ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තාන ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 121ක් ලබා සිටියා.
ඒ ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 98ට පිළිතුරු ලෙසයි. ඒ අනුව ඔවුන් මේ වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 23ක් ද ඉදිරියෙන් සිටිනවා.
ශ්‍රී ලංකාව, පාකිස්තානය හමුවේ ටෙස්ට් තරගයක දී ලකුණු 100කට අඩුවෙන් දැවී ගිය සිව් වැනි අවස්ථාව මෙය වන අතර මෙම ඉනිම, තරගය පැවැත්වෙන Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක දී කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි. 2024 වසරේ එංගලන්ත කණ්ඩායම ලකුණු 112කට දැවී යමින් එහි පළමු වැනියා ව මෙතෙක් රැඳී සිටියා.
අද (17) Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනයේ දෙපිලේ ම කඩුලු 13ක් දැවී යන අතර ඉන් කඩුලු 12ක ම හිමිකාරීත්වය දකුණත් මද වේග පන්දු යවන්නන් සතු වෙනවා.
>>පළමු ටෙස්ට් තරගය විසඳුමක් නැතිව අවසන් වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම මෙන් ම පාකිස්තානය ද මෙම තරගයට එක් වූයේ එක් වෙනස්කමක් බැගින් සිදු කරමින්. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර තරගය හා එක් වූ ඩිල්ශාන් මදුශංක වෙනුවට දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ද සහ පාකිස්තානය වෙනුවෙන් Arafat Minhas වෙනුවට තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Aamer Jamal ද එක් කරමිනුයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), ලහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, සොනාල් දිනූෂ, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු. , සහ ඩිල්ශාන් මදුශංක.
පාකිස්තාන කණ්ඩායම
Babar Azam (නායක), Azan Awais, Tayyab Arif, Mohammad Taha, Saqib Khan, Saud Shakeel, Salman Agha, Ghazi Ghori (කඩුලු රකින්නා), Aamer Jamal, Razaullah සහ Mohammad Abbas.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක කුසල් මෙන්ඩිස්. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. ඔහු ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී සොනාල් දිනූෂ හා එක් ව එම කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 49ක සබඳතාවක් ද එක් කරනවා.
සොනාල් දිනූෂ ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.
තරගය දිවා විවේකය සඳහා නතර කරන විට ද ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6ක් දැවී ගොස් තිබූ අතර ඒ වෙද්දී සොනාල් දිනූෂ නොදැවී ලකුණු 15ක් සහ මිලාන් රත්නායක ලකුණු නොලබා නොදැවී පිටියේ රැදී සිටියා. ලකුණු පුවරුව කියැවුණේ 85ක් ලෙසයි.
තේ විවේකයට පැයකට වැඩි කාලයක් තිබිය දී තම ඉනිම අවසන් කර ගත් ශ්‍රී ලංකා ඉනිමේ තනි ඉලක්කමේ පිතිකරුවෝ 9 දෙනෙක් ම රැඳී සිටියා. ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ලකුණු 98 අතර අතිරේක ලකුණු 19ක් ද තිබුණා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 10ම දකුණත් මද වේග පන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙණුනා. එහි දී Mohammad Abbas, Razaullah සහ Aamer Jamal කඩුලු 3ක් බැගින් දවා ගනිමින් සුවිශේෂී මෙහෙවරක නිරත වූවා.
මේ අතුරින් හොඳම පන්දු යැවීම සිදු කරන්නේ Mohammad Abbas. ඔහු ලකුණු 14කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව Razaullah ලකුණු 21කට කඩුලු 3ක් ද සහ Aamer Jamal ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා. ඔවුන්ට අමතර ව Saqib Khan ද කඩුල්ලක් දවා ගත්තා.
- ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග 59ක පැටිකිරිය
- වෙළඳ සේවා Super Premier T20 ශූරතාව CDB කණ්ඩායමට
- හර්ෂිතාට පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමේ වරම්
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට
- වාර්තාගත හඹා යෑමක් සමඟින් පාකිස්තානය තුන්කොන් තරගාවලිය ජය ගනී
පිළිතුරු පාකිස්තාන ඉනිම ආරම්භ කරන්නේ Azan Awais සහ Tayyab Arif විසින්. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 143ක දී ලකුණු 80ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Tayyab Arif ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Mohammad Taha (8) සහ Babar Azam (8) අඩු ලකුණුවලට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා.
අයහපත් ආලෝක තත්ත්වය මත තරගයේ පන්දු වාර 17ක් අහිමිවෙමින් පළමු දිනයට නතර කරන විට Azan Awais පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 47ක් ද සහ Saqib Khan පන්දු 8ක දී ලකුණු 8ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 98 (35.3)කුසල් මෙන්ඩිස් 32, සොනාල් දිනූෂ 21, Mohammad Abbas3/14, Razaullah 3/21, Aamer Jamal 3/24
- පාකිස්තානය– පළමු ඉනිමකඩුලු 3ක් දැවී 121 (37.2) Azan Awais නොදැවී 47, Tayyab Arif 46, ලහිරු කුමාර 1/27
පාකිස්තානය ලකුණු 23ක් ඉදිරියෙන්.
මෙම තරගය හෙට (18) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක විමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















