ලොව උසම වොලිබෝල් ක්‍රීඩකයා – දිමිත්‍රි මසර්ස්කි

වොලිබෝල් පුරාවෘත අංක 14

1453

“කුමක් ඉගැන්වූවද ඔබට උස ඉගැන්විය නොහැක” යනුවෙන් පැරණි වොලිබෝල් කියමනක් තිබේ. ඉන් අරුත් ගැන්වෙන්නේ වොලිබෝල් ක්‍රීඩාවට ක්‍රීඩකයාගේ උස කෙතරම් වැදගත් වන්නේ ද යන්නයි. 

ඒ බව සනාථ කිරීමට දිමිත්‍රි මසර්ස්කි තරම් වෙනත් උදාහරණයක් නොමැත. ජාත්‍යන්තර වොලිබෝල් පිටියේ දැවැන්තයන් ලෙසින් හැඳින්වෙන බොහෝ ක්‍රීඩකයන් මසර්ස්කි හමුවේ කුරුමිට්ටන් බවට පත් වන්නේ ඔහු තමාගේ උසෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන ප්‍රතිවාදීන් හට අභියෝගයක් වන නිසාය.

ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ 14 වැනි ලිපිය වෙන් වන්නේ මේ දැවැන්ත ක්‍රීඩකයා වෙනුවෙන් ය.

අඩි හයයි අඟල් දහයයි – මැට් ඇන්ඩර්සන්

නම – දිමිත්‍රි ඇලෙක්සැන්ඩ්‍රොවිච් මසර්ස්කි (Dmitry Aleksandrovich Muserskiy)

අන්වර්ථ නාමයදිමා (Dima)

උපත – 29/10/1988

උස – 218 cm (7 ft 2 in)

බර –  104 kg (229 lbs)

ක්‍රීඩා කරන ස්ථානය – මධ්‍ය ආවරණකරු (Middle Blocker) / ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක (Opposite)

කමිස අංකය – අංක 13

ප්‍රහාරක උස 375 cm (148 in)

ආවරණ උස347 cm (137 in)

නියෝජනය කළ රට – රුසියාව

වෙනත් කණ්ඩායම් – 

  • 1996–2005 > Yurydychna Akademіya Kharkiv (Ukraine)
  • 2005–2008 > Belogorie Belgorod (Russia)
  • 2008            > Metalloinvest (Russia)
  • 2008–2018 > Belogorie Belgorod (Russia)
  • 2018–       > Suntory Sunbirds (Japan) 

ඔහුගේ විශේෂත්වය

මසර්ස්කි පිළිබඳව සඳහන් කරන විට ඔහුගේ උස පිළිබඳව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. වර්තමාන වොලිබොල් පිටියේ ලොව උසම ක්‍රීඩකයා වශයෙන් සැලකෙන්නේ ඔහුය. අඩි 6කුත් අඟල් 2ක උසකින් (සෙන්ටි මීටර 218ක්) යුත් ඔහුගේ ක්‍රීඩා රටාවේ කැපී පෙනෙනම කරුණ වන්නේ දැල ආසන්නයේ ඔහු පතුරවන ආධිපත්‍යයයි. 

බොහෝ විට මසර්ස්කි පිටියේ ඉදිරි පස ක්‍රීඩා කරන විට ප්‍රතිවාදී ක්‍රීඩකයන් ඔහුව මඟ හැරීමට උත්සාහ කරනවා විනා ඔහු හා උරෙන් උර ගැටෙන්නට යන අවස්ථා ඉතා විරලය. එසේ උරෙන් උර ගැටීමට පැමිණි බොහෝ ක්‍රීඩකයන්ට සිදුවූයේ මසර්ස්කිගේ දැවැන්ත අත් යුගලය හමුවේ පරාජය වන්නටය.

