අබුඩාබි T10 සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙක්

Abu Dhabi T10 2023

1218

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත 2023 Abu Dhabi T10 තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා. 

මෙහි දී කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල New York Strikers කණ්ඩායමටත්, අවිශ්ක ප්‍රනාන්දු Bangla Tigers කණ්ඩායමටත් තෝරා ගෙන ඇති අතර, වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට Team Abu Dhabi සමඟ එක් වීමට අවස්ථාව හිමි වී තිබෙනවා. 

මීට අමතරව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නිත්‍ය නායක දසුන් ශානක ද Bangla Tigers කණ්ඩායමට තෝරාගෙන තිබෙනවා. 

මීට පෙර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 14 දෙනෙකු මෙවර තරගාවලිය වෙනුවෙන් කෙටුම්පත්කරණය වී තිබුණු නමුත් පසුව වාර්තා වුනේ දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, ලහිරු කුමාර සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයින් සිය කාර්ය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි. 

එමෙන්ම ආබාධයක් නිසා මෙවර එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවා අහිමි වූ වනිඳු හසරංගට ද මෙම තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනවා. 

මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි; 

  • චරිත් අසලංක – Chennai Braves 
  • දසුන් ශානක – Bangla Tigers 
  • අවිශ්ක ප්‍රනාන්දු – Bangla Tigers 
  • භානුක රාජපක්ෂ – Chennai Braves 
  • මහීෂ් තීක්ශණ – Morrisville Samp Army 
  • ඇන්ජලෝ මැතිව්ස් – Northern Warriors 
  • කුසල් මෙන්ඩිස් – Bangla Tigers 
  • කුසල් පෙරේරා – New York Strikers 
  • බිනුර ප්‍රනාන්දු – Team Abu Dhabi 
  • නිරෝශන් දික්වැල්ල – New York Strikers 
  • චාමික කරුණාරත්න – New York Strikers 
  • දුනිත් වෙල්ලාලගේ – Delhi Bulls 
  • නුවන් තුශාර – Deccan Gladiators 
  • ලසිත් කෲස්පුල්ලේ – New York Strikers 

කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් හත් වන වරට පැවැත්වෙන මෙවර තරගාවලිය මෙම මස 28 වැනි දා සිට දෙසැම්බර් 09 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම මෙවර තරගාවලියේ උණුසුම සජීවී ව විඳ ගැනීමේ අවස්ථාව ඩයලොග් රූපවාහිනී අංක 126 ThePapare නාලිකාව ඔස්සේ ද, Dialog Viu හරහා සහ ThePapare.com වෙබ් අඩවිය හරහා ද ඔබට හිමි වනු ඇති. 

එම නිසා 2023 Abu Dhabi T10 තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<