ගෞරවය සහ මුදල් වෙනුවෙන් ලෝක කුසලාන සිහින මැවූ සිම්බාබ්වේ කඳුළු කතාව

World Cup Qualifiers 2018

81

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වෙන්න තිබුණු අවස්ථාව ඉකුත් දා (04) සම්පූර්ණයෙන්ම අහිමි වුනා.

සිම්බාබ්වේ ක්‍රිකට් වලට මේ අභාග්‍යසම්පන්න සිදුවීමට මුහුණ දෙන්න සිදු වුනේ නොකඩවා දෙවැනි වතාවට. ඔවුන්ට පළමු වතාවට ලෝක කුසලාන හීනය අහිමි වෙන්නේ 2018 වසරේ දී. ඒ 2019 ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වෙන්න තිබුණු අවස්ථාව.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන්න නොහැකි වීම සිම්බාබ්වේ ක්‍රිකට් වල සිදු වුන විශාලතම අභාග්‍යයක් විදිහට අදටත් හඳුන්වනවා.

(ඉදිරියේ දී ඒ අවාසනාවන්ත කතාව ගැන කතා වෙද්දී 2023 ලෝක කුසලාන තරගාවලිය ගැනත් සඳහන් වේවි.)

එංගලන්තයේ පැවැත්වුණු 2019 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පැවැත්වුණේ 2018 වසරේ දී. තරගාවලියට සත්කාරකත්වය ලබා දුන්නේ සිම්බාබ්වේ දේශය විසින්මයි. මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ රටවල් විදිහට 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් දෙක.

මේ අහිමි වීම බාහිර ලෝකයට මහා කම්පනයක්, දුකක් නොවුනා වෙන්න පුළුවන්, ඒත් 1983 වසරේ ඉඳන් නොකඩවා ලෝක කුසලාන තරගාවලි 9ක් ක්‍රීඩා කරනවා දැකපු සිම්බාබ්වේ ජාතිකයින්ට, කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මේක සෑහෙන්න විශාල වේදනාවක් වුනා.

“එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඒ ලකුණු තුන ලබා ගන්න බැරි වුනායින් පස්සේ මම එංගලන්තයේ සිටීම වෙනුවෙන් (ලෝක කුසලානය නැරඹීමට) මැවුව මගේ හීන ඔක්කොම අත් හැරලා දැම්මා.”

(2018 දී සිම්බාබ්වේ කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ලබපු ලකුණු 3ක පරාජය සමඟ තමයි ඔවුන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් ඉවත් වෙන්න සිදු වෙන්නේ.)

මෙහෙම කියන්නේ Gerald Makota කියන සිම්බාබ්වේ ජාතිකයා.

සිම්බාබ්වේ Mutare වල දී ඉපදිලා ක්‍රිකට් ක්‍රීඩාව සමඟ උස් මහත් වුන Gerald Makota පසුව ගුවන් යානා ඉන්ජිනේරුවෙකු විදිහට අබුඩාබියට යන්නේ රැකියාව වෙනුවෙන්. ඉන්පසුව ඔහු 2018 වසරේ දී අයර්ලන්තයට යනවා. ඔහු අයර්ලන්තයට යන්නේ තමන්ගේ රැකියාව ගැන තියෙන බලාපොරොත්තු වෙනුවෙන් විතරක් ම නෙවෙයි. 2019 වසරේ පැවැත්වෙන්න නියමිත වෙලා තිබුණු එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී තමන්ගේ උපන් රට නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සහය පල කරන බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.

Makota ඒ වෙනුවෙන් අවශ්‍ය ඉතිරි කිරීම් 2018 වසරේ මුල භාගය වෙද්දී සම්පූර්ණ කරලා තිබුණා. ඒ කාලයේ දී පැවැත්වුණු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කරාවී කියන බලාපොරොත්තුව සමඟ තමයි ඔහු වගේ ම සමස්ත සිම්බාබ්වේ ජාතියම ජීවත් වුනේ.

