ලොකු කුසල් නැති නම් ඔහුගේ තැනට හොඳ පස් දෙනෙක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

2165

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ වීමට තවත් දින කිහිපයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, ආරම්භක පිතිකරු සහ කඩුලු රකින පිතිකරු කුසල් පෙරේරා හට ඇතිව තිබූ උරහිසේ ආබාධය තරමක් උත්සන්න වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ නිසාවෙන් මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට කඩුලු රකින පිතිකරුවෙක් හෝ කඩුලු රකින ආරම්භක පිතිකරුවෙකුගේ අවශ්‍යතාවය මතුව තිබෙනවා. පසුගිය තරගාවලි කිහිපය පුරාවට නම් කළ ශ්‍රී ලංකා සංචිතයන් තුල කඩුලු රකින පිතිකරුවන් කිහිප දෙනෙකුම සිටි නමුත්, එයින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම (නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්) යම් යම් හේතූන් මත මේ වන විට ශ්‍රී ලංකා සංචිතයේ නැහැ.

තවත් ක්‍රිකට් පුවත්:

එළඹෙන 18 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ඉලක්ක කරගනිමින් පැවැත්වුණු පළමු පුහුණු සැසි දෙක සඳහාම කුසල් පෙරේරා සහභාගී වුනේ නැහැ. 

යම් ආකාරයකින් පළමු එක්දින තරගය පැවැත්වෙන දිනය වන විට ඔහුගේ ආබාධය සුව නොවී තිබුනහොත්, ඒ වෙනුවෙන් ස්ථානය දිනා ගැනීමට හැකි ක්‍රීඩකයින් කවුරුන් ද කියා අවධානය යොමු කර බලමු.

මේ ක්‍රීඩකයින් පස් දෙනාම මේ වන විට ශ්‍රී ලංකා A සහ නැගී එන කණ්ඩායමේ ඉදිරි තරගාවලි වෙනුවෙන් පුහුණුවීම් කිරීම සඳහා දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන ජෛව ආරක්ෂිත බුබුලක (Bio-secure bubble) පසුවනවා.

මිනෝද් භානුක

Minod Bhanuka2019 වසරේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් මිනෝද් පාකිස්තානය සමඟ පැවති විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළා. විස්සයි විස්ස තරග දෙකක්, එක්දින සහ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබෙන 26 හැවිරිදි මිනෝද් කුසල් පෙරේරා වෙනුවෙන් කණ්ඩායමට ආදේශ වීමට ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වෙනවා.

සදීර සමරවික්‍රම

Sadeera Samarawickramaවයස අවුරුදු 25ක් වන සදීර සමරවික්‍රම පසුගිය කාලය පුරාවටම අන්තර් සමාජ තරගාවලිවල දී ලකුණු අතර සිටි කඩුලු රකින පිතිකරුවෙක් වෙනවා. එසේම මේ දිනවල දඹුල්ලේ දී පැවැත්වෙන පුහුණු තරග තුල දී ද ඉතාමත් හොඳින් ලකුණු අතරට පැමිණ සිටින සදීර 2017 වසරේ දී ජාතික කණ්ඩායමේ වරම් දිනා ගත්තා. 

නමුත් ඔහුට ලැබුණු අවස්ථාවල දී දිගින් දිගටම ලකුණු අතරට ඒමට නොහැකි වීම නිසා ඔහුට ජාතික කණ්ඩායමේ නිසි ස්ථානයක් දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ දකුණත් පිතිකරුවා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 18ක් ක්‍රීඩා කරමින් මේ ක්‍රීඩකයින් පස් දෙන අතර සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වෙනවා.

ලහිරු උදාර

Lahiru Udaraශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් වරම් දිනාගෙන නොමැති ලහිරු උදාර මුල් පෙළ තුල පිතිකරණයේ නිරත විය හැකි ක්‍රීඩකයෙක්. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදි සිසුවෙක් වන 27 හැවිරිදි ලහිරු නිමා වූ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී NCC කණ්ඩායම නියෝජනය කරමින් ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණියා. එහි දී ඔහු තරග 9කට ක්‍රීඩා කරමින් ඉනිම් 14ක දී  ලකුණු 1039ක් (ශතක 3ක් සහ අර්ධ ශතක 6ක්) ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභී පිතිකරුවා බවට පත්වුනේ තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට ද පත්වෙමිනි.

කමිල් මිශාර

20 හැවිරිදි කමිල් මිශාර නිමා වූ අන්තර් සමාජ සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ දී NCC කණ්ඩායම වෙනුවෙන් සුපිරි දක්ෂතා අතරට පැමිණියා. එහි දී ඔහු තරග 8ක දී ලකුණු 437ක් ලබා ගත්තේ ශතක 3ක් ද ලබාගෙනයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන මේ වමත් පිතිකරුවා මෑතක දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කරමින් කඩුලු රකින ආරම්හක පිතිකරු ලෙස ක්‍රීඩා කළා.

නිශාන් මදුෂ්ක

Nishan Madushkaශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ නිශාන් මදුෂ්ක වේගයෙන් පන්දුවට පහර දීමට ඇලුම් කරන කඩුලු රකින පිතිකරුවෙක් වෙනවා. රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන ඔහු ඉතාමත් හොඳ කඩුලු රකින්නෙක් ද වනවා. list A තරග 18ක් සඳහා පමණක් ක්‍රීඩා කර තිබෙන ඔහු එහි දී 27.86ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන තිබෙන අතර එම රටාව තුල ඔහු දැනට ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 82ක් වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<