• නම – අර්වින් එන්ගපෙත් (Earvin N’Gapeth)
  • අන්වර්ථ නාමය – කාලගුණය (ක්ලයිමා – Clima), උන්මත්තකයා (Crazy)
  • උපත – 12/02/1991
  • උස – 1.94 cm (6.4”)
  • බර –  93 kg (205 lbs)
  • ක්‍රීඩා කරන ස්ථානය – පිටත ප්‍රහාරක (Outside hitter)
  • කමිස අංකය – අංක 9
  • ප්‍රහාරක උස – 358 cm (141 in)
  • ආවරණ උස -327 cm (129 in)
  • නියෝජනය කළ රට – ප්‍රංශය
  • වෙනත් කණ්ඩායම් – 2008–2011 Tours VB (France), 2011–2013 Bre Banca Lannutti Cuneo (Italy), 2013–2013 Kuzbass Kemerovo (Russia), 2014–2018 Modena (Italy), 2018– Zenit Kazan (Russia)
(Photo by Foto Olimpik/NurPhoto via Getty Images)a

ඔහුගේ විශේෂත්වය

එන්ගපෙත්ගේ විශේෂත්වය වන්නේ ඔහුගේ ක්‍රීඩා රටාවේ පවතින ඔහුටම ආවේණික වූ ආවේගශීලී මෙන්ම අනුමාන කළ නොහැකි තරග විලාශයයි. 

ඇතැම් විචාරකයන් පවසන්නේ විටෙක එන්ගපෙත් ක්‍රීඩා පිටිය තුළ උන්මත්තකයෙකු ලෙසින් හැසිරෙන බවයි. විටෙක අදහාගත නොහැකි පහරවල් එල්ල කරන ඔහු කිසිවෙකුත් නොසිතන මොහොතක කුමක් හෝ අසාමාන්‍ය දෙයක් සිදු කරමින් සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමතෙකි.

ඔහු ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ දැල සහ ප්‍රතිවාදී ක්‍රීඩකයන් දෙසට තම පසුපස හරවා උරහිසට ඉහළින් ආපස්සට එල්ල කරන ඔහුටම ආවේණික වූ අංශක 180 පහර නිසායි. මෙම පහර කලින් අනුමාන කළ නොහැකි නිසා එම පහර එල්ල කරන බොහෝ අවස්ථාවල ප්‍රතිවාදී ක්‍රීඩකයන් අන්ද මන්ද වී යන අයුරු සුලබ දසුනකි.  

ඔහු නිතරම සම්ප්‍රදායට අභියෝග කරන ක්‍රීඩකයෙකි. ඔහුටම ආවේණික වූ පහරවල් සහ පන්දු ගොඩ ගන්නා ආකාර රැසක් තිබෙන අතර ශරීරයේ සමහරතාවය ගිලිහී තිබෙන අවස්ථාවල පවා කෙසේ හෝ පන්දුව නිවැරදි ලෙස යොමු කිරීමට ඔහු දක්ෂයෙකි.

එසේම ඔහු පිටිය පුරා දිව යමින් තරගය විනෝදයෙන් ක්‍රීඩා කිරීමට කැමතිය. නමුත් ඔහුගේ පහරවල් නම් ප්‍රතිවාදීන්ට එතරම් විනෝදයක් ගෙන දෙන්නක් නොවේ. ඇතැම් අවස්ථාවල දී එන්ගපෙත්ගේ පහරවල් මුහුණවල් වල වැදීමෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට පිටියෙන් ඉවත් වීමට පවා සිදුවේ. 

ඔහුගේ සැහැල්ලු ක්‍රීඩා රටාව නිසා ඔහු පහර එල්ල කරන විට ඒව කෙතරම් ජවයකින් එල්ල වන්නේ ද යන්න ප්‍රතිවාදීන්ට අවබෝධ කරගැනීමට අපහසු නිසා ඔවුන්ට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවේ.

එසේම ප්‍රතිවාදී ක්‍රීඩකයන් බිම වැටෙන්නට පහර එල්ල කර ඔවුන් ළඟට ගොස් සිනාසෙමින් සුවදුක් විමසීම ඔහුගේ විනෝදාංශයයි. නමුත් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු වේදනාවෙන් මුහුණ අල්ලාගෙන සිටින විට නම් ඔහු වහා එම ක්‍රීඩකයා අසලට ගොස් සුවදුක් විමසීම සිදුකරන්නේ සැබෑ මහත්මයෙකු ලෙසිනි. 

