වාසනාවන්ත අංක 7 – ගිබා

වොලිබෝල් පුරාවෘත අංක 1

199

අංක 7 වාසනාවන්ත ඉලක්කමක් බව පුරාවෘත වල සඳහන් වන කරුණක්. ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ පළමුවැන්න ආරම්භ වන්නේ වාසනාවන්ත අංක 7 ජර්සියෙන් සැරසී වොලිබෝල් පිටිය වර්ණවත් කළ ගිබා ගෙන්.

21 වැනි සියවසේ ලොව ජනප්‍රියතම වොලිබෝල් ක්‍රීඩකයා ලෙසින් බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක්වී ඇති ඔහු 2004 ඔලිම්පික් වොලිබෝල් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වශයෙන් සම්මානයට පාත්‍ර වුනා. එසේම 2006 වසරේ අන්තර්ජාතික වොලිබෝල් සම්මේලන ලීග් තරගාවලියේ හා 2006 වොලිබෝල් ලෝක ශූරතා තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වශයෙනුත් ඔහුව නම් කෙරුනා.

සම්පූර්ණ නම ගිල්බර්ටෝ අමෝරි ඩි ගොඩෝයි ෆිල්හෝ (Gilberto Amauri de Godoy Filho) වන නමුත් ඔහු ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ ගිබා යන අන්වර්ථ නාමයෙන්. එම නාමය කෙතරම් ජනප්‍රිය වී ද කිවහොත් ගිල්බර්ටෝ තම ජර්සියේ මුද්‍රණය කළ නාමය වූයේ ද ගිබා යන්නයි.

නම – ගිල්බර්ටෝ අමෝරි ඩි ගොඩෝයි ෆිල්හෝ (Gilberto Amauri de Godoy Filho)
අන්වර්ථ නාමය – ගිබා (GIBA)
උපත – 1976/12/23
උස – 1.90 m (අඩි 6 අඟල් 3)
බර – 88 kg

ක්‍රීඩා කරන ස්ථානය – පිටත ප්‍රහාරක (Outside Hitter)
ප්‍රහාරක උස – 325 cm (128 in)
ආවරණ උස -312 cm (123 in)
නියෝජනය කළ රට – බ්‍රසීලය

වෙනත් කණ්ඩායම් – 

Chapecó São Caetano – Brazil (19961997 ) , Olympikus São Caetano – Brazil (1997-1998) , Report Nipomed – Brazil (19981999) , Minas Tênis Clube – Brazil (19992001) , Ferrara – Italy (20012003) , Bre Banca Lannutti Cuneo – Italy (20032007) ,  Iskra Odintsovo – Russia (20072009) , Pinheiros – Germany (20092012) , Personal Bolívar – Argentina (20122013) , Funvic Taubaté – Brazil (2013-2013) , Al-Nasr Dubai – UAE (20132014)

© Volleywood.net

 

ඔහුගේ විශේෂත්වය

අනෙකුත් වොලිබෝල් ක්‍රීඩකයන් හා සැසඳීමේ දී ගිබා එතරම් උස ක්‍රීඩකයෙකු නොවේ. නමුත් ඔහු තමාගේ ශරීර ශක්තිය හා තාක්ෂණය උපරිම වශයෙන් යොදාගත් ක්‍රීඩකයෙක්. ලොව එදා මෙදාතුර පහළ වූ දක්ෂතම පිටත ප්‍රහාරකයන් (Outside Attackers) අතර ගිබා ඉදිරියෙන්ම තබන්නට පුළුවන්.

ගිබාගේ පන්දු පිරිනැමීමේ හැකියාව පිළිබඳව ද විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඉපිලී කරන පිරිනැමීම් (Jumping Serve) වලින් ඝෘජු ලකුණු ලබා ගැනීමට ඔහු ඉතා දක්ෂයි. ඒ වගේම පසුපස කලාපයේ ක්‍රීඩා කරමින් පන්දු ගොඩගැනීමටද ගිබා අතිදක්ෂයි. 

ඔහු ක්‍රීඩා කළේ උස පන්දු ප්‍රහාරකයෙකු ලෙසයි. පන්දු ඔසවන්නා විසින් දැලේ කෙළවරේ ඇන්ටෙනා කනු අසලට ඔසවා දෙන පන්දුවලට පිටියට පිටතින් ඇදී විත් ප්‍රතිවාදී ආවරණ අතරින් එම අන්තයේ මැදටම එල්ල කරන පහර ඔහුගේ සුවිශේෂී සලකුණ (Trademark) වුනා.