තරගාවලිය ආරම්භ වෙන්නේ 2018 මාර්තු 4 වැනිදා. මේ තරගාවලියේ මූලික වටයේ B කාණ්ඩය නියෝජනය කරපු සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම මූලික වටයට ඉතාම හොඳින් මුහුණ දෙනවා. නේපාලය, ඇෆ්ගනිස්තාන සහ හොංකොං කණ්ඩායම් පරාජය කරන්න සමත් වුන සිම්බාබ්වේ කණ්ඩායම ස්කොට්ලන්තය සමඟ තරගය පරාද වෙන්න ඔන්න මෙන්න මොහොතක ඉඳන් සම මට්ටමින් අවසන් කර ගන්න සමත් වෙන්නේ B කාණ්ඩයේ ලකුණු සටහනේ අංක එක වෙන ගමන්.

මීළඟට ඔවුන් පිවිසෙන්නේ සුපිරි කණ්ඩායම් හය තරග වටයට. මේ තරග වටයේත් පළමු තරගයෙන් අයර්ලන්තය පරාජය කරන්න සමත් වෙන සිම්බාබ්වේ කණ්ඩායමට ඊළඟට මුණ ගැහුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම.

මේ තරගය අවාසනාවන්ත විදිහට සිම්බාබ්වේ කණ්ඩායම පරාජය වෙනවා. ඒ පරාජය නිසා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්න නම් ඔවුන්ට ඉතිරි වෙලා තිබුණු අවසන් තරගය (එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ) ජයග්‍රහණය කිරීම අනිවාර්යය වෙනවා.

නමුත් අවාසනාවන්ත විදිහට එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ තරගයේ අතේ තිබුණු ජයග්‍රහණය කටේ දමා ගන්න සිම්බාබ්වේ කණ්ඩායමට නොහැකි වෙන්නේ 2019 ලෝක කුසලාන සිහිනය සිහිනයක් බවට ම පත් කරමින්.

අර ගුවන් යානා ඉංජිනේරුවා Gerald Makota විසින් Al Jazeera රූපවාහිනිය වෙත අදහස් පළ කරමින් තමන්ගේ හීන බිඳ වැටීම ගැන සඳහන් ඒ විදිහට කරන්නේ මේ පරාජයෙන් පසුව.

“මගේ ජීවිතයේ පළමු වතාවට සිම්බාබ්වේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක දකින්න නොලැබීම ගිලින්න අමාරු බෙහෙත් පෙත්තක් බොනවා වගේ. සුදුසුකම් ලබා ගැනීමට සමත් නොවීම රටේ ක්‍රීඩාවට විශාල හානියක් කරනවා. ලෝක කුසලානයට සහභාගී වීම සමඟ හිමි වන විශාල මූල්‍ය ත්‍යාගය අහිමි වීම සිම්බාබ්වේ ක්‍රිකට් වලට ඔක්සිජන් අහිමි කළා වගේ දෙයක්.”

ඔහු කියන්නේ ඇත්ත. මේ ලෝක කුසලාන හීනය අහිමි වීම සිම්බාබ්වේ ක්‍රිකට් වලට විශාල බලපෑමක් එල්ල කරන්න හේතු වෙනවා.

මේ සිදුවීම වෙන කාලයේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට කටයුතු කරන්නේ ඔවුන්ගේ හිටපු සුපිරි වේගපන්දු යවන්නෙක් වන Heath Streak විසින්.

සිම්බාබ්වේ ක්‍රිකට් කියන්නේ ලෝක කුසලාන තරගාවලි වල අතිශය කැපී පෙනෙන දක්ෂතා පෙන්වපු කණ්ඩායමක් නෙවෙයි. ඔවුන්ගේ ප්‍රාදේශීය සගයා වන කෙන්යාවට ඔවුන්ට තරම් හොඳ ක්‍රිකට් ඉතිහාසයක් සහ වර්තමානයක් නැති වුනත්, ඔවුන් 2003 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය තෙක් යන්න සමත් වෙනවා. නමුත් සිම්බාබ්වේ කණ්ඩායම ඒ විදිහේ දක්ෂතා පෙන්වලා තිබුණේ නැහැ.

