ලොව අංක එකේ පන්දු ඔසවන්නා – මීකා ක්‍රිස්ටෙන්සන්

වොලිබෝල් පුරාවෘත අංක 11

256

ජාත්‍යන්තර වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වලට අනුව වර්තමානයේ ලොව අංක එකේ පන්දු ඔසවන්නා  වන්නේ මීකා ක්‍රිස්ටෙන්සන් ය. වොලිබෝල් කණ්ඩායමක හදවත ලෙසින් සැලකෙන කණ්ඩායමේ වැදගත්ම ස්ථානය වන පන්දු සැකසීමේ කාර්යය ඉතා මැනවින් ඉටු කරන මීකා ඇමරිකා එක්සත් ජනපද වොලිබෝල් කණ්ඩායම ජාත්‍යන්තර පිටියේ ඉහළටම රැගෙන ඒම සඳහා සුවිශේෂී දායකත්වයක් දැරූ ක්‍රීඩකයෙකි.

ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ එකොළොස් වැනි ලිපිය වෙන් වන්නේ මේ සුවිශේෂී ක්‍රීඩකයා වෙනුවෙනි.

  • නම – මීකා මකානාමයිකලානි ක්‍රිස්ටෙන්සන් (Micah Makanamaikalani Christenson)
  • අන්වර්ථ නාමයමීකා
  • උපත – 08/05/1993 
  • උස – 1.98 cm (6.6”)
  • බර –  88 kg (194 lbs)
  • ක්‍රීඩා කරන ස්ථානය – පන්දු ඔසවන්නා  (Setter)
  • කමිස අංකය – අංක 11
  • ප්‍රහාරක උස – 137 in (349 cm)
  • ආවරණ උස –130 in (340 cm)
  • නියෝජනය කළ රට – ඇමෙරිකා එක්සත් ජනපදය
  • වෙනත් කණ්ඩායම් – 

USC Trojans (2012–2015), Cucine Lube Civitanova (2015–2018), Modena (2018 – to date)

ඔහුගේ විශේෂත්වය

දැල අසලම රැඳී සිටිමින් ප්‍රතිවාදීන් හා උරෙන් උර ගැටී ක්‍රීඩාවේ නිරත වීමට මහත් සේ ඇළුම් කරන මීකා ප්‍රතිවාදීන් විසින් දැල අසලින් ඇදී එන ලෙස යොමුකරන පන්දු, පසුපස කලාපයේ සිටින තම සගයන්ට ගොඩ ගැනීමට ඉඩ නොතබා, දැල අසල දී ම එම පන්දු එන මාවතට ගොස් පන්දුව පිළිගෙන, පළමු පන්දු පිළිගැනීමෙන්ම තම ප්‍රහාරකයන්ට ප්‍රහාර එල්ල කිරීමට සුදුසු ලෙස පන්දුව ඔසවා දීමට දක්ෂයෙකි. ඉතා කෙටි කාලයක් තුළ පන්දුව සකසා දුන් පසු එසේ එල්ල කරන ප්‍රහාර සඳහා සූදානම් වීමට ප්‍රතිවාදීන් හට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන නිසා එම පහරවල් වලින් වැඩි ලකුණු ප්‍රමාණයක් රැස්කර ගැනීමේ හැකියාව මීකාගේ කණ්ඩායමට ලැබෙයි.

එසේම යම් හෙයකින් තම සගයන් විසින් ගොඩ ගන්නා පන්දු, ප්‍රහාරයන් සඳහා සකසා දීමට අපහසු තරම් ඉහළින් දැල වෙත හෝ දැලෙන් උඩට ඇදී එන ඒවා වුවහොත්, ඒවා ප්‍රහාරකයන්ට ඔසවා දීම පසෙක තබා ඒවාට තමා විසින්ම පහර එල්ල කිරීමට ද මීකා දැඩි කැමැත්තක් දක්වයි.

උසින් වැඩි ක්‍රීඩකයෙකු වන මිකාගේ පන්දු එසවීමේ දස්කම් පමණක් නොව පන්දුව පිරිනැමීමේ හා පන්දු ආවරණය කිරීමේ දස්කම් ද ඉතා ප්‍රශංසනීය වන අතර යොවුන් වියේ පටන්ම තරගාවලි ගණනාවකම දක්ෂතම පිරිනමන්නා සම්මානයෙන් පිදුම් ලැබීමට ඔහු සමත් වී ඇත. එසේම සෙන්ටි මීටර 340ක ආවරණ උසකින් යුත් ඔහුගේ ආවරණවලින් ගැලවුන ප්‍රහාරකයන් ඇත්තේ නම් ඒ ඉතා අතලොස්සකි.

