මගහැරිය නොහැකි ආවරණය – මැක්ස් හෝල්ට්

268
Volleyball

වොලිබෝල් ක්‍රීඩාව තුළ පන්දු ප්‍රහාරයන් ආවරණය කිරීමට ලැබෙන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. ජාත්‍යන්තර පිටිය තුළ දී නම් ආවරණයන්හි වැදගත්කම තවත් ඉහළ යන්නේ එම පහරවල් ගොඩ ගැනීම ඉතාමත්ම අපහසු කටයුත්තක් වන නිසාය. මේ හේතුව නිසාම පන්දු ආවරණය කිරීම සඳහා විශේෂ දක්ෂතාවයක් ඇති විශේෂඥ පන්දු ආවරණය කරන්නන් යොදා ගැනීමට බොහෝ ජාත්‍යන්තර කණ්ඩායම් පෙළඹී ඇත.

එසේ යොදාගැනෙන පන්දු ආවරණය කිරීමේ විශේෂඥයන් අතරින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක් ලෙස ඇමරිකානු එක්සත් ජනපද ජාතික කණ්ඩායම නියෝජනය කරන මැක්ස්වෙල් හෝල්ට් (Maxwell Holt) හැඳින්විය හැක.

ඉතින්  ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ 16 වැනි ලිපිය වෙන් වන්නේ මැක්ස් වෙනුවෙනි.

වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ මෙතෙක් පලවූ ලිපි

නම – මැක්ස්වෙල් පිලිප් හෝල්ට් (Maxwell Philip Holt)

අන්වර්ථ නාමයමැක්ස් (Max)

උපත – 1987/03/12

උස – 205 cm (6 ft 9 in)

බර – 90 kg ((198 lb) 

ක්‍රීඩා කරන ස්ථානය මැද පන්දු ආවරණය කරන්නා (Middle blocker)

ජර්සි අංකය – 17, 12

ප්‍රහාරක උස – 370 cm (146 in)

ආවරණ උස –355 cm (140 in)

නියෝජනය කළ රට ඇමරිකා එක්සත් ජනපදය

වෙනත් කණ්ඩායම් – 

  • 2006 – 2009 ඇමරිකා එක්සත් ජනපදය – Penn State Nittany Lions
  • 2009 – 2010 ඉතාලිය BluVolley Verona
  • 2010 – 2013 ඉතාලිය – Copra Elior Piacenza
  • 2013 – 2016 රුසියාව – Dinamo Moscow
  • 2016 –         ඉතාලිය – Azimut Modena

ඔහුගේ විශේෂත්වය

මැක්ස්වෙල් හෝල්ට්, එසේත් නැත්නම් මැක්ස් කියූ සැණින් වොලිබෝල් රසිකයන්ට සිහිවන්නේ ඔහුගේ ආවරණයයි. ලොව පුරා නම් දැරූ දැවැන්ත ප්‍රහාරකයන් බොහොමයකට මැක්ස්ගේ ආවරණවලින් ගැලවීමට හැකියාවක් ලැබී නැත. 

එම ආවරණයන් අතරින් 2014 වසරේ දී ලෝක ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ දී බ්‍රසීල ක්‍රීඩක ලූකස් සාට්කැම්ප්ට එරෙහිව ඔහු තනි අතින් යොමු කළ ආවරණය ප්‍රේක්ෂකයන් හට අමරණීය මතකයක් බවට පත්වූ අතර 2015 වසරේ ලෝක කුසලාන තරගාවලිය තුළ පෝලන්ත කණ්ඩායමේ මිකා මතායස්ගේ පහරක් වැළැක්වීමට යොමු කළ තනි ආවරණය ද ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී නොයන සුවිශේෂී සිදුවීමකි.

මැක්ස්ගේ ආවරණයේ ඇති විශේෂත්වය වන්නේ ප්‍රතිවාදී ප්‍රහාරකයින් පහර එල්ල කරන කෝණයට අනුව දෑත් හරවමින් පන්දුව යළිත් ප්‍රතිවාදී පිටිය වෙතට යොමු කරවීමට ඔහුට ඇති හැකියාවයි. මේ නිසා ඔහුගේ ආවරණවල වැදී පිටතට විසිවන අයුරින් (Block Out) පහරවල් එල්ල කිරීම ඉතා අපහසු කටයුත්තකි. මෙම සුවිශේෂී ආවරණ තාක්ෂණය නිසාම මැක්ස්ගේ ආවරණවල දැවටෙන බොහෝ ප්‍රහාරයන් ප්‍රතිවාදීන් හට ආපසු ගොඩ ගැනීමට අවස්ථාවක් නොතබා පිටියේ දැල අසලම බිම පතිත වීම ඉතා සුලබව දක්නට ලැබෙන සිදුවීමකි. 