එසේම ගිබාගේ නායකත්ව කුසලතා නිසාම ඔහුට බ්‍රසීල ජාතික කණ්ඩායමේ නායකත්වය වසර ගණනාවක් පුරාවටම හොබවන්නට හැකියාව ලැබුනා.

කුඩා කළ දිවිය

ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ පුරාවෘතයක් වුවත් ගිබාගේ යොවුන් අවධිය නම් එතරම් සුන්දර එකක් වුනේ නැහැ. එයට හේතුව වූනේ පුංචි ගිබාට වයස මාස 6ක් තරම් වන විට ලියුකේමියා රෝගය වැළඳීමයි. ලියුකේමියාව සමඟ කළ සටන ජයග්‍රාහීව අවසන් කළත් වයස අවුරුදු 10ක් තරම් වන විට ගිබාට යළිත් වරක් අවාසනාව හරස් වන්නේ ඔහු දරුණු අනතුරකට ලක්වීම හීතුවෙන්. එහි දී ඔහුගේ වම් අතට දැඩි ලෙස හානි වුවත් ගිබාගේ අප්‍රතිහත ධෛර්‍ය හා උත්සාහය වළක්වන්නට එම අනතුර ප්‍රමාණවත් වූයේ නැහැ.

එතරම් විශාල ශරීරයක් නොතිබුනත් වොලිබෝල් ක්‍රීඩාවට අවශ්‍ය තාක්ෂණය හොඳින් පිහිටා තිබීම නිසා පාසල් වියේ පටන්ම ගිබාගේ ඩෑෂ් ප්‍රහාර ඉතා ජවසම්පන්න වුනා. මේ නිසා පාසල් සමයේ සිටම සෙසු ක්‍රීඩකයන් අතර විශේෂ ජනප්‍රියතාවයක් ගිබාට හිමිව තිබුණා. අනෙක් ක්‍රීඩකයන්ට වඩා උසින් වැඩිවීමත් ගිබාගේ ගමනට වාසිදායක අයුරින් බලපෑවා.

© Ispn24.com

පුද්ගලික දිවිය

ගිබා විවාහ වූයේ රුමේනියානු-බ්‍රසීලියානු හිටපු ජාත්‍යන්තර වොලිබෝල් ක්‍රීඩිකා ක්‍රිස්ටිනා පර්ව් සමඟයි. 2003 වසරේ දී. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටියි. (නිකොල් උපත 2004, පැට්‍රික් උපත 2009). නමුත් 2012 නොවැම්බරයේ දී ක්‍රිස්ටිනා ඔහුගෙන් දික්කසාදය ඉල්ලා සිටියා. ඉන්පසු 2013 දී ඔහු මාරියා ලුයිසා ඩවුට් සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කළා. 

ගිබා භාෂා තුනකින් චතුර ලෙස කථා කරනවා. (පෘතුගීසි, ඉංග්‍රීසි සහ ඉතාලි)

යොවුන් ක්‍රීඩා දිවිය

පාසල් සමයෙන් පසුව ගිබා තම යොවුන් ක්‍රීඩා දිවිය ආරම්භ කළේ බ්‍රසීලයේ කුරුටිබානෝ ක්‍රීඩා සමාජයට එක් වෙමින්. එහි දී ගිබාගේ දස්කම් ක්‍රමයෙන් ඔප් නැංවෙද්දී විවිධ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලින් ගිබාට ආරාධනා ගලා එන්නට වුනා. ඒ අතරින් බ්‍රසීල ක්‍රීඩා සමාජයක් වන කොකමාර් ක්‍රීඩා සමාජයෙන් ලද ඇරයුම පිළිගත් ගිබා පිටත ප්‍රහාරකයෙක් වශයෙන් ඔවුන් හා එක් වුනේ බ්‍රසීල වොලිබෝල් ලීගය තුළ දස්කම් පෙන්වා ජාතික කණ්ඩායමට ඇතුල් වීමේ සිහිනය පෙරදැරි කරගෙනයි.

කොකමාර් කණ්ඩායම නියෝජනය කරමින් සිටිය දී ගිබාගේ සිහිනය සැබෑ කරවමින් 1995 වසරේ දී ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමේ වරම ඔහුට හිමි වුනා. ඒ වන විට ගිබාගේ වයස අවුරුදු 18ක්.

