කළ මෙම ධාවන කාලය 2023 මලල ක්‍රීඩා කාල සමය තුළ මෙතෙක් වාර්තා වූ 10 වැනි හොඳම කාලය ලෙසත් වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්. 

මීට අමතරව ශ්‍රී ලංකා මිශ්‍ර 400×4 කණ්ඩායම විසින් මෙවර තරගාවලියේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට වැය කළ කාලය 2023 කාල සමය තුළ මෙතෙක් ලොව 18 වැනියට හොඳම කාලය ලෙස ද වාර්තා වී තිබෙනවා. 

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ දී මෙන් ම ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ද ඉහත වාර්තා වලට යම් අභියෝගයක් එල්ල වීමට යම් ඉඩක් ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ද එම වාර්තා වෙනස් කිරීමට ඉඩක් පවතින බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. 

මේ අතර මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූ‍රතා තරගාවලිය ආරම්භ වන විට වසර 50ක් මුළුල්ලේ පැවැත්වුණු මෙම තරගාවලි ඉතිහාසය තුල ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබුණේ රන් පදක්කම් 19ක් පමණයි. නමුත් මෙවර තරගාවලිය අවසන් වන විට ශ්‍රී ලංකාව එය රන් පදක්කම් 22ක් දක්වා ඉහළ දැමීමට සමත් වුනා. 

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු රන් පදක්කම ජයග්‍රහණය කළේ 1995 වර්ෂයේ දීයි. එතැන් පටන් වසර 12ක් ගෙවී යන තෙක් (2007 වසරේ තරගාවලිය තෙක්) ශ්‍රී ලංකාව විසින් රන් පදක්කම් 17ක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

නමුත් 2007 වසරෙන් පසුව 2019 තෙක් ශ්‍රී ලංකාවේ පදක්කම් ගොන්න තුළට එක් වුනේ තවත් රන් පදක්කම් ද්විත්වයක් පමණයි. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් රන් පදක්කම් ත්‍රිත්වයක් ජයග්‍රහණය කිරීමට සමත් වීම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට කෙතරම් වටිනාකමක් එක් කරනවා ද යන්න පැහැදිලි කිරීමට එය ඉතා හොඳ නිදසුනක්. 

නමුත් ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතා ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් දිනා ගත් තරගාවලියේ වාර්තාව මෙවර බිඳ වැටුණේ නැහැ. 2000 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් රන් පදක්කම් 4ක් ජයග්‍රහණය කිරීම මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව විසින් දැක් වූ ඉහළ ම (රන් පදක්කම් අනුව) දක්ෂතාව ලෙස හඳුන්වා දිය හැකියි. 

නමුත් මෙම නැගී එන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තාරුණ්‍යයට එම ඉලක්කය ද සපුරාලීමට ඉතා විශාල අවස්ථාවක් නැවත උදා වී ඇති බව පෙනී යන නිසාම 2025 වසරේ දී දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය තුළ එම ඉතිහාසය වෙනස් වේ යැයි අපි බලාපොරොත්තුවෙන් බලා සිටිමු. 

එමෙන්ම මොවුන්ගේ මෙම කැපී පෙනෙන දක්ෂතා සමඟින් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාව හිමි වෙතැයි බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබෙනවා. 

ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com විසින් එම අදාළ සියලු අවස්ථාවන් පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<