චමරිගේ උර මතින් Sydney Thunder Play-Off යයි!

WBBL 2023

9237

2024 කාන්තා Big Bash ක්‍රිකට් ලීගයේ චමරි අතපත්තු නියෝජනය කරන Sydney Thunder කණ්ඩායම තරගාවලියේ Play-Off වටයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (26) සමත් වුනා.

මෙම තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල ඊයේ දිනයෙන් අවසන් වූ අතර, කණ්ඩායම් අටක් අතුරින් ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගත් Adelaide Strikers කණ්ඩායම එළඹෙන දෙසැම්බර් 02 දා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එමෙන්ම ඊට අමතරව Perth Scorchers සහ Brisbane Heat කණ්ඩායම් ද පිළිවලින් ලකුණු සටහනේ දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනිමින් Play-Off වෙත සුදුසුකම් ලබා ගත්තා. කෙසේ වෙතත් චමරි නියෝජනය කරන Sydney Thunder කණ්ඩායමේ Play-Off සහභාගීත්වය ඊයේ දිනය වන තෙක් ස්ථිර වී තිබුණේ නැහැ.

මේ අතර ඊයේ Sydney Thunder සහ Sydney Sixers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ද Thunder කණ්ඩායමට පරාජය උරුම වුනා. කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවැත්වුණු අනෙක් තරගය වූ Adelaide Strikers සහ Hobart Hurricanes අතර තරගයෙන් Strikers පහසු ජයක් ලැබීමත් සමඟින් තරගාවලියේ ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කර ගැනීමට Sydney Thunder කණ්ඩායම විසින් සමත් වුනා.

Sydney Thunder කණ්ඩායම මෙවර තරගාවලියේ තරග 14ක් ක්‍රීඩා කරමින්, ඉන් තරග 7ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරග 6ක් පරාජයට පත් වුනා. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් බාගය පුරාවට Sydney Thunder විසින් තරගාවලියේ මුල් බාගය තුළ දැක් වූ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වුනේ නැහැ. විශේෂයෙන්ම ඔවුන්ගේ පිතිකරණ බළඇණියේ දරුණු බිඳ වැටීමක් පසුගිය තරග කිහිපය පුරාවට දක්නට ලැබුණා.

නමුත් චමරි අතපත්තු විසින් දැක්වූ විශේෂ දක්ෂතා නිසා Thunder කණ්ඩායම තවමත් තරගාවලියේ නිරුපද්‍රිත ව රැඳී සිටිනවා.

මෙතෙක් තරගාවලියේ Sydney Thunder කණ්ඩායම ජයග්‍රහණය කළ තරග හතෙන් හතරක දී ම තරගයේ වීරවරිය බවට පත් වීමට සමත් වී තිබෙන්නේ චමරි අතපත්තු විසිනුයි. එම නිසාම මෙවර තරගාවලියේ Sydney Thunder මෙතෙක් පැමිණි ගමනේ පුරෝගාමී කාන්තාව බවට චමරි පත් වීමට සමත් වී ඇති බව කිසිඳු සැකයකින් තොරව සඳහන් කළ හැකියි.

චමරි අතපත්තු විසින් මෙතෙක් තරගාවලියේ ඉනිම් 13ක දී ලකුණු 511ක් ලබා ගැනීමට සමත් වී සිටින්නේ තරගාවලියේ දෙවැනියට ඉහළම ලකුණු ලාභිනිය ලෙසයි. එමෙන්ම ඇගේ පිතිකරණ සාමාන්‍ය 42.58ක් ලෙස සටහන් වී ඇති අතර, ඇය පිතිකරණයේ යෙදුණු ඉනිම් 13න් පහක දී ම ඇය විසින් අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වී තිබෙනවා. එමෙන්ම හතරේ පහර 69ක් සහ හයේ පහර 17ක් ද චමරිගේ පිත්තෙන් එල්ල වී තිබීම විශේෂත්වයක්.

