අර්බුද රැසක් පසු කර ආ ස්පාඤ්ඤය නව ලෝක ශූරියන් බවට පත් වෙයි!

FIFA Women's World Cup 2023

983
FIFA Women's World Cup 2023

2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම අද (20) සමත් වුනා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදි පැවැත්වුණු මෙම තරගයේ දී එංගලන්තය සහ ස්පාඤ්ඤය ශූරතාවය වෙනුවෙන් සටන් වැදුණා. මෙය මෙම කණ්ඩායම් ද්විත්වයේ ම පළමු ලෝක කුසලාන අවසන් මහා තරගය වීමත් විශේෂත්වයක්.

එමෙන්ම ඊයේ දිනයේ දී තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැත්වුණු තරගයේ දී සම සත්කාරක ඕස්ට්‍රේලියාවට එරෙහිව ගෝල 2-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ස්වීඩනය විසින් සමත් වුනා.

එය ස්වීඩනය විසින් කාන්තා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ තෙවැනි ස්ථානය ලබා ගත් සිව්වැනි අවස්ථාව ලෙසයි සටහන් වුනේ. එමෙන්ම එම තරගය පරාජය වූ ඕස්ට්‍රේලියාව සිය හොඳම ලෝක කුසලාන දක්ෂතාව දක්වමින් තරගාවලියේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

මේ අතර අද අවසන් මහා තරගයට සහභාගී වූ එංගලන්ත කණ්ඩායම මීට පෙර ලෝක කුසලානයක ලබා තිබූ ඉහළ ම ස්ථානය වන්නේ තෙවැනි ස්ථානය (2015 දී) වන අතර ඔවුන් මීට පෙර තරගාවලියේ (2019) සිව්වැනි ස්ථානයට පත් වීමට ද සමත් වුනා.

මේ අතර ස්පාඤ්ඤ කාන්තා කණ්ඩායම පළමු වරට කාන්තා පාපන්දු ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගැනීමට පවා සමත් වුනේ 2015 වර්ෂයේ දීයි. ඒ අනුව මෙය ඔවුන්ගේ තෙවැනි ලෝක කුසලාන අත්දැකීම වූ අතර මීට පෙර ඔවුන් දක්වා තිබූ හොඳම ලෝක කුසලාන දක්ෂතාව වන්නේ 2019 ලෝක කුසලානයේ දී කණ්ඩායම් 16 තරග වටය වෙත සුදුසුකම් ලබා ගැනීමයි.

මෙවන් වටපිටාවක් තුළ අද පැවැත්වුණු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී එංගලන්ත සහ ස්පාඤ්ඤ කණ්ඩායම් තරගය ආරම්භයේ පටන් කරට කර සටනක නිරත වෙනු දකින්නට ලැබුණා.

නමුත් තරගයේ 29 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤයේ Olga Carmona තරගයේ වාර්තා වූ පළමු සහ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

මීට පෙර ස්පාඤ්ඤය සහ ස්වීඩනය ක්‍රීඩා කළ අවසන් පූර්ව තරගයේ 89 වැනි මිනිත්තුවේ දී විශිෂ්ට ගෝලයක් ලබා ගනිමින් ස්පාඤ්ඤයට අවසන් මහා තරගයට වරම් දිනා දීමට සමත් වුනේ ද Carmona විසින් වීම විශේෂත්වයක්.

Carmonaගෙන් පසුව දෙපිළ ම දිගින් දිගටම කරට කර සටනක නිරත වූ අතර, තරගයේ අවසන් මිනිත්තු කිහිපය ඉතාමත් උණුසුම් ලෙස ඇදී ගියා. නමුත් එංගලන්ත ක්‍රීඩිකාවන්ට ස්පාඤ්ඤ දැල ආක්‍රමණය කිරීමට කිසිදු අවස්ථාවක හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව 2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම විසින් සමත් වුනා.

මේ අනුව සිය හොඳම ලෝක කුසලාන වාර්තාව සමඟින් වුව ද එංගලන්තයට අනුශූරතාවයෙන් සැනසීමට සිදු වුනා. එමෙන්ම එංගලන්තය කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ Sarina Wiegman හට දෙවැනි වරටත් ලෝක කුසලාන අනුශූරතාවකින්* සෑහීමකට පත් වීමට සිදු වීමත් විශේෂත්වයක්.

*.2019 දී නෙදර්ලන්තය විසින් කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අනුශූරතාව දිනා ගනිද්දී ඔවුන්ගේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කළේ ද Wiegman විසිනුයි.

මේ අතර La Roja යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම සිය ඉහළම දක්ෂතාව සමඟින් මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, මීට වසරකට පමණ පෙර දැඩි අභ්‍යන්තර අර්බුදවලින්* පීඩා විඳි මොවුන් එම සියලු ගැටලු පසක ලා කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා කරමින් මෙවර ලෝක ශූරියන් බවට පත්වීමට සමත් වීම විශේෂත්වයක්.

*2015 වසරේ පටන් ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන Jorge Vildaගේ තීරණවලට විරුද්ධ වෙමින් තමන්ව ලෝක කුසලාන සංචිතයට තෝරා ගැනීම් වෙනුවෙන් සලකා නොබලන ලෙස පවසමින් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු විසින් ස්පාඤ්ඤය පාපන්දු සම්මේලනය වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කළා. මෙම ගැටලුව නිසා මෙවර ලෝක කුසලානය සංචිතයට ඇතුළත් කෙරුණේ එම ක්‍රීඩිකාවන් 15 දෙනා අතුරින් තිදෙනෙකු පමණයි.

එමෙන්ම පිරිමි සහ කාන්තා පාපන්දු ලෝක කුසලාන ද්විත්වය ම ජයග්‍රහණය කිරීමට සමත් වූ ලොව දෙවන රට බවට පත් වීමට ද ස්පාඤ්ඤය (මීට පෙර එම දස්කම පෙන්වීමට සමත් වුනේ ජර්මනිය විසිනුයි) අද සමත් වුනා.

  • අවසන් තරගයේ වීරවරිය– Olga Carmona (ස්පාඤ්ඤය)
  • හොඳම යොවුන්ක්‍රීඩිකාව – Salma Paralluelo (ස්පාඤ්ඤය)
  • Golden Glove(හොඳම ගෝල රකින්නිය) – Mary Earps (එංගලන්තය)
  • Golden Boot (තරගාවලියේ ඉහළම ගෝල ලාභික්‍රීඩිකාව) – Hinata Miyazawa (ජපානය) – ගෝල 5
  • Golden Ball(හොඳම ක්‍රීඩිකාව) – Aitana Bonmatí (ස්පාඤ්ඤය)

දිනෙන් දින උණුසුම් වන පාපන්දු ක්‍රීඩාවේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<