කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි

හැව්ලොක් නාවිකයින්ට යට වෙයි

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සති අන්තයේ, නාවික හමුදා ක්‍රීඩා සමාජය හා හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර ඊයේ (18) පැවති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 25-14ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කළේ නාවික හමුදා ක්‍රීඩා සමාජයයි. තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 25 (3T, 2C, 1DG, 1P) – 14 (2T, 2C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: සුපුන් පීරිස් (නාවික හමුදාව)

සම්පූර්ණ වාර්තාව: නාවිකයෝ හැව්ලොක් මෙල්ල කරති


ක්‍රිකට්

ශ්‍රී ලංකාව ටෙස්ට් ජයක් අභියස?

දිල්රුවන් පෙරේරා සහ ලහිරු ගමගේ අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලීමත්, තිරිමාන්න සහ මැතිව්ස් රැස්කළ අර්ධ ශතක දෙකත් නිසා සුපිරි ටෙස්ට් ජයක බලාපොරොත්තු තවදුරටත් රැක ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (18) දිනය නිමා වන විට හැකි වී තිබේ.

මේ වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 7ක් පමණක් පිටුපසින් සිටින්නේ හෙට දිනයේ හොඳ ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරිවයි.

සම්පූර්ණ වාර්තාව: මැතිව්ස් – තිරිමාන්න සබඳතාවය ටෙස්ට් ජයක බලාපොරොත්තු දල්වයි! 


තුන්කොන් තරගාවලියක් ලබන මාර්තුවේ

ඉන්දියාව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත “2018 නිදහස් කුසලාන” තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දින වකවානු සහ ‍ක්‍රීඩාංගණය ඊයේ (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරන ලදි.

ඒ අනුව එළඹෙන මාර්තු මස 8 වැනිදා සිට 20 වැනි දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී විස්සයි විස්ස තරග ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇත.

සම්පූර්ණ වාර්තාව: ක්‍රිකට් පිටිය උණුසුම් කරන තුන්කොන් සටනක් ලබන මාර්තුවේ


වොලිබෝල්

ආධුනික අංශයේ ජය යුධෝපකරණ සහ සිරි පැරකුම්ට

10 වන වරටත් පවත්වනු ලබන මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග ඊයේ (18) මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවති අතර එහි ආධුනික අංශයේ කාන්තා සහ පිරිමි ශූරතා ජයග්‍රහණය කිරීමට පිළිවෙළින් බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ ක්‍රීඩා සමාජය සමත් විය.

සම්පූර්ණ වාර්තාව: යුධෝපකරණ බලකාය හා සිරි පැරකුම් ශූරතා දිනති


ගුවන් හමුදාව සහ විදුලිබල මණ්ඩලය ශූරතා දිනති

වොලිබෝල් ක්‍රීඩාවේ උණුසුම හා චමත්කාරය මනා ලෙස විදහා දක්වමින් ඊයේ දින (18) පැවැත්වූ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශවල අවසන් මහා තරගයවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් සහ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය. අවසන් මහා තරග මහනුවර තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

ලකුණු තත්වය –

  • විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය 25-21, 25-17, 25-20 යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 21-25, 25-18, 35-33, 25-15 යුධ හමුදා ක්‍රීඩා සමාජය

තරග වාර්තා සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට

දිනයක අවසානය