මැද පන්දු ආවරණය කරන්නෙකු වශයෙන් ක්‍රීඩා කරන මැක්ස් පන්දු පහරවල් ආවරණය කිරීමට අමතරව ප්‍රතිවාදී පන්දු ආවරණය කරන්නන් අපේක්ෂා නොකරන මොහොතක සැණින් දැල ආසන්නයට පැමිණ කෙටි පන්දු ප්‍රහාරයන් එල්ල කරමින් ප්‍රතිවාදී ක්‍රීඩකයන් වික්ෂිප්ත කිරීමට ද සමතෙකි. මේ නිසාම ඔහු වර්තමානයේ ජාත්‍යන්තර වොලිබෝල් පිටියේ සිටින පරිණතම සහ තර්ජනාත්මකම ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් එක් අයෙකු ලෙස හැඳින්විය හැක.

පුද්ගලික දිවිය

1987 මාර්තු 12 දින දින ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ සින්සිනාටි හි උපත ලද මැක්ස් හෝල්ට්ගේ දෙමව්පියන් වන්නේ කිම් සහ ඇන්ජි හෝල්ට් දෙදෙනාය. ඔහුගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් දෙදෙනෙකු වන මේගන් සහ නික් මෙන්ම ඔහුගේ බාල සහෝදරයෙක් වන සෑම් ද වෘත්තීය මට්ටමින් වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වේ. 

මැක්ස්, බෙන් හාපර්ගේ සංගීතයට ප්‍රිය කරන අතර ඔහුගේ ප්‍රියතම පාසල් විෂය ඉතිහාසය යි. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩා කණ්ඩායම ඇමරිකානු පාපන්දු ලීගයේ සින්සිනාටි බෙන්ගල්ස් කණ්ඩායම යි. තම ප්‍රියතම මලල ක්‍රීඩකයා ලෙස චැඩ් ජොන්සන්ව හඳුන්වන මැක්ස් විවේක සුවයෙන් සිටින අවස්ථාවල දී ගිටාරය වාදනය කිරීමට සහ ගායනයේ යෙදීමට ප්‍රියතාවයක් දක්වයි.

වෘත්තීය දිවිය

2005 වසරේ දී ඇමරිකා එක්සත් ජනපද යොවුන් වොලිබෝල් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනා ගත් මැක්ස්වෙල් හෝල්ට් 2009 වසරේ දී ජ්‍යේෂ්ඨ ජාතික කණ්ඩායමට එක්වීමට සමත් වූ අතර එම වසරේ පෑන් ඇමරිකානු කුසලාන තරගාවලියේ දී ශූරතාවයත් සමඟින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට ඔහුගේ දායකත්වය විශාල වශයෙන් ලැබුණි. 

ඉන් පසුව 2010 සහ 2011 වසරවල දී ද පැන් ඇමරිකානු කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇමරිකානු කණ්ඩායමට දායකත්වය සැපයූ මැක්ස් හට 2012 වසරේ දී පෑන් ඇමරිකානු කුසලානය තුළ දී රිදී පදක්කමෙන් සෑහීමකට පත් වන්නට සිදු විය. එම වසරේ දී ම නෝර්සෙකා තරගාවලිය තුළ දී ද ඇමරිකාවට හිමි වූයේ රිදී පදක්කමයි.

නමුත් 2012 වසරේ දී නැවතත් පෑන් ඇමරිකානු කුසලානය ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වූ අතර පසුව 2013 වසරේ නෝර්සෙකා කුසලානයේ රන් පදක්කම දිනා ගැනීමට ද ඔවුන් හට හැකියාව ලැබුණි. 

2013 වසර වන විට ඇමරිකා එක්සත් ජනපද ජාතික කණ්ඩායමේ පූර්ණ කාලීන ආරම්භක සාමාජිකයෙකු බවට පත් වීමට මැක්ස් සමත් වූ අතර එම වසරේ FIVB ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානයේ දක්ෂතම මැද පන්දු ආවරණය කරන්නා ලෙස ඔහුව නම් කරන ලදි. මෙය ඔහුගේ වොලිබෝල් දිවියේ සුවිශේෂී අවස්ථාවක් වශයෙන් හැඳින්විය හැක්කේ මැක්ස් ජාත්‍යන්තර වොලිබෝල් පිටිය තුළ කැපී පෙනෙන තරුවක් බවට පත්වීමට අඩිතාලමක් සැපයූවේ මෙම සම්මානය වන නිසාය.

ඉන් පසුව 2014 වසරේ දී ලෝක ලීග් තරගාවලියේ දී රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වූ අතර එහි දී අවසන් මහා තරගයේ දී බ්‍රසීල ක්‍රීඩක ලූකස් සාට්කැම්ප්ට එරෙහිව ඔහු තනි අතින් යොමු කළ ආවරණය ප්‍රේක්ෂකයන් හට අමතක නොවෙන මතකයක් බවට පත්විය.

2015 වසරේ ලෝක ලීග තරගාවලියේ ලෝකඩ පදක්කම හිමි කර දෙමින් අවසන් පූර්ව තරගයේ දී සර්බියා කණ්ඩායම හමුවේ පරාජයට පත් වන්නට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට සිදු වුව ද 2015 වසරේ දී ම වොලිබෝල් ලෝක කුසලානය තමන් සතු කරගන්නට ඔවුන් සමත් වූයේ අවසන් මහා තරගයේ දී ඉතාලි කණ්ඩායම පරාජයට පත් කරවමිනි.