(Photo by Catherine Steenkeste/Getty Images)

තදින් පහරක් එල්ල කරමින් ලකුණක් රැස් කළ වහාම දැල යටින් රිංගා ප්‍රතිවාදී පිටිය වෙත ගොස් ප්‍රතිවාදී ක්‍රීඩකයන් හට සිනාසෙන්නට යමක් පැවසීම ඔහු බොහෝ විට සිදු කරන දෙයකි. ඔහු සෑම විටම ක්‍රීඩාව උපරිම ලෙස විඳීමට උත්සාහ කරන නමුත් තරගය උද්වේගකර අවස්ථාවන් වෙත එළඹුණ වහාම සිනහව පසෙක තබා දැවැන්ත පහරවල් මෙන්ම පෙර සඳහන් කළ ආකාරයේ සාම්ප්‍රදායික නොවන පහරවල් වලිනුත් ලකුණු රැස්කර ගැනීමට ඔහු දක්ෂයෙකි.

එන්ගපෙත් ක්‍රීඩා සමාජ තරග පිටියේ සිටින ජනප්‍රියතම තරුවකි. 2018/2019 තරග සමයේ ලෝක ක්‍රීඩා සමාජ වොලිබෝල් තරග බිමේ සිටි හොඳම ප්‍රහාරක සුසංයෝගය වූයේ එවකට රුසියාවේ Zenit Kazan ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ එන්ගපෙත් හා මැට් ඇන්ඩර්සන් බව බොහෝ විචාරකයින් පිළිගන්නා ලද කරුණකි.

අඩි හයයි අඟල් දහයයි – මැට් ඇන්ඩර්සන්

ලොව ප්‍රමුඛතම වොලිබෝල් ක්‍රීඩා සමාජවලින් වැඩිම ඉල්ලුමක් ලැබෙන ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ඉදිරින්ම සිටින ඔහු තමාගේ……

පුද්ගලික දිවිය

එන්ගපෙත්ට වයස අවුරුදු දොළහ වන විට ඔහුට ක්ලයිමා යන අන්වර්ථ නාමය පටබැඳී ඇත. කුඩා කළ සිටන්ම නිරන්තරයෙන් ඔහුගේ මානසිකත්වය මොහොතින් මොහොත වෙනස් වන නිසා මෙන්ම ඔහුට ඕනෑම අයෙකු සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව නිසා ඔහුට මේ නම ලැබී ඇති බව පැවසේ. 

එන්ගපෙත් සංගීත ලෝලියෙකි. බොහෝ කළු ජාතියන් සේම ඔහු රැප් සංගීතය ඉතා ප්‍රිය කරයි. මෙය ඔහුගේ ප්‍රධානතම විනෝදාංශය වන අතර මේ වනවිට ඔහු සම්පූර්ණ ගීත ඇල්බම දෙකක් ද පටිගත කර ඇත.

විවාහකයෙකු වන එන්ගපෙත් එක්දරු පියෙකි. 2013 වසරේ උපත ලද ඔහුගේ දරුවාගේ නම මතායස් ය.

ඔහුගේ ක්‍රීඩා විලාශය සහ කඩවසම් බව නිසාම ලොව සුප්‍රකට Adidas සමාගම ඔහුව සන්නාම තානාපති කෙනෙකු හා නිරූපන ශිල්පියෙකු ලෙස යොදාගෙන ඇත.

(Photo by Catherine Steenkeste/Getty Images)

වෘත්තීය දිවිය

2008-09 තරග වාරයේ දී ප්‍රංශයේ ටුවර්ස් වීබී ක්‍රීඩා සමාජය විසින් හට සිය පළමු වෘත්තීය වොලිබෝල් කොන්ත්‍රාත්තුව ලබා දුන් අතර ඒ හරහා ඔහු වෘත්තීය වොලිබෝල් ක්‍රීඩාවට පිවිසියේය. එහි දී ඔහු ටුවර්ස් කණ්ඩායම සමඟ තරග වාර තුනක් ප්‍රංශ Pro A ලීග් ශුරතා ජයග්‍රහණය කරන්නට සමත් විය. 

2011-12 තරග වාරයේ දී ඔහුට A1 ලීග් තරගාවලියේ ඉතාලියේ Bre Banca Lannutti Cuneo කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ අතර ඔහු එම කණ්ඩායමේ වසර දෙකක් රැඳී සිටියේය. ඊළඟ වසරේ දී එනම් 2013 වසරේ දී සුපර් ලීගයේ ක්‍රීඩා කරන ප්‍රබල කණ්ඩායමක් වන Kuzbass Kemerovo කණ්ඩායම වෙත මාරු විය. කෙසේ වෙතත් ඉතා කෙටි කාලයක් එම කණ්ඩායමේ  රැඳී සිටීමෙන් පසුව 2014 වසරේ දී ඔහු කණ්ඩායම අතහැර ඉතාලියට පැමිණියේ Serie A1 හි Modena කණ්ඩායම සමඟ නව කොන්ත්‍රාත්තුවකට එළඹෙමිනි. 