සෙන්ටි මීටර 375ක පහර දීමේ උසකින් යුතු මසර්ස්කිගේ පහරවල් ආවරණය කිරීම බොහෝ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට සිහිනයකි. ඒවා උසින් එල්ල වීම පමණක් නොව ඔහුගේ දැවැන්ත සිරුරේ ඇති ජවය එම පහරවල් තුළ අන්තර්ගත වීම නිසාත් ඒවා වැළැක්වීම පහසු කටයුත්තක් නොවේ. ප්‍රතිවාදී ක්‍රීඩකයන් ඔහුගේ පහරවල්වලට විරුද්ධව ආවරණ යොමු කළ ද ඔහු ඒවාට ඉහළින් පහර එල්ල කිරීමට සමත්වන නිසා ඔහුගේ පහරවල් ඉදිරියේ බොහෝ කණ්ඩායම් අසරණ භාවයට පත්වෙයි.

එසේම මසර්ස්කිගේ උස නිසාම ඔහු එල්ල කරන පහරවල් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ මුහුණවල් මත හෝ හිසවල් මත පතිත වන අවස්ථා ද ඉතා සුලබය. මේ නිසාම ආවරණයක් එල්ල වී නොමැති අවස්ථාවක මසර්ස්කි නිදහසේ පහර එල්ල කරන විට ඇතැම් ප්‍රතිවාදී ක්‍රීඩකයන් හිස හරවමින් ඉවත බලාගන්නේ එම පහරවල් තමාගේ මුහුණ මතට පතිත වේ යැයි පවතින බිය නිසාය. 

පන්දුව දැල උඩ පවතින අවස්ථාවක දෙපිලේම දැල අසල රැඳී සිටින ක්‍රීඩකයන් උඩ පනිමින් පන්දුව ප්‍රතිවාදී පිටිය වෙත පන්දුව යොමුකිරීමට උත්සාහ කරනු වොලිබෝල් ක්‍රීඩාව තුළ සුලබව දැකිය හැක. ඒ බොහෝ අවස්ථාවල දී දෙපිලේම ක්‍රීඩකයන් පන්දුව තල්ලු කරගනිමින් පන්දුව හා පොර බදනු දක්නට ලැබේ. 

මසර්ස්කි මෙවැනි දැල උඩ ක්‍රීඩා කෙරෙන පන්දු ප්‍රතිවාදී පිටිය වෙත යොමු කිරීමේ ශූරයෙකි. ඔහු හා පන්දුවට පොරබදන ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට බොහෝ අවස්ථාවල දී සිදුවන්නේ ඔහුගේ ජවය ඉදිරියේ පසුපසට තල්ලු වී ගොස් බිම ඇද වැටීමටය. ඒ ඇතැම් අවස්ථාවල දී විචාරයකයන්ගේ මුවින් “මොහු නම් මනුෂ්‍යයෙක් නොවේ” යනුවෙන් පිටවෙන්නේ නිතැතින්මය. 

2012 ඔලිම්පික් උළෙලේ අවසන් මහා තරගයේ රන් පදක්කම රුසියාව වෙත දායාද කිරීමට ද මසර්ස්කි නිහඬ සේවයක් ඉටු කරන ලදී. එහි දී 49 වතාවක් පහර එල්ල කිරීමට උත්සාහ කර ඇති ඔහු ඉන් 28 වතාවක දී ම ලකුණු ලබා ගන්නා ප්‍රහාර එල්ල කරමින් සාර්ථක වන්නට සමත් වූයේ එදින රුසියාවේ සාර්ථකම ප්‍රහාරකයා බවට පත් වෙමිනි. 

කෙසේ නමුත් මසර්ස්කිව ලොව ප්‍රබලතම ක්‍රීඩකයන් කිහිප දෙනාගේ අතරට ඔසවා තබන්නේ ඔහුගේ පහර දීමේ හැකියාව පමණක් නොවේ. ඔහු සතු පන්දු ආවරණය කිරීමේ හැකියාවද අසමසමය. දැල අසල යෝධයෙකු මෙන් සිටගෙන ප්‍රතිවාදී ප්‍රහාරයන් ආවරණය කරන ඔහුගේ විශාල දෑත්වලට හසු නොවී පහර දෙන්නට සමත් වූ ප්‍රහාරකයන් ඉතා විරලය. 

