බංග්ලාදේශ ක්‍රීඩකයෙකුටත් දූෂණ විරෝධී චෝදනා

අබුඩාබි T10 තරගාවලිය

531

අබුඩාබි නුවර පැවැත්වෙන T10 තරගාවලිය නියෝජනය කළ බංග්ලාදේශ ක්‍රීඩක Nasir Hossain හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ විරෝධී චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම තරගාවලියේ 2021 වසරේ පැවති අදියර නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ම මෙම චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා ලැබූ අටවැනි ක්‍රීඩකයා වීම ද විශේෂත්වයක්.

බංග්ලාදේශය නියෝජනය කරමින් ටෙස්ට් තරග 19ක්, එක්දින තරග 65ක් සහ විස්සයි විස්ස තරග 31ක් නියෝජනය කළ ඔහු වැරදිකරු වී ඇත්තේ 2.4.3, 2.4.4 සහ 2.4.6 යන වගන්ති යටතේයි.

තරගාවලිය තුළ ඔහුට ලැබුණු ත්‍යාගයක් හෝ මුදලක් පිළිබඳ විමර්ශන නිලධාරියාට වාර්තා නොකිරීම, ඔහුගේ විමර්ශන සඳහා සහය නොදැක්වීම සහ ඔහුට එල්ල වී ඇති චෝදනා සඳහා සම්පූර්ණ කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි වීම යන චෝදනා ඔහුට එල්ලව තිබෙනවා.

ඔහු 2017 වසරෙන් පසු බංග්ලාදේශ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර නොමැති නමුත් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් නායකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.

එමෙන්ම ඔහු ක්‍රීඩා කළ කණ්ඩායමේ හිමිකරුවන්ට ද විමර්ශන සඳහා සහය නොදැක්වීම යටතේ චෝදනා එල්ල වී තිබෙන අතර තරග අතරතුර ඔට්ටු තැබීම් සිදු කළා යැයි ද ඔවුන්ට චෝදනා එල්ල වී තිබීම විශේෂත්වයක්.

මෙම දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් T Ten Sports කළමනාකාර මණ්ඩලය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙම දූෂණ නැති කර දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

”අපි මේ චෝදනා ඉතා බැරෑරුම් ලෙස සලකන අතර සියලු දූෂණ අවසන් කිරීමට කටයුතු සිදු කරනවා. අප තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ ඉතා සමීපව වැඩ කරන අතර ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට අපි ඕනෑම දෙයක් කරනවා.”

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<