ඉන් පසු 2016 වසරේ බලාපොරොත්තු රැසක් සමඟින් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වුවද එහි දී ඔවුන්ට හිමි වූයේ ලෝකඩ පදක්කමයි. තරගාවලිය තුළ සුවිශේෂී ක්‍රීඩා රටාවක නිරත වෙමින් තම උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දුන් මැක්ස් තරගාවලියේ දක්ෂතම මැද පන්දු ආවරණය කරන්නා සඳහා සම සම්මානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඉන් පසුව 2019 නේෂන්ස් ලීග් තරගාවලිය හා FIVB ලෝක කුසලානය යන තරගාවලි දෙකෙහිම දක්ෂතම මැද පන්දු ආවරණය කරන්නාට හිමි සම්මාන ද්විත්වයම දිනා ගැනීමට මැක්ස් සමත් වූ අතර මේ ජයග්‍රහණ නිසාවෙන්ම වර්තමානයේ ලොව හොඳම මැද පන්දු ආවරණය කරන්නා යන විරුදාවලියත් තමන් සතු කරගැනීමට ද ඔහුට හැකියාව ලැබුණි.

එම ජාත්‍යන්තර ජයග්‍රහණ වලට අමතරව ඉතාලියේ හා රුසියාවේ ක්‍රීඩා සමාජ තරගාවලි නියෝජනය කරමින් වෘත්තීය වශයෙන් ක්‍රීඩාවේ නිරත වී ඇති මැක්ස්වෙල් හෝල්ට් වර්තමානයේ ඉතාලියේ Azimut Modena ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කරයි.

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණක්‍රීඩා සමාජ තරග

CEV කුසලානය

  • 2014/2015 – Dynamo Moscow සමඟ රන් පදක්කම

CEV අභියෝගතා කුසලානය

  • 2012/2013 – Copra Elior Piacenza සමඟ රන් පදක්කම

ජාතික ශූරතා

  • 2012/2013 ඉතාලි ශූරතාවලිය – Copra Elior Piacenza සමඟ රිදී පදක්කම
  • 2014/2015 රුසියානු ශූරතාවය – Dynamo Moscow සමඟ ලෝකඩ පදක්කම
  • 2015/2016 රුසියානු ශූරතාවය – Dynamo Moscow සමඟ රිදී පදක්කම
  • 2016/2017 ඉතාලි සුපර් කප් – Azimut Modena සමඟ රන් පදක්කම
  • 2017/2018 ඉතාලි ශූරතාවලිය – Azimut Modena සමඟ ලෝකඩ පදක්කම
  • 2018/2019 ඉතාලි සුපර් කප් –  Azimut Modena සමඟ රන් පදක්කම

කණ්ඩායම් ජයග්‍රහණඇමරිකා එක්සත් ජනපද ජාතික කණ්ඩායම සමඟ 

  • 2009 Pan America කුසලානයරන් පදක්කම
  • 2010 Pan America කුසලානයරන් පදක්කම
  • 2011 නෝර්සෙකා ශූරතාවයරිදී පදක්කම 
  • 2011 Pan America කුසලානයරිදී පදක්කම
  • 2012 Pan America කුසලානයරන් පදක්කම
  • 2013 නෝර්සෙකා ශූරතාවයරන් පදක්කම 
  • 2014 FIVB ලෝක ලීගය රන් පදක්කම
  • 2015 FIVB ලෝක ලීගය ලෝකඩ පදක්කම
  • 2015 FIVB ලෝක කුසලානයරන් පදක්කම
  • 2016 Rio ඔලිම්පික් ක්‍රීඩාලෝකඩ පදක්කම 
  • 2017 නෝර්සෙකා ශූරතාවයරන් පදක්කම 
  • 2018 FIVB නේෂන්ස් ලීගයලෝකඩ පදක්කම
  • 2018 FIVB ලෝක ශූරතාවයලෝකඩ පදක්කම් 
  • 2019 FIVB නේෂන්ස් ලීගයරිදී පදක්කම
  • 2019 FIVB ලෝක කුසලානයලෝකඩ පදක්කම

තනි ජයග්‍රහණ

  • 2007 FIVB යොවුන් ලෝක කුසලානය – දක්ෂතම මැද පන්දු ආවරණය කරන්නා 
  • 2013 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – දක්ෂතම මැද පන්දු ආවරණය කරන්නා
  • 2015 FIVB ලෝක ලීගය – දක්ෂතම මැද පන්දු ආවරණය කරන්නා
  • 2016 Rio ඔලිම්පික් උළෙල – දක්ෂතම මැද පන්දු ආවරණය කරන්නා
  • 2019 FIVB නේෂන්ස් ලීගය – දක්ෂතම මැද පන්දු ආවරණය කරන්නා
  • 2019 FIVB ලෝක කුසලානය – දක්ෂතම මැද පන්දු ආවරණය කරන්නා

Picture credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<