ඔහුගේ ආවරණ උස සෙන්ටි මීටර 347ක් වන අතර එය බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ පහර දීමේ උස ද ඉක්මවූ අගයකි. මේ නිසා ප්‍රහාරකයන්ට ඔහුගෙන් ගැලවීම ඉතා අපහසු කටයුත්තකි. මෙම හැකියාවන් ද්විත්වය නිසා ලෝක මට්ටමේ ප්‍රධාන තරගාවලි කිහිපයකම වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට මසර්ස්කි හට වාසනාව හිමි විය.

පුද්ගලික දිවිය

කුඩා කළ පටන්ම උසින් ඉතා වැඩි වීම නිසා නිතැතින්ම වොලිබෝල් ක්‍රීඩාවට එක් වීමට මසර්ස්කි හට අවස්ථාව හිමි විය. ඔහු ඔහුගේ ළමා කාලය ගත කළේ යුක්‍රේනයේ මැකියෙව්කා හි ය. බෝරිස් ඔස්නාච් නම් පුහුණුකරුවාගේ මඟ පෙන්වීම යටතේ වයස අවුරුදු 8 වන විට මසර්ස්කි වොලිබෝල් ක්‍රීඩා කිරීමට පටන් ගත්තේය. 1988 වසරේ ඔහුගේ උපතේ සිටම මසර්ස්කි යුක්‍රේනියානු ජාතිකයෙක් වූ නමුත් 2006 දී ඔහු රුසියානු පුරවැසිභාවය ලබා ගන්නා ලදී. 

මසර්ස්කි දක්ෂ සූපවේදියෙකු බව ඔහුගේ සමීපතමයන් පවසන අතර ආහාර පිසීමට දැඩි උද්යෝගයක් ඇති ඔහු නිවසේ සිටින අවස්ථාවල දී මුළුතැන්ගෙයෙහි කාලය ගත කිරීමට ප්‍රිය කරන බව කියැවේ. ඉනා මුසර්ස්කායා සමඟ විවාහ වී සිටින මසර්ස්කි 2015 වසරේ දී පිය පදවිය ලබන්නට වාසනාවන්ත විය. ඒ ඔහුගේ පුතනුවන් වන රෝමන්ගේ උපතත් සමඟිනි.

වෘත්තීය දිවිය

2005 වසරේ දී මසර්ස්කිට වසර දෙකක කාලසීමාවක් වෙනුවෙන් දෙවන රුසියානු ලීගයේ ක්‍රීඩා කිරීම සඳහා Belogorie Belgorod (මෙම කණ්ඩායම ලොකොමොටිව්නමින්ද හැඳින්වේ) කණ්ඩායමෙන් ආරාධනාවක් ලැබුණ අතර 2008 වසර දක්වාම ඔවුන් හා ක්‍රීඩා කරන ලදී.

ඒ අතරේ ඔහු 2006 වසරේ දී ඔහු යුක්රේනයේ කනිෂ්ඨ ජතික කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය. නමුත් පසුව 2006 වසරේ දී ඔහුට රුසියානු පුරවැසිභාවය හිමි වීම නිසා ඔහුගේ යුක්‍රේන වොලිබෝල් කණ්ඩායම සමඟ තිබූ සම්බන්ධය එතැනින් නිමා විය.

