ලිබරෝ ක්‍රීඩකයන්ගේ බියකරු සිහිනය – මුරිලෝ

632

ලෝක වොලිබෝල් පිටියේ දැවැන්තයන් වන බ්‍රසීල කණ්ඩායම තුළින් ජාත්‍යන්තර වොලිබෝල් පිටියට එක්වූ විශිෂ්ටයන් අතරට එකතු වන තවත් විශිෂ්ටයෙකු වන ඔහු පිටියේ එක් කලාපයකට සීමා නොවී සමස්ත පිටිය පුරාවටම තමාගේ දස්කම් ප්‍රකට කළ ක්‍රීඩකයෙක්. 

ප්‍රහාරක හැකියාවන්ගෙන් ඔබ්බට ගොස් තමා පන්දුව ගොඩ ගැනීමේ ද අතිදක්ෂකයෙකු බව අනේක වාරයක් ප්‍රදර්ශනය කර ඇති ඔහු ලොව ප්‍රමුඛ පෙළේ තරගාවලි කිහිපයක දී ම දක්ෂතම ප්‍රහාරකයා සම්මානය මෙන්ම දක්ෂතම පන්දු ලබා ගන්නා සම්මානය ද දිනා ගැනීමට සමත් වූයේ ඒ බව වඩාත් තහවුරු කරමින්.

ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ හත් වැන්න වෙන් වන්නේ මේ සුවිශේෂී ක්‍රීඩකයා වෙනුවෙන්.

මුරිලෝ එන්ඩ්‍රෙස්

මුරිලෝ බ්‍රසීල ජාතික කණ්ඩායමට එක් වූයේ ප්‍රහාරකයෙක් වශයෙන් වුවත් ඔහුගේ සේවය ප්‍රහාරයන්ට පමණක් සීමා වුනේ නැහැ. ප්‍රතිවාදීන් එල්ල කරන දැවැන්ත පහරවල් මෙන්ම ගොඩගැනීමට ඉතා අපහසු පන්දු පවා පිටිය පුරා දුව පැන ගොඩ ගනිමින් කිසිවෙකුත් නොසිතන මොහොතක ආරක්ෂාකාරී තරග රටාවක් ආක්‍රමණශීලී තරග රටාවක් බවට පත් කිරීමට (Defensive play into an attack) මුරිලෝට ගත වන්නේ තත්ත්පර දෙක තුනක කාලයක් පමණයි. මේ නිසාම ලෝක වොලිබෝල් පිටියේ සිටිනා දක්ෂතම Playmaker ක්‍රීඩකයෙකු ලෙස මුරිලෝ සැලකෙනවා.

  • නම – මුරිලෝ එන්ඩ්‍රෙස් (Murilo Endres)
  • අන්වර්ථ නාමය – මුරිලෝ (Murilo), ලිබරෝ ක්‍රීඩකයන්ගේ බියකරු සිහිනය (Libero’s  nightmare)
  • උපත – 03/05/1981
  • උස – 1.90 cm (6.3’)
  • බර –  76 kg (188 lbs)
  • ක්‍රීඩා කරන ස්ථානය – පිටත ප්‍රහාරක / ලිබරෝ (Outside spiker / Libero)
  • කමිස අංකය – අංක 8
  • ප්‍රහාරක උස – 343 cm (135 in)
  • ආවරණ උස -319 cm (126 in)
  • ප්‍රහාරක අත – දකුණු අත
  • නියෝජනය කළ රට – බ්‍රසීලය
  • වෙනත් කණ්ඩායම් – EC Banespa (1998–2003), EC União Suzano (2003–2005), Callipo Vibo Valentia (2005–2006), Trenkwalder Modena (2006–2009), SESI São Paulo (2009–To Date)

ඔහුගේ විශේෂත්වය

මුරිලෝ අනෙකුත් ක්‍රීඩකයන් අතරින් සුවිශේෂී වන්නේ ප්‍රහාරක හැකියාව අතින් මෙන්ම පන්දු ගොඩගැනීමේ හැකියාව අතින් ද ඔහු දක්වන සුවිශේෂී දස්කම් නිසාවෙන්. බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පිටත ප්‍රහාරකයෙකු ලෙස තම ස්ථානය තහවුරු කරගෙන සිටියත්, කණ්ඩායමේ අවශ්‍යතාවය මත ඇතැම් අවස්ථාවල දී ලිබරෝ ක්‍රීඩකයෙකු ලෙසින් ද ක්‍රීඩා කිරීමට මුරිලෝ හට සිදු වුනේ ඔහුගේ මේ සුවිශේෂී කුසලතාවය නිසායි. 