මේ අතර මෙතෙක් තරගාවලියේ Sydney Thunder වෙනුවෙන් චමරිට පසුපසින් සිටින ඉහළම ලකුණු ලාභිනිය වන්නේ Tahlia Wilson වන අතර ඇය මෙතෙක් ඉනිම් 12ක දී වාර්තා කිරීමට සමත් වී ඇත්තේ ලකුණු 311ක් පමණයි. එමෙන්ම තරගාවලියේ සමස්ත ලකුණු ලාභිනියන් අතර ඇයට හිමි වන්නේ 12 වැනි ස්ථානය වීම ම චමරි විසින් Sydney Thunder කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් එල්ල කළ බලපෑම කෙතරම් ද යන්න මනා කොට පැහැදිලි කර දෙනවා.

එමෙන්ම චමරි විසින් මෙතෙක් තරගාවලියේ Sydney Thunder වෙනුවෙන් සිය පන්දු යැවීමෙන් ද කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වී තිබෙනවා. මෙවර තරගාවලියේ Sydney Thunder වෙනුවෙන් කඩුලු දවා ගත් පන්දු යවන්නියන් අතුරින් ඇයගේ නම සටහන් වී ඇත්තේ පස් වැනි ස්ථානයේයි.

චමරිගේ නම තරගාවලියේ කණ්ඩායමට

මේ අතර මෙවර WBBL තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් අටේ ප්‍රධාන පුහුණුකරුවන්ගේ ඡන්දයෙන් මෙවර තරගාවලියේ කණ්ඩායම තෝරා ඇති අතර එයට ද චමරිගේ නම ඇතුළත් වී තිබෙනවා.

2023 WBBL කණ්ඩායම මෙසේයි;

Beth Mooney (කඩුලු රකින්නිය) (Perth Scorchers), Katie Mack (Adelaide Strikers), Chamari Athapaththu (Sydney Thunder), Sophie Devine (නායිකාව)(Perth Scorchers), Ellyse Perry (Sydney Sixers), Annabel Sutherland (Melbourne Stars), Amy Edgar (Perth Scorchers), Amanda-Jade Wellington (Adelaide Strikers), Chloe Ainsworth (Perth Scorchers), Lauren Cheatle (Sydney Sixers), Sophie Day (Melbourne Stars), Charli Knott (Brisbane Heat)

මේ අතර මෙම කණ්ඩායමට Sydney Thunder නියෝජනය කරමින් ඇතුළත් වූ එකම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තුගේ නම සටහන් වී තිබීම ද තවත් විශේෂත්වයක්.

Play-Off තරගවටය

චමරිගේ සහයෙන් Play-Off වෙත පිවිසෙන Sydney Thunder කණ්ඩායමේ මීළඟ අභියෝගය ලෙස හෙට (28) Brisbane Heat කණ්ඩායම සමඟ Eliminator තරගය ක්‍රීඩා කිරීමට සිදු වනු ඇති.

මීට පෙර මෙවර තරගාවලියේ Brisbane Heat සමඟ පැවැත්වුණු තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කරමින්, එක් තරගයක් පරාජය වීමට Thunder කණ්ඩායමට සිදු වුනා. කෙසේ වෙතත් හෙට දිනයේ දී ඔවුන්ට තම තරගය ජයග්‍රහණය කළ හැකි වුව හොත් ඉන් පසුව එළඹෙන 29 වැනි දා Perth Scorchers කණ්ඩායම සමඟ Challenger තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනවා.

මෙම Challenger තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායම එළඹෙන දෙසැම්බර් 02 දින Adelaide Strikers සමඟින් තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

මෙහි දී මෙතෙක් Sydney Thunder ආ ගමනේ ප්‍රධාන තුරුම්පුව වූ චමරි අතපත්තු, Thunder ඉදිරි ගමනේ ද ඔවුන්ගේ ප්‍රධානතම බලාපොරොත්තුව වනු ඇති බව නොඅනුමානයි.

2023 WBBL තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<