පරාජයෙන් පසු ඇෆ්ගනිස්තානුවන් වියරු වැටෙයි

ආසියානු කුසලානය 2022

7175

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (07)පැවති තීරණාත්මක තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය ලබා දුන් ලකුණු 130ක ඉලක්කය හඹා යමින් සිටි පාකිස්තාන කණ්ඩායම වරෙක කඩුලු තුනක් දැවී ලකුණු 87ක් ලබා තරගයේ නියත ජයක් වෙත යමින් සිටියත්, නොසිතූ විරූ ලෙස කඩුලු එකින් එක බිඳ වැටෙන්නට පටන් ගත්තා.

එහි අවසාන ප්‍රතිඵලය වුනේ තරගයේ 20 වැනි පන්දුවාරය ආරම්භ වන විට පාකිස්තානයට එක් කඩුල්ලක් අතැතිව ලකුණු 11ක ඉලක්කයක් හඹා යාමේ අභියෝගයක් ලැබීමයි. ඒ වන විට තරගයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්තානුවන් විසින් සමරමින් සිටි අතර, නොසිතූ ලෙස ක්‍රියාත්මක වූ පාකිස්තාන වේගපන්දු යවන Naseem Shah එම පන්දුවාරයේ පළමු පන්දු දෙකට පිට පිටම හයේ පහර දෙකක් එල්ල කරමින් තරගයේ ජය පාකිස්තානයට ලබා දීමට සමත් වුනා.

පාකිස්තාන ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී ගිය  පාකිස්තාන ප්‍රබල පිතිකරු Asif Ali සහ කඩුල්ල දවා ගත් Fareed Ahmad අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වීම ද තරගයේ උණුසුම තවත් තීව්‍ර කරන්නට හේතු වූ බව නොරහසක්.

මේ සියලුම සිදුවීම්වලින් අනතුරුව කණ්ඩායම් දෙක අතර උණුසුම් ක්‍රීඩාශීලී ඝට්ටනය අවසන් වූවත්, එතැනින් පසුව ප්‍රේක්ෂකාගාරයට මෙහි උණුසුම ඇදී ගොස් තිබුණා.

තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන ක්‍රිකට් රසිකයින් අතර ඇති වූ ගැටුම්වල වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ශීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා. මෙහි දී පළමුව ඇෆ්ගන් ක්‍රිකට් රසිකයින් විසින් පාකිස්තානුවන්ට පහර දීම සිදු කර ඇති බව The News වෙබ් පිටුව වාර්තා කරනවා.

“මෙන්න මෙහෙමයි ඇෆ්ගන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ හැසිරෙන්නේ, මේ දේම තමයි මීට කලිනුත් කිහිප වතාවක්ම ඔවුන් කරේ. මේක තරගයක්, හැම කෙනෙක්ම තරගයේ ජීව ගුණය ආරක්ෂා කරන්න උත්සාහ කළ යුතුයි. ක්‍රිකට්වලින් ඉස්සරහට යන්න අවශ්‍යයි නම් ඇෆ්ගන් ක්‍රිකට් රසිකයින්ට වගේම, ක්‍රීඩකයින්ටත් තවත් ඉගෙන ගත යුතු දේවල් තියෙනවා.”

මෙම සිදුවීම පිළිබඳ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වූ Shoaib Akhtar විසින් එලෙස අදහස් දක්වද්දී, පාකිස්තාන මාධ්‍යවේදියකු මෙවැනි Twitter සටහනක් ඒ සම්බන්ධයෙන් තබා තිබුණා.

“මේ ‘ගලී ක්‍රිකට්’ නෙවෙයි, මේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට්, මේ නිසා තමයි මම අනිත් ක්‍රිකට් රටවලට ගෞරව කරන්නේ. අනිත් මැච් වල මෙහෙම දේවල්  වෙන්නේ නැහැ.”

කලහකාරී ලෙසින් හැසිරුණු ඇෆ්ගන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ප්‍රේක්ෂකාගාරයේ ඇති පුටු එකින් එක කඩා බිඳ දමමින්, එම පුටු පාකිස්තානුවන් වෙතට විසි කරන අයුරු සහ පාකිස්තානුවන් එම ප්‍රහාර වළක්වා ගැනීමට උත්සාහ කරන අයුරුත් මේ වීඩියෝ දර්ශන මගින් පැහැදිලිව දර්ශනය වනවා.

මෙම තරගයෙන් ජයග්‍රහණය ලැබූ පාකිස්තානය ආසියානු කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ඔවුන් ලබන ඉරිදා (11) ශ්‍රී ලංකාව සමඟින් ආසියානු කුසලාන අවසාන මහා තරගය ක්‍රීඩා කරනු ඇති.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

The News ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<