විශ්මි විස්සයි විස්ස ලකුණු 1000 සම්පූර්ණ කරයි

ICC Women’s Emerging Nations Trophy 2026

2
ICC Women’s Emerging Nations Trophy 2026

ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ 3 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (15) සමත් වෙනවා. අද ඔවුන් පරාජය කරන්නේ පැපුවා නිව් ගිනියා කණ්ඩායමයි.

Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී අද නිමා වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පැපුවා නිව් ගිනියා නායිකාවගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පැපුවා නිව් ගිනියා ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 83ක් පමණයි.

>>ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයත් පරාජය කරයි

ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ පෙර තරගයට එක් වූ චේතනා විමුක්ති වෙනුවට මල්කි මදාරා එක් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සත්‍යා සංදීපනී, සුගන්දිකා කුමාරි, මල්කි මදාරා සහ නිමාෂා මීපගේ.

ස්කෝට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Brenda Tau (නායිකාව සහ කඩුලු රකින්නිය), Hollan Doriga, Naoani Vare, Sibona Jimmy, Tanya Ruma, Pauke Siaka, Lakshmi Rajadurai, Henao Thomas, Hane Tau, Geua Tom සහ Dika Lohia.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න. ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා. මෙම ඉනිමේ දී ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 1000 කඩඉමට පිවිසියා.

එහි දී ඇය ඉමේෂා දුලානි හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කරනවා. ඉමේෂා දුලානි පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව හසිනි පෙරේරා පන්දු 21ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද සහ කවීෂා දිල්හාරි පන්දු 10ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගත්තා. නායිකා හර්ෂිතා සමරවික්‍රමට අද තරගයේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ පන්දු 6ක දී ලකුණු 8ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී නිලක්ෂිකා සිල්වා පන්දු 9ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද සහ කෞෂිනි නුත්‍යාංගනා පන්දු 5ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Naoani Vare ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Pauke Siaka සහ Hane Tau කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පැපුවා නිව් ගිනියා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Pauke Siaka. ඇය පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Naoani Vare පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 15ක් ද සහ නායිකා Brenda Tau පන්දු 27ක දී ලකුණු 15ක් ලබා ගත් අතර අනෙක් සෑම පිතිකාරිනියක ගේ ම ඉනිම් තනි ඉලක්කමේ ලකුණකට සීමා වුණා.

කඩුලු දවා ගැනීමේ දී සුගන්දිකා කුමාරි සහ සත්‍යා සංදීපනී කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව නිමේෂා මීපගේ, නිලක්ෂිකා සිල්වා සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5 දැවී 150 (20.0)විශ්මි ගුණරත්න 51, හසිනි පෙරේරා 20, ඉමේෂා දුලානි 32, Naoani Vare3/17
  • පැපුවා නිව් ගිනියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 83 (20.0)Pauke Siaka25, සත්‍යා සංදීපනී 2/15, සුගන්දිකා කුමාරි 2/10

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 67ක ජයක්.

තරගයේ වීරයා – විශ්මි ගුණරත්න (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (16) සවස 2.45ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින්  Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<