ලිබරෝ ක්‍රීඩකයන්ගේ බියකරු සිහිනය – මුරිලෝ

2007/08 තරග සමයේ දී මසර්ස්කි රුසියානු සුපර් ලීග් තරගාවලියේ Belogorie Belgorod කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින අතරේ නව තරග සමය ආරම්භ වීමට පෙර ඔහුට Metalloinvest කණ්ඩායමෙන් ආරාධනාවක් ලැබුණි. එම ආරාධනාව පිළිගත් මසර්ස්කි කණ්ඩායම හා එක් වුවද එම කොන්ත්‍රාත්තුව පැවතියේ මාස කිහිපයක් පමණි. 2008 දෙසැම්බර් මාසයේ දී ඔහු නැවතත් තමාට සුපුරුදු Belogorie Belgorod වෙත පැමිණි අතර එම කණ්ඩායමේ ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක ස්ථානයේ ක්‍රීඩා කරමින් 2008/09 තරග සමයේ CEV කුසලානය දිනා ගැනීමට මසර්ස්කි සමත් විය.

එම තරගාවලියේ දැක්වූ දස්කම් නිසා ඔහුව 2009 FIVB ලෝක ලීග තරගාවලිය නියෝජනය කිරීම සඳහා රුසියානු ජාතික වොලිබෝල් කණ්ඩායමට තෝරාගැනුනි. නමුත් අවාසනාවකට මෙන් මසර්ස්කිට මුහුණ දෙන්නට සිදු වූ සෞඛ්‍ය ගැටලු කිහිපයක් නිසා එහි දී ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැත.

කෙසේ නමුත් ඊළඟ වසරේ දී සාර්ථක ක්‍රීඩා සමාජ තරග වාරයක් නිමා කිරීමෙන් පසු (ඉහළම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානය සහ රුසියාවේ හොඳම පන්දු ආවරණය කරන්නාගේ සම්මානය දිනා ගැනීමෙන් පසු මසර්ස්කි හට නැවත වාරයක් රුසියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි විය.

2010 ජුනි මස 4 වැනි දින, FIVB ලෝක ලීගයේ දී ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනා ගත් මසර්ස්කි ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ පළමු තරගයේ දී ලකුණු 13ක් ලබා ගෙන එම තරගයේ රුසියානු කණ්ඩායමේ හොඳම ලකුණු ලාභියා බවට පත්විය. එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී බ්‍රසීල කණ්ඩායම හමුවේ තරග වට 1-3ක් ලෙස පරාජයට පත් වන්නට රුසියාවට සිදු වූ අතර රිදී පදක්කමකින් සෑහීමකට පත් වන්නට ඔවුන්ට සිදු විය.

ඉන් පසුව එළැඹි 2011 වසරේ සිට 2013 වසර දක්වා කාල සීමාව මසර්ස්කිගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය යුගය ලෙසින් හැඳින්විය හැක. එම කාලසීමාව තුළ පිළිවෙළින් 

  • 2011  FIVB ලෝක ලීගය
  • 2011 FIVB ලෝක කුසලානය
  • 2012 ඔලිම්පික් තරගාවලිය
  • 2013  FIVB ලෝක ලීගය
  • 2013 CEV යුරෝපීය ශූරතාවලිය , 

යන තරගාවලි සියල්ලේම රන් පදක්කම ජයග්‍රහණය කිරීමට රුසියානු කණ්ඩායම සමත් විය. 

එම තරගාවලි තුළ දී කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ මසර්ස්කි 2010 FIVB ලෝක ලීගයේ හොඳම පන්දු ආවරණය කරන්නා, 2011 FIVB ලෝක ලීගයේ හොඳම පන්දු පිරිනමන්නා හා 2013 FIVB ලෝක ලීගයේ හොඳම මධ්‍ය පන්දු ආවරණය කරන්නා, 2013 CEV යුරෝපීය ශූරතා තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා යන සම්මාන දිනා ගැනීමට සමත් විය. ඉන් පසුව පැවති 2014 ක්‍රීඩා සමාජ ලෝක කුසලානයේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට මසර්ස්කි සමත් විය. 

2016 වසරේ පුද්ගලික හේතුවක් නිසා තමා ඔලිම්පික් තරගාවලියට සහභාගී නොවන බවට ඔහු පැවසීම නිසා එය මහත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් විය. එම තරගාවලියේ දී රුසියාවට සිව්වැනි ස්ථානයට ඇදවැටීමට සිදු වූ අතර ඒ සඳහා වගකිව යුත්තේ මසර්ස්කි බවට සෘජුවම චෝදනා එල්ල විය. 

