විරාන් චමුදිතගේ සුපිරි ඉනිමෙන් ගාල්ලට මංගල ජය

17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය 2023

298
U17 Sri Lanka Youth League 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගයේ තෙවැනි දිනයේ තරග අද (24) නිමාවට පත් වුනා. එහි දී ගාල්ල සහ මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තා.

කොළඹ දකුණ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් මහනුවරට එරෙහිව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ආරම්භක පිතිකරු ඉසුරු නිදර්ශන පන්දු 56ක් තුල 4 පහර 9ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 60ක් ලබාගෙන දස්කම් දක්වන විට, දිනෙත් සිතුමිණ ලකුණු 40ක් ලබා ගත්තා. අවසානයේ දී කොළඹ දකුණ ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී ලකුණු 203ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී සෙනුර ගිහාන් සහ දසුන් වැලිඅංග කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 46කුත් පන්දු 5ක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 205ක් ලබා ගත් අතර එහි දී කඩුලු රකින පිතිකරු ඉසුරු පන්නල පන්දු 81ක් තුල ලකුණු 68ක් ලබාගෙන මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. ඔහුගේ ඉනිම 4 පහර 11කින් වර්ණවත් වුනා. ලක්වින් අබේසිංහ ලකුණු 36යි. රනුක මලවිආරච්චි සහ රෂාන් නවාන්ජන කඩුලු දෙකක බැගින් දවා ගත්තා.

ගාල්ල සහ දඹුල්ල අතර පැවති දිනයේ අනෙක් තරගයෙන් කඩුලු දෙකක ජයක් හිමිකර ගන්නට ගාල්ල කණ්ඩායම සමත් වුනා. දැනට තරග 2ක් ක්‍රීඩා කර තිබෙන ඔවුන් මේ තරගාවලිය තුල ලබා ගත් පළමු තරග ජයග්‍රහණය මෙයයි.

කාසියේ වාසිය දිනූ දඹුල්ල ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 208ක් ලබා ගත්තා. එය දඹුල්ල කණ්ඩායම මේ තරගාවලිය තුල දැනට ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි. එහි දී යස්මින් කල්හාර ලකුණු 41ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කනිෂ්ක රසාංග ලකුණු 23කට කඩුලු 3ක් දවාගෙන ගාල්ල වෙනුවෙන් දස්කම් දැක්වූවා.

පිළිතුරු ඉනිම දියත් කළ ගාල්ල කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 90ක් තුල දැවී ගොස් තිබුණු පසුබිමක අංක 8 පිතිකරු ලෙස පිටියට පැමිණි විරාන් චමුදිත නොදැවී ලකුණු 85*ක් ලබාගෙන සුපිරි ඉනිමක් දියත් කරමින් ගාල්ලේ ජය තහවුරු කළා. පන්දු 68ක් තුල වාර්තා වුනු චමුදිතගේ ඉනිමට 4 පහර 12ක් සහ 6 පහරක් ඇතුලත් වුනා.

චමුදිත ගාල්ල පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව 7 වැනි කඩුල්ල (සදෙව් ගමගේ සමඟ) වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවයක් සහ 9 වැනි කඩුල්ල වෙනුවෙන් (කනිෂ්ක රසාංග) ලකුණු 53*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවූවා. රජිත්කුමාර් නිව්ටන් කඩුලු 3යි.

ලකුණු සාරාංශයන්,

කොළඹ දකුණ සහ මහනුවර (SSC ක්‍රීඩාංගණයේ දී)

  • කොළඹ දකුණ – 203 (46.5): ඉසුරු නිදර්ශන 60, දිනෙත් සිතුමිණ 40, දෙනෙත් ප්‍රියංග 32, සෙනුර ගිහාන් 3/33, දසුන් වැලිඅංග 3/39
  • මහනුවර – 205/6 (41.5): ඉසුරු පන්නල 68, ලක්වින් අබේසිංහ 36, රනුක මලවිආරච්චි 2/45, රෂාන් නවාන්ජන 2/45

මහනුවර කණ්ඩායමට කඩුලු 4ක ජයක්

ගාල්ල සහ දඹුල්ල (CCC ක්‍රීඩාංගණයේ දී)

  • දඹුල්ල – 208 (49.4): යස්මින් කල්හාර 41, පන්සිළු රණසිංහ 34, කනිෂ්ක රසාංග 3/23
  • ගාල්ල – 209/8 (49.3): විරාන් චමුදිත 85*, රජිත්කුමාර් නිව්ටන් 3/43, දිමත් අබේසිංහ 2/32

ගාල්ලට කඩුලු 2ක ජයක්

17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගය ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<