මීකා ගැන සඳහන් කරන විට ඔහුගේ කුඩා කළ පුහුණුකරුවන් මෙන්ම ජාතික කණ්ඩායමේ පුහුණුකරු පවා පවසා සිටින කරුණක් වන්නේ මීකා ඉතා පහසුවෙන් පුහුණු කළ හැකි ක්‍රීඩකයෙකු බවයි. දැඩි විනයකින් යුතුව ඔහු පුහුණුවීම් සඳහා සහභාගී වන බව ඔවුන් පවසන අතර මීකා ස්වභාවයෙන්ම අන්‍යයන් හට ඉතා හොඳින් සවන් දෙන ක්‍රීඩකයෙක් වීම නිසා ඔහුට පන්දු ඔසවන්නාගේ කාර්ය භාරය වඩාත් හොඳින් සිදු කිරීමට හැකියාව ලැබී ඇති බව ද කියා සිටියි.

පුද්ගලික දිවිය

මීකා ක්‍රිස්ටෙන්සන් උපත ලැබුවේ හවායි හි හොනොලුලු හිදී ය. මකානාමයිකලානි යන්නෙහි තේරුම ස්වර්ගයෙන් ලැබෙන ත්‍යාගයයන්නයි. මීකාගේ මවට ගර්භණී අවධියේ දී  ශල්‍යකර්මයක් කිරීමට සිදු වූ නිසාත්, ඉන් ඔහු දිවි ගලවා ගනීවි දැයි විශ්වාසයක් නොතිබූ නිසාත් මීකාගේ දෙමව්පියන් ඔහුට එම නම ලබා දුන් බව කියැවේ.

ඔහුගේ පියා හා මව පිළිවෙළින් රොබට් සහ චාලීන් ක්‍රිස්ටෙන්සන් ය. ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම හිලෝහි හවායි විශ්ව විද්‍යාලයට ගිය අතර එහි දී ඔහුගේ පියා රොබට් බාස්කට්බෝල් ක්‍රීඩාවට යොමු වී ඇති අතර ඔහුගේ මව චාලීන් වොලිබෝල් ක්‍රීඩාව සඳහා යොමුවී ඇත. චාලින් වොලිබෝල් ක්‍රීඩාවෙන් ජාතික ශූරතා තුනක් දිනා ඇති අතර දෙවරක් ALL-AMERICAN නාමයෙන් පිදුම් ලැබීමට සමත් වී ඇත. ඔහුගේ සහෝදරිය ජොආනා විශ්ව විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩා කළාය . ක්‍රිස්ටෙන්සන් 2005 දී තම සගයෙක් වූ ඇසික්ස් ක්වික්සිල්වර් සමඟ සමාජ වොලිබෝල් ක්‍රීඩා කිරීමට පටන් ගත්තේය.

මීකා 2016 සැප්තැම්බර් මාසයේ දී බෲක් ෆෝර්නියර් සමඟ විවාහ විය. ඔවුන් දෙදෙනා සිය පළමු දරුවා වන Ezekiel Kūpaʻa Christenson ගේ උපත 2018 අගෝස්තු 17 වන දින මීකාගේ පුද්ගලික ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රකාශයට පත් කරන ලදී.

මීකා සංගීතයට බෙහෙවින් ප්‍රිය කරන අතර ඔහුගේ ප්‍රියතම සංගීත කණ්ඩායම වන්නේ ලොව ජනප්‍රියතම පොප් සංගීත කණ්ඩායමක් වන One Direction සංගීත කණ්ඩායමයි.

වෘත්තීය දිවිය

උසින් අඩි 6කුත් අඟලක් වූ මීකාගේ උස නිසාම ඔහු කුඩා කළ පටන් පැසිපන්දු (බාස්කට් බෝල්) හා වොලිබෝල් යන ක්‍රීඩා දෙක කෙරෙහිම ඉතා උනන්දුවක් දක්වා ඇත. හොනොලුලු හි කමෙහමෙහා පාසලේ දිදුලන තරුවක් වූ ඔහු 2011 දී තම උපාධිය සම්පූර්ණ කරන ලද්දේ ජීව විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් හැදෑරීමෙන් අනතුරුවය.  