නමුත් එය අභියෝගයක් ලෙස පිළිගත් මුරිලෝ තම වගකීම නිසි අයුරින්ම ඉටු කිරීමට වග බලාගත් අතර ඔහුගේ පන්දු පිළිගැනීම කෙතරම් ඉහළ තත්ත්වයක තිබුණේ ද යත් 2011 වසරේ දී ලෝක වොලිබෝල් ලීග් තරගාවලියේ ලොව සියලු පන්දු පිළිගන්නා ක්‍රීඩකයන් අභිබවමින් හොඳම පන්දු පිළිගන්නා ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට පවා ඔහු සමත් වුනා.

පන්දු පිළිගැනීමේ හැකියාව මෙන්ම ඔහුගේ ප්‍රහාරක හැකියාව ද කිසිවෙකුට නොදෙවෙනි තරම් වූ එකක්. ඔහුගේ ප්‍රහාරවල තියුණු බව නිසාම ඔහුට සුවිශේෂී නමක් ද පටබැඳී තිබෙනවා. ඒ 2010 වසරේ ලෝක වොලිබෝල් ලීග ශූරතවය අතරතුර දී යි. එහි දී විචාරකයන් ඔහුව හැඳින්වූයේ ලිබරෝ ක්‍රීඩකයන්ගේ බියකරු සිහිනය (Libero’s  nightmare) යන අන්වර්ථ නාමයෙන්. 

මෙම තරගාවලිය තුළ දී මුරිලෝ එල්ල කළ බොහෝ ප්‍රහාරයන් ලිබරෝ ක්‍රීඩකයන් සිටි ස්ථාන වෙත එල්ල වීමත්, එම ප්‍රහාර ඔවුන්ට ගොඩ ගැනීමට නොහැකි වීම නිසාත් විචාරකයන් ඔහුට මේ නම පටබඳිනු ලැබුවා. එම තරගාවලිය අවසානයේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේද මුරිලෝ යි.

මුරිලෝ ලෝක වොලිබෝල් පිටියේ සිටිනා තර්ජනාත්මකම ක්‍රීඩකයන් අතරින් මුල් තැන ගන්නා ක්‍රීඩකයෙක්. මෙයට හේතුව ලෙස සැලකෙන්නේ කිසිවෙකුත් නොසිතන මොහොතක ආරක්ෂාකාරී තරග රටාවක් ආක්‍රමණශීලී තරග රටාවක් බවට පත් කිරීමට (Defensive play into an attack) මුරිලෝ සතුව පවතින හැකියාවයි. මේ නිසාම ඔහුගේ ක්‍රීඩා දිවියේ උපරිමයට එළඹ සිටි 2009 – 2014 කාල සීමාව තුළ ලොව සිටි විශිෂ්ටතම Playmaker ක්‍රීඩකයා මුරිලෝ බවයි බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ.

එසේම මුරිලෝ තම පුද්ගලික දස්කම් කෙරෙහි පමණක් නොව සමස්ත කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටි ක්‍රීඩකයෙක්. කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව පිටත ප්‍රහාරක හා ලිබරෝ යන ස්ථාන දෙකෙහිම ක්‍රීඩා කළ ඔහු පිටිය පුරා දුව පනිමින් ක්‍රීඩාවේ නිරත වන නිසා තමන් ද එයින් දිරිමත් වන බව ඔහුගේ බ්‍රසීල කණ්ඩායමේ සගයන් පවසනවා.

