උගන්ඩාවට ඉතිහාසගත දිනයක්; සිම්බාබ්වේ අවාසනාව තවදුරටත්

ICC T20 Cricket World Cup 2024

729

2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට උගන්ඩාව ඊයේ (30) දිනයේ දී සමත් වුනා.

1975 වසරේ පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ නැගෙනහිර අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කිරීමට මීට පෙර උගන්ඩාව විසින් සමත් වූ නමුත් තනි රාජ්‍යයක් ලෙස මොනයම් ආකාරයක හෝ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබීමට උගන්ඩාව සමත් වූ පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත රටවල් විස්ස මේ වන විට තහවුරු වී අවසන්.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල්;

ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, නවසීලන්තය, ඕමානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, උගන්ඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම.

මෙහි දී අප්‍රිකානු මහද්වීපය වෙනුවෙන් පැවැත්වුණු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ලකුණු සටහනේ දෙවන ස්ථානය උගන්ඩාවට හිමි වූ අතර නැමීබියාව විසින් තමන් ක්‍රීඩා කළ තරග හය ම ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.

නමුත් තරගාවලිය ආරම්භයට පෙර බොහෝ බලාපොරොත්තු තබා සිටි සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත් වෙමින් නැවත වරක් ලෝක කුසලාන බලාපොරොත්තු සුන් කර ගත්තා.

මෙවර සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ විසින් සිය පළමු තරගය නැමීබියාව හමුවේ පරාජය වූ අතර, ඉන් පසුව සිය තෙවන තරගයේ දී උගන්ඩාව හමුවේ ද පරාජයට පත් වුනා. කෙසේ වෙතත් ඔවුන් තම ඉතිරි තරග හතර ම ඉතා ඉහළ දළ ලකුණු වේගයක් ද රඳවා ගනිමින් ජයග්‍රහණය කළා.

ඊයේ (30) දිනයේ දී මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරග ද්විත්වය රුවන්ඩාව සහ උගන්ඩාව අතරත්, නයිජීරියාව සහ නැමීබියාව අතරත් පැවැත්වුනා.

යම් හෙයකින් රුවන්ඩාව විසින් උගන්ඩාව පරාජය කළා නම් සිම්බාබ්වේ කණ්ඩායමට එළඹෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ඉතිරි වී තිබුණා. නමුත් උගන්ඩාව විසින් මෙම තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමත් සමඟින් සිම්බාබ්වේ දේශයේ ලෝක කුසලාන බලාපොරොත්තු සහමුලින්ම සුනු විසුනු වී ගියා.

2019 සහ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලි දෙක, 2025 ශූරයින්ගේ කුසලානය සහ 2021 විස්සයි විස්ස ලෝක කුසලානය යන සියලු ICC තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ සිම්බාබ්වේ කණ්ඩායමට මෙවර තවත් අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දීමට සිදු වුනේ ඒ අයුරිනුයි.

නමුත් මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී නැමීබියාවට පමණක් පරාජය වෙමින් සිය ඉතිරි තරග පහ ම ජයග්‍රහණය කළ උගන්ඩාවේ ලෝක කුසලාන ගමන නම් ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇති.

2024 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ජුනි 4 වැනි දා සිට 30 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත අතර සහභාගී වන රටවල් විස්ස පළමු වටයේ දී කාණ්ඩ හතරක් යටතේ තරග වැදීමට නියමිත අතර පසුව ඉන් හොඳම දක්ෂතා දක්වන කණ්ඩායම් අටක් සුපිරි අට වටයට සුදුසුකම් ලබනු ඇති. එයින් පසුව කණ්ඩායම් හතරක් තරගාවලියේ අවසන් පූර්ව වටයත්, ඉන් කණ්ඩායම් දෙකක් අවසන් මහා තරගයටත් සුදුසුකම් ලබා ගනු ඇති.

2024 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<