පාසල් පැසිපන්දු හා වොලිබෝල් කණ්ඩායම් දෙකෙහිම ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙසින් දස්කම් දැක්වූ මීකා තම වෘත්තීය ක්‍රීඩා දිවිය ඉදිරියට ගෙන යාමට තීරණය කරන ලද්දේ වොලිබෝල් ක්‍රීඩාවෙනි.

උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව 2012 වසරේ දී USC Trojans කණ්ඩායම සමඟින් තම වෘත්තීය වොලිබෝල් දිවිය ආරම්භ කළ මිකා 2015 වසර දක්වා ඔවුන් හා එක්ව ක්‍රීඩාවේ යෙදුණි. 

සම්ප්‍රදාය තුට්ටුවකට මායිම් නොකරන හැඩකාරයා – Earvin N’Gapeth

පසුව 2015 වසරේ දී ඔහුට ඉතාලියේ Cucine Lube Civitanova ක්‍රීඩා සමාජයෙන් ලැබුණ ආරාධනය පිළිගත් ඔහු ඔවුන් හා එක්ව 2017 වසරේ දී ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවයේ රිදී පදක්කමත්, ශූරයන්ගේ ලීගයේ 2014/2015 හා 2016/2017 වසරවල ලෝකඩ පදක්කමත්, 2018/2019 වසරේ රිදී පදක්කමත්, එසේම 2016/2017 ඉතාලි කුසලානයේ රන් පදක්කම හා 2016/2017 ඉතාලි ශූරතාවයේ රන් පදක්කමත් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඉන්පසු 2018 වසරේ දී මීකාට ඉතාලියේ Modena Volley ක්‍රීඩා සමාජයෙන් ඔවුන් හා එක්වන ලෙසට ආරාධනාවක් ලැබුණි. එය පිළිගත් ඔහු ඔවුන් හා එක්ව 2018/2019 වසරේ ඉතාලි සුපර්කප් තරගාවලියේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

මීකා ජාත්‍යන්තර වොලිබෝල් පිටියට අත්පොත් තබන්නේ 2013 වසරේ දී ය. ඔහු සහභාගී වූ මුල්ම තරගාවලිය වූයේ 2013 නෝර්සෙකා ශූරතාවය යි. එහි දී එම තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වූ අතර එය මීකාගේ පළමු ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණයයි. එම තරගාවලියේ හොඳම පන්දු ඔසවන්නා හා හොඳම පන්දු පිරිනමන්නා යන ද්විත්වයම තමා සතු කර ගත් ඔහු ජාත්‍යන්තර වොලිබෝල් විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ අවධානය තමා වෙත යොමු කරවා ගැනීමට සමත් විය.

ඉන්පසුව 2014 වසරේ පැවති FIVB ලෝක ලීග තරගාවලියෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමටත්, 2015 වසරේ දී  FIVB ලෝක ලීග තරගාවලියේ ලෝකඩ පදක්කම සහ 2015 FIVB ලෝක කුසලානයේ රන් පදක්කම දිනා ගැනීමටත් මීකාගේ නියෝජනයෙන් යුතු ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් විය. එහි දී 2015 වසරේ ලෝක කුසලාන තරගාවලියේ හොඳම පන්දු ඔසවන්නා සම්මානය දිනා ගැනීමට ඔහු සමත් වූයේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉතාලි කණ්ඩායම පරාජයට පත් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයමිනි.

ඉන්පසුව 2016 වසරේ බ්‍රසිලයේ රියෝ හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී අවාසනාවන්ත අයුරින් අවසන් පූර්ව තරගය පරාජයට පත්වීමට ඇමරිකානු කණ්ඩායමට සිදුවීම නිසා ඔලිම්පික් ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත් වන්නට මීකාට සිදු විය.

ඉන්පසුව 2017 වසරේ දී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම නෝර්සෙකා ශූරතාවයේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි දී මීකා තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මානය දිනා ගැනීමට සමත් විය.