කුඩා කළ දිවිය

මුරිලෝ උපත ලැබුවේ 1981 වසරේ මැයි මස 3 වැනිදා බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් හි පැසෝ ෆන්ඩෝ හි දීයි. ඔහුට ගුස්ටාවෝ නමින් වැඩිමහල් සහෝදරයෙක් සිටින අතර ඔහු ද වෘත්තීය වොලිබෝල් ක්‍රීඩකයෙකි. කුඩා කල දී මුරිලෝ හා ගුස්ටාවෝ එක්ව පාසල් වොලිබෝල් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර ගුස්ටාවෝගේ නායකත්වයෙන් යුතු පාසල් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට මුරිලෝට හැකියාව ලැබුණි.

පුද්ගලික දිවිය

2009 ඔක්තෝබර් 22 වන දින මුරිලෝ බ්‍රසීලයේ කාන්තා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන ජැකලින් කාර්වාල්හෝ සමඟ විවාහ විය. 2013 ජුලි මැද භාගයේ දී මුරිලෝ සහ ඔහුගේ බිරිඳ ජැකලින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් දරුවෙකු අපේක්ෂා කරන බවයි. 2013 දෙසැම්බර් 20 වන දින ඔවුන්ගේ පළමු දරුවා වන පාවුලෝ ආතර් කාර්වාල්හෝ එන්ඩ්‍රෙස් උපත ලැබුවේය. 

මුරිලෝගේ බිරිඳ ජැකලින් බ්‍රසීල ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරමින් ඔලිම්පික් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාවකි. 2008 චීනයේ බීජිං නුවර පැවති ඔලිම්පික් තරගාවලියේ මෙන්ම 2012 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් තරගාවලියේ දී ද රන් පදක්කම් දිනා ගත් කණ්ඩායම් දෙකෙහිම ප්‍රබල ක්‍රීඩිකාවක් වූ ඇය මුරිලෝ ලෙසින්ම දක්ෂතම පන්දු ලබාගන්නිය සම්මානයෙන් හා දක්ෂතම ප්‍රහාරිකාව යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබීමට සමත් වීම දෛවෝපගත සිදුවීමකි.

වෘත්තීය දිවිය

බ්‍රසීල ජාතික කණ්ඩායම සමඟ ඔහු ලෝක වොලිබෝල් ලීග් ශූරතා හතක් (2003, 2004, 2005, 2006, 2007, 2009, 2010), එක් ලෝක කුසලානයක් (2007) සහ ලෝක ශූරතා දෙකක් (2006, 2010) දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඔහු 2010 වොලිබෝල් ලෝක ශූරතාවලියේ සහ 2010 ලෝක වොලිබෝල් ලීගයේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුනේ එම තරගාවලි දිවිත්වයේ දී ම ඔහු දැක්වූ සුවිශේෂී දස්කම් නිසාවෙන්. 

මේ නිසාම 2010 වසර ඔහුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂීතම වසර ලෙසින්ද සැලකීමේ වරදක් නැහැ. 2010 වසරේදී දැක්වූ සුවිශේෂී දස්කම් නිසාම ඔහු වසරේ හොඳම බ්‍රසීල මලල ක්‍රීඩකයා ලෙස ප්‍රීමියෝ බ්‍රසීල් ඔලම්පිකෝ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුනා.

මුරිලෝ 2008 ගිම්හාන ඔලිම්පික් හා 2012 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වුනා. ඒ තරගාවලි දෙකෙ හිදී ම ඔහුට රිදී පදක්කමෙන් සෑහීමට පත් වන්නට ඔහුට සිදුවුනා. ඒ 2008 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදය හා 2012 වසරේ දී රුසියාව යන කණ්ඩායම් දෙක හමුවේ අවසන් මහා තරගයේ දී පරාජයට පත් වන්නට සිදු වීම නිසායි. 

කෙසේ නමුත් 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ මුරිලෝ යි. අවසන් මහා තරගය පරාජයට පත් වුවත් තරගාවලිය පුරාවට මෙන්ම අවසන් මහා තරගයේ දීත් මුරිලෝ දැක්වූ දස්කම් නිසා ඔහුට එම සම්මානය පිරිනැමීමට තරග සංවිධායකයන් විසින් තීරණය කිරීම කිසිවෙකුගේ විවේචනයට ලක් වුනේ නැහැ.

