මග නැවතුණු අන්තර් සමාජ දේශීය ක්‍රිකට් පිටියට කොළ එළියක්

අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලි 2023

226

ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් සමාජ දේශීය තරගාවලි සියල්ලම පසුගිය සැප්තැම්බර් 1 වැනිදා සිට තාවකාලිකව නවතා දමා තිබූ නමුත් එම තරගාවලි මේ මස 22 වැනිදා සිට නැවතත් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

අන්තර් සමාජ තෙදින තරගාවලිවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබීමත් සමඟම එතෙක් ක්‍රියාත්මක වූ තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම තරගාවලි නවතා දැමීමට නියෝගයක් සිදු කර නොමැති වූවත්, නීතිඥවරුන්ගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් නිසි පැහැදිලි කිරීමක් ලැබෙන තුරු තරගාවලිය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණයක් ගෙන තිබුණා.

මෙම ලීගය අතරමග කෙටි දිනකට නවතා දැමීම ම එක් අතකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩකයින්ට/ කණ්ඩායම්වලට වාසියක් වූයේ නොනවත්වා ඇදහැලුණු වර්ෂාව නිසාවෙනුයි. මෙම තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි නොනවත්වා ඉදිරියට රැගෙන ගියා නම් බොහෝ තරගවලට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩක් පැවතුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා ලිපියක් යොමු කර තිබෙන අතර එයට පිළිතුරු ලෙස දේශීය තරගාවලි නැවතත් ක්‍රියාත්මක කරගෙන යන ලෙසට අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් ලැබී තිබෙනවා.

එම ලිඛිත අවසරය ලැබීමත් සමඟ තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි සියල්ලම එළඹෙන සිකුරාදා සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව, අන්තර් සමාජ පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලියේ සැප්තැම්බර් 1 සිට 3 දක්වාත්, 8 සිට 10 දක්වාත් සහ 15 සිට 17 දක්වාත් කාලසීමා තුල දී ක්‍රීඩා කිරීමට නොහැකි වූ තරග සියල්ලම එළඹෙන ඔක්තෝබර් 6 සිට 8 දක්වාත්, 13 සිට 15 දක්වාත් හා 20 සිට 22 දක්වාත් අතර දිනවල දී නැවත පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දින 4කින් සමන්විත වන එහි අවසන් මහා තරගය ඔක්තෝබර් 26 සිට 29 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තාවකාලික තරගාවලි තහනම දෙස් විදෙස් බොහෝ ක්‍රීඩකයන්ට බලපෑම් ඇති කෙරූ අතර නැවත මෙම ලීගය ආරම්භ කිරීම එම ක්‍රීඩා සමාජවලට හා ක්‍රීඩකයන්ට අස්වැසිල්ලක් වනු නොවනුමානයි. කෙසේ නමුත් නැවතත් තරගාවලිය ආරම්භ කිරීමට කටයුතු කළ ද, තවමත් තරග සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩ පවතිනවා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<