2018 වසරේ පැවති FIVB නේෂන්ස් ලීගය හා FIVB ලෝක ශූරතාවය යන තරගාවලි දෙකෙහිම ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූ අතර ලෝක ශූරතාවයේ හොඳම පන්දු ඔසවන්නා සම්මානය හිමි වූයේ මීකා හටයි.

අනතුරුව ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම 2019 වසරේ පැවති FIVB නේෂන්ස් ලීග තරගාවලියේ දී රිදී පදක්කම ජයග්‍රහණය කළ අතර එහි දී හොඳම පන්දු ඔසවන්නා සම්මානය දිනා ගත්තේ මීකා විසිනි. ඉන් අනතුරුව පැවති 2019 FIVB ලෝක කුසලාන තරගාවලියේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකානුවන් සමත් වූ අතර එම තරගාවලියේ ද හොඳම පන්දු ඔසවන්නා සම්මානය හිමි වූයේ අවසන් මහා තරගයට සහභාගී නොවූ මීකා හට වීම විශේෂත්වයකි.

සුවිශේෂී ජයග්‍රහණ

  • කණ්ඩායම් ජයග්‍රහණක්‍රීඩා සමාජ තරග
  • FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය 
  • 2017 වසරේ රිදී පදක්කම – Cucine Lube Civitanova කණ්ඩායම සමඟ
  • CEV චැම්පියන්ස් ලීගය 
  • 2014/2015 වසරේ ලෝකඩ පදක්කම – Cucine Lube Civitanova කණ්ඩායම සමඟ
  • 2016/2017 වසරේ ලෝකඩ පදක්කම – Cucine Lube Civitanova කණ්ඩායම සමඟ
  • 2017/2018 වසරේ රිදී පදක්කම – Cucine Lube Civitanova කණ්ඩායම සමඟ

ජාතික ශූරතා 

  • 2016/2017 ඉතාලි කුසලානයරන් පදක්කම (Cucine Lube Civitanova කණ්ඩායම සමඟ)
  • 2016/2017 ඉතාලි ශූරතාවයරන් පදක්කම (Cucine Lube Civitanova කණ්ඩායම සමඟ)
  • 2018/2019 ඉතාලි සුපර්කප්රන් පදක්කම (Modena Volley කණ්ඩායම සමඟ)

ලොව වටිනාම ලිබරෝ ක්‍රීඩකයා – සැන්ටොස්

  • කණ්ඩායම් ජයග්‍රහණඇමෙරිකා එක්සත් ජනපද  ජාතික කණ්ඩායම සමඟ 
  • 2013 නෝර්සෙකා ශූරතාවය රන් පදක්කම
  • 2014 FIVB ලෝක ලීගය රන් පදක්කම
  • 2015 FIVB ලෝක ලීගය ලෝකඩ පදක්කම
  • 2015 FIVB ලෝක කුසලානය රන් පදක්කම
  • 2016 ඔලිම්පික් ක්‍රීඩා ලෝකඩ පදක්කම
  • 2017 නෝර්සෙකා ශූරතාවය රන් පදක්කම
  • 2018 FIVB නේෂන්ස් ලීගය ලෝකඩ පදක්කම
  • 2018 FIVB ලෝක ශූරතාවය ලෝකඩ පදක්කම
  • 2019 FIVB නේෂන්ස් ලීගය රිදී පදක්කම
  • 2019 FIVB ලෝක කුසලානය ලෝකඩ පදක්කම

තනි ජයග්‍රහණ

  • 2013 නෝර්සෙකා ශූරතාවය – හොඳම පන්දු ඔසවන්නා සහ හොඳම පන්දු පිරිනමන්නා
  • 2015 FIVB ලෝක කුසලානය – හොඳම පන්දු ඔසවන්නා 
  • 2017 නෝර්සෙකා ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2018 FIVB ලෝක ශූරතාවය – හොඳම පන්දු ඔසවන්නා 
  • 2018 සුපිරි කුසලානය – වටිනාම ක්‍රීඩකයා
  • 2019 FIVB වොලිබෝල් ජාතීන්ගේ ලීගය (පිරිමි) – හොඳම පන්දු ඔසවන්නා 
  • 2019 FIVB ලෝක කුසලානය – හොඳම පන්දු ඔසවන්නා 

Image credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<