ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට

ICC Women’s Emerging Nations Trophy 2026

1
ICC Women’s Emerging Nations Trophy 2026

ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

මීට පෙර අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තමන් සහභාගී වූ පළමු වටයේ අවසන් තරගය වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය කණ්ඩායම ද පරාජය කරමින් මෙම අවස්ථාවට පහසුවෙන් ම පිවිසියා.

Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී (16) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 106ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පන්දු 30ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී  ඉලක්කය හඹා යනවා.

>>විශ්මි විස්සයි විස්ස ලකුණු 1000 සම්පූර්ණ කරයි<<

ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ පෙර තරගයට එක් වූ හසිනි පෙරේරා සහ මල්කි මදාරා වෙනුවට සංජනා කාවින්දි සහ රශ්මිකා සෙව්වන්දි එක් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), විශ්මි ගුණරත්න, සංජනා කාවින්දි, ඉමේෂා දුලානි, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සත්‍යා සංදීපනී, කවීෂා දිල්හාරි, සුගන්දිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි, නිලක්ෂිකා සිල්වා සහ නිමාෂා මීපගේ.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Esha Oza (නායිකාව), Theertha Satish (කඩුලු රකින්නිය), Rinitha Rajith, Samaira Dharnidharka, Heena Hotchandani,  Janani Thirukkumaran, Mehul Kulkarni, Athige Silva, Indhuja Nandakumar, Suraksha Kotte සහ Archara Supriya.

ජයග්‍රාහී ශ්‍රී ලංකා එම ඉනිමේ දී නැවත වතාවක් සක්‍රීය දායකත්වයක් දැක් විමට ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න සමත් වෙනවා. ඇය මෙම තරගයේ දී පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා ගන්නවා. එය ඇය මෙම තරගාවලියේ වාර්තා කරන ලද තෙවැනි අර්ධ ශතකය වන අතර එය ඇය ගේ 65ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 6 වැනි අර්ධ ශතකයයි.

ඇය එම ඉනිමේ දී කෞෂිනි නුත්‍යාංගනා හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 67ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී කෞෂිනි නුත්‍යාංගනා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

ඊට අමතර ව අද තරගය විශ්මි ගුණරත්න හා එක් ව ආරම්භ කළ සංජනා කාවින්දි පන්දු 10ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Esha Oza, Heena Hotchandani සහ Indhuja Nandakumar කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් එමීර් රාජ්‍ය්‍ය කණ්ඩායම් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ආරම්භක පිතිකාරීනියන් වූ නායිකා Esha Oza සහ Theertha Satish සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 70ක සබඳතාවක් එක් කරනවා.

එහි දී Esha Oza පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ද සහ  Theertha Satish පන්දු 47ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව Samaira Dharnidharka පන්දු 16ක දී ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් සෑම පිතිකාරිනියන්ගේ ඉනිමක් ම තනි ඉලක්කමකට සීමා වුණා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව නිමේෂා මීපගේ ලකුණු 20කට කඩුලු 2ක් ද සහ සුගන්දිකා කුමාරි කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8 දැවී 106 (20.0) Esha Oza 42, Theertha Satish 40, නිමේෂා මීපගේ 2/20, කවීෂා දිල්හාරි 3/22
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 107 (15.0) විශ්මි ගුණරත්න නොදැවී 63, කෞෂිනි නුත්‍යාංගනා 25, Esha Oza 1/07

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගයේ වීරයා – කවීෂා දිල්හාරි (ශ්‍රී ලංකාව)

තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය මේ මස 20 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<