Modena කණ්ඩායම සමඟ ඔහු 2014-15 ඉතාලි කුසලානය සහ 2015-16 ඉතාලි ශූරතාවය සහ ඉතාලි සුපර් කප් ශූරතාවයන් දිනා ගත්තේය. 2015-16 තරග වාරයේ දී ඔහු සිය දෙවන ඉතාලි සුපර් කප් ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර Modena කණ්ඩායම සමගින් සාර්ථක වසර හතරක කාලයක් ගත කිරීමෙන් පසුව 2018 වසරේ දී ඔහු රුසියාවේ Zenit Kazan ක්‍රීඩා සමාජය සමඟ වසර දෙකක කාලයක් සඳහා නව කොන්ත්‍රාත්තුවක්ට එළඹුනේය. 

වර්තමානයේ ඔහු එම Zenit Kazan කණ්ඩායම නියෝජනය කරයි.

(Photo by Pim Waslander/Soccrates/Getty Images)

2010 වසරේ මැයි මාසයේ දී ජාතික කණ්ඩායමට එක්වීමට වරම් හිමිවූ නමුත් ඔක්තෝබර් 7 වන දින ඉතාලියේ පැවති ලෝක ශූරතාවලියේ දී ඔහුව විනය හේතූන් මත ජාතික කණ්ඩායමෙන් නෙරපා හැරීමට කළමණාකාරීත්වය තීරණය කරන ලදී. 

නමුත් ඉන් පසුබෑමට ලක් නොවූ ඔහු 2011 යුරෝපීය ශූරතාවලියේ දී නැවත ජාතික කණ්ඩායමට පැමිණියේය. 2014 වසරේ දී පෝලන්තයේ පැවති 2014 ලෝක ශූරතාවලියට සහභාගී වූ අතර එහි දී ඉතා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළේ ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම මාධ්‍යවල ද විශේෂ අවධානයක් දිනා ගනිමිනි.

 නමුත් අවාසනාවන්ත ලෙස ප්‍රංශ කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත්වූ අතර ඉන් පසුව ජර්මනියත් සමඟ පැවති ලෝකඩ පදක්කම සඳහා වූ තරගයෙන් ද පරාජයට පත්ව 4 වැනි ස්ථානයට පත්වීමට ඔවුන්ට සිදු විය. 

ඉන් පසුව 2015 වසරේ පැවති ලෝක ලීග් ශූරතා වොලිබෝල් තරගාවලිය තුළ කැපී පෙනෙන ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ප්‍රධානම ක්‍රීඩකයෙක් වන්නට ඔහුට හැකියාව ලැබුනේය. 2015 ඔක්තෝබර් 18 වැනි දින එන්ගපේත් ඇතුළු ප්‍රංශ ජාතික කණ්ඩායම 2015 යුරෝපීය ශූරතාවය දිනා ගැනීමට සමත් වුනේ අවසන් තරගයේ දී ස්ලොවේනියාවට එරෙහිව තරග වට 3–0 ක ජයක් ලබා ගනිමිනි. පසුව 2017 වසරේ ඔහු දෙවන වරටත් FIVB ලෝක ලීගයේ වටිනාම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

(Photo by Pim Waslander/Soccrates/Getty Images)

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණ

  • 2007 CEV U19 යුරෝපීය ශූරතාවය රන් පදක්කම
  • 2007 FIVB U19 ලෝක ශූරතාවලිය ලෝකඩ පදක්කම 
  • 2008 CEV U21 යුරෝපීය ශූරතාවයරන් පදක්කම 
  • 2009 CEV U19 යුරෝපීය ශූරතාවලිය රන් පදක්කම
  • 2015 FIVB ලෝක ලීගයරන් පදක්කම 
  • 2015 CEV යුරෝපීය ශූරතාවලිය රන් පදක්කම
  • 2016 FIVB ලෝක ලීගය ලෝකඩ පදක්කම 
  • 2017 FIVB ලෝක ලීගය රන් පදක්කම 

තනි ජයග්‍රහණ

  • 2008 CEV කනිෂ්ඨ යුරෝපීය ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2009 CEV U19 යුරෝපීය ශූරතාවය – හොඳම පන්දු පිරිනමන්නා
  • 2009 CEV U19 යුරෝපීය ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2011 Pro A හොඳම ක්‍රීඩකයා
  • 2011 Pro A – හොඳම ප්‍රහාරකයා
  • 2015 කොපා ඉතාලියා – වටිනාම ක්‍රීඩකයා
  • 2015 FIVB ලෝක ලීගය – හොඳම පිටත ප්‍රහාරකයා
  • 2015 FIVB ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා
  • 2015 CEV යුරෝපීය ශූරතාවය – හොඳම පිටත ප්‍රහාරකයා
  • 2016 Serie A 1 – හොඳම ක්‍රීඩකයා
  • 2016 යුරෝපීය කොන්ෆෙඩරේෂන් ගාලා – වඩාත්ම දර්ශනීය ක්‍රීඩකයා
  • 2017 FIVB ලෝක ලීගය – හොඳම පිටත ප්‍රහාරකයා
  • 2017 FIVB ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<