ඔහුගේ ජාත්‍යන්තර තරග දිවිය ඉන් නිමා වනු ඇති බවට බොහෝ විචාරකයන් පැවසූ නමුත් නැවතත් කණ්ඩායමට පැමිණ 2018 වසරේ FIVB නේෂන්ස් ලීගයේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට මසර්ස්කිට හැකියාව ලැබුණි. එසේම එම තරගාවලියේ හොඳම මධ්‍ය පන්දු ආවරණය කරන්නා සම්මානය දිනා ගත්තේ ද මසර්ස්කි විසිනි.

උස පන්දු ප්‍රහාරයේ යැන්කි සලකුණ – ක්ලේටන් ස්ටැන්ලි

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණ – ක්‍රීඩා සමාජ තරග

CEV චැම්පියන්ස් ලීගය

  • 2013/2014 – රන් පදක්කම (Belogorie Belgorod සමඟ)

CEV කුසලානය

  • 2008/2009 – රන් පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2017/2018 – රන් පදක්කම (Belogorie Belgorod සමඟ)

FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය

  • බ්‍රසීලය 2014 – රන් පදක්කම (Belogorie Belgorod සමඟ)

ජාතික ශූරතා

  • 2009/2010 රුසියානු ශූරතාවය රිදී පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2010/2011 රුසියානු ශූරතාවයලෝකඩ පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2012/2013 රුසියානු කුසලානයරන් පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2012/2013 රුසියානු ශූරතාවයරන් පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2013/2014 රුසියානු සුපර් කප්රන් පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2013/2014 රුසියානු කුසලානයරන් පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2013/2014 රුසියානු ශූරතාවයලෝකඩ පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2014/2015 රුසියානු සුපර් කප්රන් පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2014/2015 රුසියානු ශූරතාවලිය රිදී පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2015/2016 රුසියානු ශූරතාවයලෝකඩ පදක්කම (Belogorie Belgorod සමඟ)
  • 2019/2020 ජපන් ශූරතාවලියලෝකඩ පදක්කම (Suntory Sunbirds සමඟ)

කණ්ඩායම් ජයග්‍රහණරුසියානු ජාතික කණ්ඩායම සමඟ 

  • 2010 FIVB ලෝක ලීගය රිදී පදක්කම 
  • 2011 FIVB ලෝක ලීගය රන් පදක්කම 
  • 2011 FIVB ලෝක කුසලානයරන් පදක්කම
  • 2012 ඔලිම්පික් ක්‍රීඩාරන් පදක්කම
  • 2013 FIVB ලෝක ලීගය රන් පදක්කම
  • CEV යුරෝපීය ශූරතාවලිය රන් පදක්කම 
  • 2013 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානයරිදී පදක්කම
  • 2018 FIVB නේෂන්ස් ලීගය රන් පදක්කම 

තනි ජයග්‍රහණ

  • 2010 FIVB ලෝක ලීගය – හොඳම පන්දු ආවරණය කරන්නා
  • 2011 FIVB ලෝක ලීගය – හොඳම පන්දු පිරිනමන්නා
  • 2013 FIVB ලෝක ලීගය – හොඳම මධ්‍ය පන්දු ආවරණය කරන්නා
  • 2013 CEV යුරෝපීය ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2013 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – වටිනාම ක්‍රීඩකයා
  • 2014 CEV චැම්පියන්ස් ලීගය – හොඳම මධ්‍ය පන්දු ආවරණය කරන්නා
  • 2014 FIVB ක්ලබ් ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2018 FIVB නේෂන්ස් ලීගය – හොඳම මධ්‍ය පන්දු ආවරණය කරන්නා

Image credits: muserskiy.com

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<