නමුත් ලෝක කුසලාන කතාව අත් හැරලා දැමුවා ම සිම්බාබ්වේ කියන්නේ 2004 වසරට පෙර ක්‍රිකට් ලෝකයේ ඉතාම හොඳ පිළිගැනීමක් තිබුණු රටක්. ඕනෑම වෙලාවක ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් ‘අප්සට්’ කරවන්න පුළුවන්, නම් දැරූ ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි වුනු රටක්. ඒ වගේ ම ඉතාම හොඳ ක්‍රිකට් රසික ප්‍රජාවකගේ හිමිකාරිත්වය දරපු රටක්.

නමුත් අවාසනාවකට 2004 වසරෙන් පසුව මේ හැම දෙයක් ම වෙනස් වෙනවා. සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලන අත පෙවීම් එල්ල වෙනවා. මේ ගැට‍ළු නිසා එවකට සිම්බාබ්වේ ක්‍රිකට් නියෝජනය කළ Heath Streak ප්‍රමුඛ සුදු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් 15 දෙනෙක් සිම්බාබ්වේ ක්‍රිකට් වලින් ඉවත් වෙන්න තීරණය කරනවා. (ඒ වගේ ම ඊට පෙර 2003 ලෝක කුසලානය නිමා වීමත් සමඟ සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සිම්බාබ්වේ ක්‍රිකට් වලට සමු දෙනවා.)

එතැනින් පසුව සිම්බාබ්වේ කණ්ඩායමට ඉතුරු වෙන්නේ අඩු දක්ෂතා සහිත කණ්ඩායමක්. ශ්‍රී ලාංකිකයින් බහුතරයකට හොඳට මතක තියෙන නමක් විදිහට සඳහන් කරන්න පුළුවන් Tatenda Taibuට ඉතාම අඩු වයසකින් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ මේ සිදුවීමෙන් පසුව.

(Heath Streak නැවත සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එකතු වෙනවා නමුත් පෙර ගැට‍ළු විසඳෙන්නේ හෝ සිම්බාබ්වේ ක්‍රිකට් යථාතත්වයට පත් වුනේ නැහැ.)

මේ විදිහට බිඳ වැටුණු සිම්බාබ්වේ ක්‍රිකට් වලට ආයෙත් පණ දෙන්න Heath Streakට 2016 වසරේ දී අවස්ථාවක් ලැබෙනවා.

“ඔවුන් මට රැකියාවට කතා කරද්දී මට ආපු එක ගැට‍ළුවක් තමයි මාව කොහොමද විනිශ්චය කරන්නේ (පුහුණුකරුවෙක් විදිහට) කියන එක. ඒ නිසා මම ඇහුවා පාලක මණ්ඩලය සාර්ථකත්වය ලෙස සලකන්නේ මොකක් ද කියලා.

වසර දෙකකට පෙර මම වගකීම බාර ගනිද්දී සිම්බාබ්වේ කණ්ඩායමේ තරග ජයග්‍රහණ ප්‍රතිශතය 20% මට්ටමේ තිබුණේ. මම ඒ වෙලාවේ කිව්වේ මට ඒක දෙගුණ කරන්න පුළුවන් නම් ඒක අදහා ගත නොහැකි මට්ටමේ දෙයක් කියලයි. ගොඩක් හොඳ කණ්ඩායම් වල ජයග්‍රාහී ප්‍රතිශතය තියෙන්නේ 50%-60% අතරේ.”

Streak විසින් 2016 දී ඇත්තටම භාර ගන්නේ උරුලෑවෝ ගිය පාරක්. නමුත් කටින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් Streak විසින් මේ පාර සුද්ද කරනවා.

“අපි ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ගැන කතා කළා. ලෝක කුසලානයට සහභාගී වෙන කණ්ඩායම් ප්‍රමාණය 10ක් දක්වා අඩු කළ නිසා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට හොඳ කණ්ඩායම් තරග කරන්න එන බව අපට තේරුම් ගියා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වන විට අපේ ජයග්‍රහණ ප්‍රතිශතය 37%ක් දක්වා ඉහළට ආවා. ඒ වගේ ම වසර 17කට පසුව අපි ශ්‍රී ලංකාවේ දී එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කළා. ඒ නිසා මට හැඟුණේ ඔවුන් මගෙන් බලාපොරොත්තු වුන දේ මම විසින් සිදු කළා කියලා.”

අද ඉන්න සිම්බාබ්වේ කණ්ඩායමේ පෙරට වඩා තරගකාරී බවක් තියෙන බව බොහෝ දෙනා පිළිගන්න කාරණයක්. ඒ වෙනුවෙන් Streak විසිනුත් විශේෂ දායකත්වයක් සපයනවා.

ඇත්තටම 2018 සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සිම්බාබ්වේ කණ්ඩායම පිවිසෙන්නේ ඉතාම හොඳ මානසික මට්ටමකින් යුතු ව. නමුත් ඔවුන්ට ඒ වෙද්දී තරමක් හරි හොඳ මානසික මට්ටමක් ඉතිරි වෙලා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පමණයි.

සිම්බාබ්වේ කියන්නේ අදටත් ලොව අධිකතම උද්ධමනයක් තියෙන රටවලින් එකක්. අදටත් සමාජ මාධ්‍ය හරහා විදෙස් රටවල මිනිස්සු පුදුම වෙන්නේ මේ තරම් ප්‍රශ්න තියෙන රටක මිනිස්සු කොහොමද ක්‍රිකට් මැච් එකක් බලලා මේ තරම් සතුටින් ජීවත් වෙන්නේ කියලා.

2015 වසරේ දී සිම්බාබ්වේ දේශයට 2018 FIFA පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීම තහනම් කරනවා. ඒ තහනමට හේතුව තමයි ඔවුන්ගේ හිටපු පුහුණුකරුට ගෙවීමට නියමිත මුදල් නොගෙවීම.

2019 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් සුදානම් වුන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තත්වයත් පාපන්දු වලින් ඒ තරම් ලොකු වෙනසක් පෙන්නුවේ නැහැ.

2018 වසරේ පැවැත්වුණු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට වසරක පමණ කාලයකට පෙර ඉඳලා Heath Streak සහ සිම්බාබ්වේ ක්‍රිකට් කාර්ය මණ්ඩලය විසින් තමන්ට නියමිත වැටුප් පවා නොමැතිව තමයි තමන්ගේ රැකියාවේ නියුතු වුනේ.

ඔවුන් විසින් ස්වෙච්ඡාවෙන් ම තමන්ගේ වැටුප් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ගෙවීම් වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරනවා. ඔවුන් මේ තීරණය ගන්නේ මුදල් සම්බන්ධයෙන් හෝ අඩුවක් නොවී තමන්ගේ ක්‍රීඩකයින් උපරිමයෙන් මේ තරගාවලිය වෙනුවෙන් උනන්දු කරවන බලාපොරොත්තුවෙන්.

මොකද 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සිම්බාබ්වේ ක්‍රිකට් හැකියාව ලෝකයට පෙන්නලා, දක්ෂ කණ්ඩායමක් දෙකක් මවිත කරවලා දිනන්න යන ගමනකට එහා ගිය දෙයක්. ඔවුන් 2019 ලෝක කුසලානයට සහභාගී වුනා නම් ඔවුන්ට මුදල් ලැබෙනවා.

ඒ වෙද්දී සිම්බාබ්වේ දේශයට නැත්තට ම නැති වෙලා තිබුණේ ගෞරවය විතරක් නෙවෙයි. මුදල් අඩුපාඩුව ඔවුන්ට සෑහෙන්න තදින් දැනුණා. 2019 ලෝක කුසලානයට සහභාගී වෙන්න ලැබුණා නම් ඔවුන්ට ඇමරිකානු ඩොලර් 100,000ක් ලැබෙන්න නියමිත වෙලා තිබුණා. ඒ වගේ ම ජයග්‍රහණය කරන තරගයක් වෙනුවෙන් ඩොලර් 40,000ක් ලැබෙන්න නියමිත වෙලා තිබුණා.

ඒ මුදල ලැබුණා නම් වසරකට අධික කාලයක් වැටුප් රහිතව සේවය කළ Heath Streak ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවන්න පුළුවන් වෙනවා.

නමුත් කිසිම දෙයක් බලාපොරොත්තු වුනු ආකාරයට සිදු වුනේ නැහැ!

“අපි සුදුසුකම් ලැබුවේ නැහැ කියලා වටහා ගැනීම ගොඩක් භයානක හැඟීමක්. විශේෂයෙන්ම එය බොහෝ අංශ වලින් ඉතා දුෂ්කර තරගාවලියක් වුන නිසා.”

2021 වර්ෂයේ දී Streak විසින් සිය පුහුණුකරු ජීවිතයේ අවසාන කාලය පිළිබඳ මතකය අවදි කළේ ඒ විදිහට.

2018 සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම පරාද වෙන්න පටන් ගන්නේ බටහිර ඉන්දීය කොදෙව් තරගත් සමඟ. නමුත් මේ තරගාවලියට විනිසුරු තීරණ නැවත සලකා බැලීමට (DRS) අවස්ථාව නොතිබුණු නිසා කොදෙව්වන් සමඟ තරගයේ දී තමන්ට විශාල පාඩුවක් සිදු වුන බව Streak විසින් මතක් කරනවා.

ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවැත්වුණු තරගය කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු ආකාරයට පරාජය වීම ගැනත් Streak විසින් මතකය අවදි කරනවා.

“ඊට පස්සේ අපිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ක්‍රීඩා කරන්න ලැබුණේ. ඔවුන් ලකුණු 235ක් ලබා ගත්තා, අපට ඒක තරමක් අසීරු හඹා යාමක් වුනා. දිවා ආහාරය වන විට විශාල වර්ෂාවක් ඇති වුනා. අපේ ඉලක්කය පන්දුවාර 40කින් ලකුණු 235ක් විදිහට වෙනස් වුනා. පන්දුව දෝලනය වෙන්න පටන් ගත්තා, අපිට පිතිකරණයේ යෙදීම අසීරු වුනා. අවසානයේ අපි දැවී ගියා. අපිට ඒක විශ්වාස කරන්න බැරි වුනා. පසුව ඇඳුම් කාමරයේ දී මම අහලා තියෙන දීර්ඝතම නිශ්ශබ්දතාවයට මට සවන් දෙන්න ලැබුණා.”

ඒ දීර්ඝ නිශ්ශබ්දතාවයෙන් පසුව ආයෙත් Streak සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමඟ ක්‍රීඩාගාරයක දී එකතු වුනේ නැහැ.

Streakගේ පුහුණුකාර ධුරය එතෙකින් නිමා කරන්න සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කරනවා. Streak විතරක් ම නෙවෙයි සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයට ම ඉල්ලා අස් වෙන්න කියලා සිම්බාබ්වේ ක්‍රිකට් ප්‍රධානීන් විසින් යෝජනා කරනවා.

(මේ හදිසි ඉවත් කිරීමෙන් පසුව Streak විසින් සිම්බාබ්වේ ක්‍රිකට් වලට එරෙහිව නඩු පවරන්නේ තමන්ට ගෙවීමට නියමිත ණය කන්ද ගෙවා නිම කරන ලෙස සඳහන් කරමින්.

ඒ වගේ ම 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නොහැකි වීම හෝ සිම්බාබ්වේ පුහුණුකරු ලෙස සිටි කාලයට අදාළ නොවෙන සිදුවීම් සමූහයක් නිසා Streakට 2021 වර්ෂයේ දී වසර අටක ක්‍රිකට් තහනමක් නිකුත් කෙරෙනවා.)

