චමරි ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තයට!

Women's Super Smash 2023/24

12626

නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය වන Women’s Super Smash තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු හට හිමි වී තිබෙනවා.

නවසීලන්ත ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන Super Smash විස්සයි විස්ස ලීග් තරගාවලියේ කාන්තා අංශයේ Northern Brave කණ්ඩායම විසිනුයි චමරිව මෙවර තරගාවලිය වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට තීරණය කර ඇත්තේ.

2007-08 තරග වාරයෙන් ආරම්භ වූ මෙම තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වන අතර මෙතෙක් මෙම තරගාවලි ශූරතාව ජයග්‍රහණය නොකළ එකම කණ්ඩායම ලෙසත් Northern Brave කණ්ඩායමේ නම සටහන් වී තිබීම විශේෂත්වයක්.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන කාන්තා Big Bash ක්‍රිකට් ලීගයේ (WBBL) Sydney Thunder කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දක්වමින් තරගාවලියේ දෙවැනියට ඉහළම ලකුණු ලාභිනිය (ඉනිම් – 10, ලකුණු – 451) ලෙස ද සිය නම සටහන් කර ගැනීමට සමත් වී සිටින චමරි Thunder වෙනුවෙන් පන්දු යැවීමෙන් ද කඩුලු 8ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම මේ වන විට මෙවර WBBL තරගාවලියේ ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳී සිටින Thunders කණ්ඩායම මෙතෙක් පැමිණි සාර්ථක ගමනේ ප්‍රධාන හවුල්කාරිය චමරි වූ බවත් නොරහසක්. මේ නිසාම Northern Brave කණ්ඩායම ද සිය පළමු Super Smash ශූරතාව සොයා යන ගමන වෙනුවෙන් චමරි අතපත්තුගේ සහය බලාපොරොත්තු වන බව අනුමාන කළ හැකියි.

තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 19 සිට ජනවාරි 28 වැනි දා තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න  ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<