රිච්මන්ඩ් – ද මැසනොඩ් දැවැන්ත ජයග්‍රහණ සමඟ තරගාවලියට

19න් පහළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

1107
19න් පහළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (21) පැවැත්වුනා.

අද පැවති තරග දෙකේ දී රිච්මන්ඩ් විද්‍යාලය සහ ද මැසනොඩ් විද්‍යාල දැවැන්ත ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

සාන්ත බෙනඩික්ට් සහ ද මැසනොඩ් විද්‍යාල අතර තරගය

Tier A කොටසේ X කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වුනු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ද මැසනොඩ් ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

එහි දී සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් සියලුම දෙනා නොසිතූ ලකුණකට දවා ගන්නට වමතින් දඟපන්දු යවන කවිඳු කෞශල්‍ය ඇතුළු ද මැසනොඩ් පන්දු යවන්නන් සමත් වුනා.

කෞශල්‍යගේ සුපිරි පන්දු යැවීම හමුවේ සාන්ත බෙනඩික්ට් ඉනිම ලකුණු 48ක් වැනි අවම ලකුණකට සීමා වුනු අතර ද මැසනොඩ් ක්‍රීඩකයින් එකඳු හෝ කඩුල්ලක් නොදැවී පන්දුවාර 10කුත් පන්දු 4ක් තුල එම ඉලක්කය සපුරා ගෙන තරගාවලියේ ඔවුන් මුහුණදුන් පළමු තරගයෙන්ම දැවැන්ත ජයක් ලබා ගත්තා.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 48 (20): ඔනේෂ් මයිකල් 13*, කවිඳු කෞශල්‍ය 6/13

ද මැසනොඩ් විද්‍යාලය – 49 (10.4):

ද මැසනොඩ් විද්‍යාලයට කඩුලු 10ක ජයක්

රිච්මන්ඩ් සහ නාලන්දා විද්‍යාල අතර තරගය

නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාලන්දා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් රිච්මන්ඩ් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 217ක් ලබා ගත්තා.

එහි දී චෙහාන් සුබසිංහ ලකුණු 77ක් ලබාගෙන දස්කම් දැක්වූයේ රිච්මන්ඩ් විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා වෙමින්. පන්දු 108ක දී වර්ණවත් වුනු ඔහුගේ ඉනිමට 4 පහර 7ක් සහ 6 පහරක් ඇතුළත් වුනා. පන්දු යැවීමේ දී හසිත් රත්නායක සහ සජිත විතානගේ කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

පිළිතුරු ඉනිම දියත් කළ නාලන්දා විද්‍යාලය පන්දුවාර 39ක් තුල සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 116ක් පමණයි.

එහි දී මනූම මන්මිත් ලකුණු 34ක් ලබා ගන්නා විට නායක විතානගේ දවා ගත් කඩුලු 3ට අමතරව ලකුණු 29ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කවීෂ ඉඳුවර සිය නියමිත පන්දුවාර 10 තුල ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා. මේ තරගය Tier A කොටසේ Y කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වුනා.

රිච්මන්ඩ් විද්‍යාලය – 217 (48.4): චෙහාන් සුබසිංහ 77, ශරෝන් අභිෂේක් 47, හසිත් රත්නායක 3/16, සජිත විතානගේ 3/35

නාලන්දා විද්‍යාලය – 116 (39): මනූප මන්මිත් 34, සජිත විතානගේ 29, කවීෂ ඉඳුවර 4/17

රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 101ක ජයක්

>>WATCH – ශ්‍රී ලංකා – කොදෙව් යෞවනයින්ගේ සටන – Cricket Watarawuma

තරගාවලියේ සියලුම තොරතුරු මෙන්ම, දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<