මේ අනපේක්ෂිත පරාජය සිම්බාබ්වේ ක්‍රිකට් වලට දරුණු බලපෑමක් එල්ල කරනවා.

“සුදුසුකම් නොලැබීම විශාල පාඩුවක්. හැම ක්‍රීඩකයෙකුට ම අවශ්‍ය වුනේ ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න. බලන්න Blessing Muzarabani දිහා. අපි සුදුසුකම් නොලබපු නිසා ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් අත් හැරලා ප්‍රාන්ත ක්‍රිකට් (එක්සත් රාජධානියේ) තෝරා ගැනීම පහසු දෙයක් වුනා.

Streak විසින් සඳහන් කළා වගේ ම 22 හැවිරිදි වියේ පසු වුන (2018 දී) Muzarabani විසින් තීරණය කරනවා Northamptonshire ප්‍රාන්තය සමඟ වසර තුනක ගිවිසුමක් අත්සන් කරන්න.

ඔහුට ඒ තීරණය ගන්න බලපෑම් කළ ප්‍රධානතම හේතුවක් වුනේ මුදල්!

නමුත් ඉන් වසර දෙකකට පසුව Muzarabani විසින් ජාතික කණ්ඩායම සමඟ එකතු වෙන්න තීරණය කරනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට ඒ රටේ ප්‍රේක්ෂකයින්ගෙන් පුදුම හිතෙන තරමේ ආකර්ෂණයක් හිමි වෙන බව මේ දින වල පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නරඹද්දී ඔබට වැටහෙනවා ඇති.

නමුත් ඔවුන් සිම්බාබ්වේ ක්‍රිකට් කෙරේ තබපු විශ්වාසය වෙනුවෙන් හරි හැටි යමක් ලබා දෙන්න අසමත් වුනු කාලසීමාවක් විදිහට 2018,19 සහ 20 කාලය හඳුන්වලා දෙන්න පුළුවන්.

මේ කාලය තුල සිම්බාබ්වේ කණ්ඩායම එක දිගට ක්‍රිකට් තරග 19ක් පරාජය වෙනවා. අතරින් පතර එකක් දෙකක් දිනනවා. ක්‍රීඩකයින්ට මුදල් නොගෙවීම් නිසා ගැට‍ලු පැන නැගෙනවා.

අවසානයේ 2019 ජුලි මාසේ 18 වැනිදා ICCය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරනවා. මේකට හේතුව විදිහට සඳහන් වෙන්නේ සිම්බාබ්වේ ක්‍රිකට් වෙත සිදු වුනු අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම් බව තමයි ICCය විසින් සඳහන් කරන්නේ. ඒ අවුරුද්දේ ම ඔක්තෝබර් මාසයේ දී මේ තහනම ඉවත් කෙරුණා වුනත් මේ නිසා සිම්බාබ්වේ කණ්ඩායමට 2020 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගන්න තිබුණු අවස්ථාව අහිමි වෙලා යනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් මොන තරම් දරුණු ඇදවැටීමකට ලක් වුනා ද කියන දේ ක්‍රිකට් ලෝකයට දැනෙන්න පටන් ගන්නේ සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක Ryan Burl විසින් තම කණ්ඩායමට අනුග්‍රාහකයකු සොයමින් පළ කළ මෙම Twitter සටහන සමඟ.

2018 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් එළියට විසි වීම ඉහත සිදු වුනු හැම ආපදාවකටම ප්‍රධාන හේතුව නොවෙන්න පුළුවන්. නමුත් ඒක එක හේතුවක් වුන බව විශ්වාස කරන්න පුළුවන්.

2018 සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයට පවා ක්‍රීඩා කරන්න සිම්බාබ්වේ කණ්ඩායමට අවස්ථාවක් නොලැබුණාට, මේ තරගාවලියේ වීරයා බවට පත් වෙන්නෙ සිම්බාබ්වේ දේශයේ තුන් ඉරියව් ක්‍රීඩකයා Sikandar Raza විසින්.

