ශ්‍රී ලංකා පිතිකරණය පුහුණු තරගයටත් වඩා දියාරු වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය 2021

206

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත්‍රියේ දී ආරම්භ වුනු අතර තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම සහ කොදෙව් ඉනිමේ පන්දුවාර 13ක් අවසන්ව තිබුණා.

ඒ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 169කට සීමා වුනු අතර පිළිතුරු කොදෙව් පළමු ඉනිම සටහන් වූයේ 13/0ක් ලෙසයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් 37 වැනි ටෙස්ට් නායක Kraigg Brathwaite Antigua හි Sir Vivian Richards ක්‍රිකට් පිටියේ දී  පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 155 වැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වීමට යොවුන් පිතිකරු පැතුම් නිස්සංක හට අවස්ථාව ලැබුණා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලකුණු 17ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එක් 4 පහරක් සමඟ ලකුණු 12ක් ලබාගෙන සිටි කරුණාරත්නගේ කඩුල්ල දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ බිඳ වැටීම ආරම්භ වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

අනතුරුව පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල්, ඕෂද ප්‍රනාන්දු, පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා යන කිසිදු පිතිකරුවෙක් හට සාර්ථක වීමට Jason Holder ඇතුළු කොදෙව් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

කෙසේ නමුත් ඉනිම ආරම්භයේ සිට Duke පන්දුවේ තිබෙන දෝලනය සහ ඉපිලීම සඳහා හොඳින් මුහුණ දුන් තිරිමාන්න එක් අන්තයක් රැකගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි අර්ධ ශතකය ලබා ගත්තා. ඔහුගේ එම ලකුණු 70 සටන්කාමී ඉනිම සඳහා 4 පහර 4ක් ඇතුළත් වුනු අතර එම ඉනිම ගොඩනැංවීම සඳහා ඔහුට මිනිත්තු 283ක කාලයක් තණතීරුව මත රැඳී සිටීමට සිදු වුනා.

ශ්‍රී ලංකා පළමු ඉනිම තුල ගොඩනැංවුණු හොඳම සබඳතාවය වුනේ 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 58ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා මුල් ඉනිම වැටී තිබුණු තැනින් ගොඩට ගැනීමට තිරිමාන්න සහ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල හට තරමක් අවස්ථාව ලැබුණා. එලෙස ඔවුන් දෙදෙනා ගොඩනැංවූ සබඳතාවය නිසා ලකුණු 92කට කඩුලු 5ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට හැකියාව ලැබුණා.

එම සබඳතාවය හැරෙන්නට ශ්‍රී ලංකා ඉනිමෙන් වෙනත් සාර්ථක සබඳතාවයක් දැකගැනීමට නොහැකි වුනු අතර තිරිමාන්නට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 32ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වුනා. ඒ හැරෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 11 දෙනාගෙන් 7 දෙනෙකුට ලකුණු 10 සීමාව අභිබවා යාමට නොහැකි වීම කණගාටුවට කරුණක්.

අවසානයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 169කට සීමා කළ කොදෙව්වන් වෙනුවෙන් හිටපු නායක Jason Holder ලකුණු 27කට කඩුලු 5ක් දවා ගන්නා විට, Kemar Roach ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත්තා.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරගාවලියක් වන මේ තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <