Imad Wasim ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

534

වසර 8ක පමණ කාලයක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද තුන් ඉරියව් ක්‍රීඩක Imad Wasim ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. 

මේ වන විට 34 වන වියේ පසුවන Imad පාකිස්තානය නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 55ක් සහ විස්සයි විස්ස තරග 66ක් ක්‍රීඩා කර ඇති අතර, ඔහු අවසන් වරට පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළේ පසුගිය අප්‍රේල් මාසයේ දී නවසීලන්තය සමඟ පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියේදියි. 

“මෑත කාලීන ව මම මගේ ජාත්‍යන්තර ක්‍රීඩා ජීවිතය ගැන ගොඩක් හිතුවා, ඒ අනුව මගේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුගැනීම ප්‍රකාශ කරන්න හොඳම කාලය මෙය බව මම තීරණය කළා.” 

X (Twitter) ඔස්සේ සිය සමුගැනීමේ නිවේදනය සටහන් කළ Imad එසේ පවසනවා. එමෙන්ම සිය ක්‍රීඩා දිවිය වෙනුවෙන් සහය දුන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය, රසිකයින්, හිත මිතුරන් සහ පවුලේ සාමාජිකයින් වෙත ද මෙහි දී Imad විසින් සිය ස්තුතිය පළ කරනවා. 

එක්දින සහ විස්සයි විස්ස තරග 121කට සහභාගී වීමට ලැබීම මගේ සිහිනයක් සැබෑ වීමක්. දැන් මෙය අලුත් පුහුණුකරුවන් සහ නායකත්වයක් සමඟින් පාකිස්තාන ක්‍රිකට් ඉදිරියට යන උද්‍යෝගිමත් අවස්ථාවක්. එයට සම්බන්ධ වූ සියලු දෙනාට මම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන අතර, කණ්ඩායමේ විශිෂ්ට දක්ෂතා නැරඹීමට මම බලාපොරොත්තු වෙනවා. 

දැන් මම ජාත්‍යන්තර ක්‍රිකට්වලින් එහාට ගිය මගේ ක්‍රිකට් දිවියේ මීළඟ අදියර වෙනුවෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.” 

2006 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයකු වූ Imad, 2008 19 පහළ ලෝක කුසලානය වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය ද දැරුවා. නමුත් ඔහුට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට 2015 වර්ෂය වන තෙක් බලා හිඳීමට සිදු වුනා. 

පසුව ඔහු 2016 විස්සයි විස්ස ලෝක කුසලාන සහ 2019 එක්දින ලෝක කුසලාන තරගාවලි ද්විත්වයට ම සහභාගී වීමට අවස්ථාව උදා කර ගත් අතර, ජාත්‍යන්තර එක්දින තරග දෙකක දී පාකිස්තාන කණ්ඩායමට නායකත්වය ලබා දීමට ද අවස්ථාව උදා කර ගත්තා. 

නමුත් මෑත කාලීන ව ඔහුට පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථා ප්‍රමාණය බොහෝ අල්පයි. 

ඔහු එක්දින ජාත්‍යන්තර තරගවල දී ලකුණු 986ක් ලබා ගනිමින් කඩුලු 44ක් බිඳ හෙළීමට සමත් වී ඇති අතර, විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී ලකුණු 486ක් ලබා ගැනීමට මෙන්ම, කඩුලු 65ක් බිඳ හෙළීමට ද සමත් වී තිබෙනවා. 

මෙම සමුගැනීමෙන් අනතුරුව Imad වැඩි වශයෙන් විස්සයි විස්ස ලීග් තරගාවලි සහ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් වෙත සිය අවධානය යොමු කරනු ඇති බව අනුමාන කළ හැකි. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<