ඔහු ඒ තරගාවලිය තුළ පිත්තෙන් ලකුණු 319ක් සහ කඩුලු 15ක් බිඳ හෙළන්න සමත් වෙනවා. නමුත් ඒ සම්මානය අත දරා ගෙන Raza විසින් මයික්‍රෆෝනය අතට ගන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි.

“ඇත්තටම කිසිම සතුටක් නැහැ. මෙම කුසලානය අපි විසින් තලා දැමූ මිලියන 15කගේ හීන පිළිබඳ වේදනාත්මක මතකයක් විතරයි.

මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තු මුල් කාලේ මම හිතුවේ ක්‍රිකට් කියන්නේ වෙනස් පසුබිම් වලින් ඇවිත් එකට එකතු වෙන, රට එකට එකතු කරන ක්‍රීඩාවක් කියලා. අවාසනාවකට ඒක එහෙම වෙන්නේ නැහැ.”

ඒ තමයි Razaගේ ශෝකය!

2019 ලෝක කුසලාන තරගාවලියේ සිට කණ්ඩායම් දහයක සහභාගීත්වයෙන් යුතු ව තරගාවලිය පැවැත්වීමට ගත්තු තීරණය බොහෝ රටවල් වලින් විශේෂයෙන්ම ICC පූර්ණ සාමාජිකත්වය නොලද රටවල් (Associate Nations) වලින් විවේචනය වෙනවා.

ඒ විවේචනය කෙතරම් සාධාරණයි ද කියලා හිතෙන්නේ සිම්බාබ්වේ වගේ දක්ෂතා පෙන්වන රටකට අවස්ථා දෙකක දී ම ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම මඟින්.

නමුත් 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී අපි දැක්කා ‘පොඩියි’ කියලා සම්මත රටවල් ඉදිරියේ ලොකු රටවල් ඇඹරුණු හැටි.

2011 ලෝක කුසලානයේ දී අපි දැක්කා කවුරුත් නොහිතපු විදිහට එංගලන්තය අයර්ලන්තය ඉදිරියේ පරාජය වුන හැටි. ඒ විදිහේ සිදුවීම් ඉතිහාසයේ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්.

ක්‍රිකට් ලෝකය ඇතුළේ මෙහෙම දේවල් හඳුන්වලා දෙන්නේ ‘අප්සට්’ දේවල් විදිහට.

ICCය විසින් ගත්ත මේ අළුත් ලෝක කුසලාන සැලසුම නිසා ඒ විදිහේ අප්සට් අඩු වෙන්න වෙන්න ඇති!

ඒත් ඒ වගේ තීරණයක් නිසා Sean Williams, Sikandar Raza වගේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රිකට් ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමේ වටිනා අවස්ථාව අහිමි වෙලා යනවා.

ප්‍රශ්නවලින් විතරක් පිරිලා ඉන්න සිම්බාබ්වේ වගේ රටකට ක්‍රිකට් කියන සතුට අහිමි වෙලා යනවා. Gerald Makota වගේ ක්‍රිකට් ලෝලීන්ට ජීවිතයේ සතුටු වෙන්න අළුත් හේතු හොයා ගන්න සිද්ධ වෙනවා.

ඒ හැම දේකට ම වඩා, 2018 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පරාජය වීමෙන් පසුව සිම්බාබ්වේ ක්‍රිකට් වල සිදු වුන දේවල් අපි දැන් දන්නවා. ඒත් 2023 සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පරාජය වීමෙන් පසුව වෙන්න තියෙන දේවල් ගැන අපිට තවම පුරෝකථනය කරන්න බැහැ. ඒත් ඒ අනාගතය ගැන බයක්, සැකයක් ඔබේ හිතට දැනෙනවා නම් ඒක සාධාරණයි.

ඉතින් අපි බලා ඉමු 2023න් පස්සේ සිම්බාබ්වේ ක්‍රිකට් කොතැනකට යාවි ද කියලා!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<