2011 FIVB ලෝක ලීග තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමටත් එහි දී හොඳම පන්දු ලබන්නාසම්මානය දිනා ගැනීමටත් මුරිලෝ හට හැකියාව ලැබුණා. නමුත් 2013 වසරේ දී මුරිලෝ හට උරහිස් සැත්කමකට භාජනය වන්නට සිදු වූ අතර ඒ නිසාම එම මුළු තරග වාරය පුරාවටම ජාතික කණ්ඩායමෙන් ඉවත් වී සිටීමට සිදු වුනා. 

ශල්‍යකර්මයෙන් සුවය ලැබීමෙන් පසු 2014 වසරේ දී නැවතත් වින්ග් ප්‍රහාරකයෙකු ලෙස ජාතික කණ්ඩායමට ඇතුළත් වූ ඔහු FIVB ලෝක ලීගයේ රිදී පදක්කම ලබා ගැනීමට කණ්ඩායමට දායකත්වය සැපයීමට සමත් වුනා. 

එසේම 2015 වසරේ දී ලෝක වොලිබෝල් ලීගයට ක්‍රීඩා කළ බ්‍රසීල කණ්ඩායමේ සාමාජිකයෙක් ද වූ මුරිලෝ 2016 වසරේ දී ජාත්‍යන්තර වොලිබෝල් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කළා. නමුත් ඔහු තවමත් ක්‍රීඩා සමාජ තරගාවලි සඳහා සහභාගී වනවා.

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණ

  • FIVB U21 ලෝක ශූරතාවය 2001 රන් පදක්කම
  • FIVB ලෝක  ලීග් 2004 රන් පදක්කම
  • FIVB ලෝක  ලීග් 2005 – රන් පදක්කම
  • දකුණු ඇමරිකානු ශූරතාවය 2005 – රන් පදක්කම
  • FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලාන 2005 – රන් පදක්කම
  • FIVB ලෝක  ලීග් 2006 රන් පදක්කම
  • FIVB ලෝක ශූරතාවලිය 2006 – රන් පදක්කම
  • FIVB ලෝක  ලීග් 2007 රන් පදක්කම
  • දකුණු ඇමරිකානු ශූරතාවලිය 2007 – රන් පදක්කම
  • FIVB ලෝක කුසලානය 2007 – රන් පදක්කම
  • ඔලිම්පික් ක්‍රීඩා 2008 රිදී පදක්කම
  • FIVB ලෝක  ලීග් 2009 රන් පදක්කම
  • දකුණු ඇමරිකානු ශූරතාවලිය 2009 – රන් පදක්කම
  • FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලාන 2009 – රන් පදක්කම
  • FIVB ලෝක  ලීග් 2010 රන් පදක්කම
  • FIVB ලෝක ශූරතාවලිය 2010 – රන් පදක්කම
  • FIVB ලෝක  ලීග් 2011 – රිදී පදක්කම
  • දකුණු ඇමරිකානු ශූරතාවය 2011 – රන් පදක්කම
  • FIVB ලෝක කුසලානය 2011 – ලෝකඩ පදක්කම
  • ඔලිම්පික් ක්‍රීඩා 2012 රිදී පදක්කම
  • FIVB ලෝක  ලීග් 2014 – රිදී පදක්කම
  • FIVB ලෝක ශූරතාවලිය 2014 – රිදී පදක්කම

තනි ජයග්‍රහණ

  • 2009 දකුණු ඇමරිකානු ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2010 හියුබට් ජර්සි වැග්නර්ගේ අනුස්මරණය – වටිනාම ක්‍රීඩකයා
  • 2010 FIVB ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා
  • 2010 FIVB ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2010 ප්‍රීමියෝ බ්‍රසීල් ඔලම්පිකෝ – වසරේ හොඳම ක්‍රීඩකයා
  • 2011 බ්‍රසීලියානු ශූරතාවය – හොඳම ලබන්නා
  • 2011 බ්‍රසීලියානු ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2011 FIVB ලෝක ලීගය – හොඳම ලබන්නා
  • 2012 ඔලිම්පික් ක්‍රීඩා ලන්ඩන් – වටිනාම ක්‍රීඩකයා
  • 2013 බ්‍රසීලියානු ශූරතාවය – හොඳම ලබන්නා
  • 2014 FIVB ලෝක ශූරතාවය – හොඳම පිටත ප්‍රහරකයා

Image credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<