© Gazetapress

වෘත්තීය දිවිය

වසර 1995 දී 18 හැවිරිදි යෞවනයෙකු ලෙස බ්‍රසීල ජාතික කණ්ඩායමට පිවිසි ගිබා එම වර්ෂයේ දී ම තම පළමු ප්‍රමුඛ පෙළේ ශූරතා ජයග්‍රහණය ලෙස දකුණු ඇමරිකානු ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා. ඒ ජයග්‍රහණයත් සමඟින් 1997 ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීමට බ්‍රසීලය සමත් වූ අතර තරගාවලියේ අවසාන ජයග්‍රාහකයා වශයෙන් කිරුළු පැලඳීමට ද ඔවුන්ට හැකි වුනා. 

1998 වසරේ ජපානයේ පැවති ලෝක ශූරතා තරගාවලියේ දී බ්‍රසීල කණ්ඩායමට අවසන් පූර්ව තරගයෙන් ඉතාලිය හමුවේ පරාජයට පත් වී තරගාවලියෙන් ඉවතට විසි වන්නට සිදු වූ අතර 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී ද අර්ධ අවසන් පූර්ව වටයේ දී ආජන්ටිනාව හමුවේ වට 3:1ක් වශයෙන් පරාජයට පත් වීමට සිදු වුනා. 

2001 දී ගිබා සිය පළමු ලෝක ලීග් ශූරතාව දිනා ගත් එහි දී බ්‍රසීල කණ්ඩායම අතින් පරාජයට පත්වුනේ ඉන් පෙර 8 වතාවක් ලීග් ශූරතාවය ජයග්‍රහණය කර තිබූ ප්‍රබල ඉතාලි කණ්ඩායමයි.

2002 වසරෙන් පසුව එළැඹි සමය බ්‍රසීල වොලිබෝල් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙසින් සැලකෙනවා. එම වකවානුවේ දී දාන්තේ, ගුස්ටාවෝ, රිකාඩෝ ගාසියා වැනි ප්‍රබලයින් පිරිවරාගත් බ්‍රසීල කණ්ඩායම ගිබාගෙන් ලැබුණු සුවිශේෂී දායකත්වයත් සමඟින් ලෝක වොලිබෝල් පිටියේ හිනිපෙත්තටම ගමන් කිරීමට සමත් වූයේ ඔලිම්පික් හා ලෝක ශූරතා ජයග්‍රහණ රාශියක් ලබා ගනිමින්.

© Volleyhall.com

2002 වසරේ ලෝක වොලිබෝල් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය රුසියානු කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට සිදුවීම බ්‍රසීලයේ ගමන වෙනස් කිරීමට සමත් වුනා. එම පරාජය බ්‍රසීල ක්‍රීඩකයන් හට පමණක් නොව එවකට ඔවුන්ගේ පුහුණුකරු වූ බර්නාඩෝ රෙසෙන්ඩේ හටත් විශාල පසුතැවිල්ලක් ගෙන දෙන්නක් වුනා. 

නමුත් එම පරාජය ආශිර්වාදයක් කර ගත් බ්‍රසීල කණ්ඩායම තම පුහුණුකරු හා එක්ව වෙනදාටත් වඩා උනන්දුවෙන් පුහුණුවීම් වල නිරත වුනා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්පසුව පැවති ලෝක මට්ටමේ තරගාවලි 11ක් පිට පිටම ජය ගන්නට බ්‍රසීල කණ්ඩායම සමත් වුනා. ඒ සඳහා ගිබාගෙන් ලැබුණු දායකත්වය මිල කළ නොහැකියි.

2002 වසරේ ආර්ජන්ටිනාවේ පැවති ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් තරගයේ දී ඉතාලිය පරාජය කළ බ්‍රසීල කණ්ඩායම එහි අවසන් තරගයේ දී රුසියාව පරාජය කිරීමට සමත් වුනා. ඒ බ්‍රසීල කණ්ඩායමක් වොලිබෝල් ලෝක ශූරතාවයක් දිනා ගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාස ගත වෙමින්.

2003 වසරේ දී ගිබාගේ නායකත්වයෙන් යුතුව බ්‍රසීල කණ්ඩායම ලෝක ලීග් ශූරතාවය දිනා ගත්තා. ඒ ගිබාගේ නායකත්වය යටතේ ඔවුන් ජයග්‍රහණය කළ පළමු ලීග් ශූරතාවයයි. ඉන් අනතුරුව ගිබාගේ නායකත්වය යටතේම 2003 සිට 2007 දක්වා පිළිවෙළින් පිට පිටම වසර 5ක් ලෝක ලීග් ශූරතාව ජයග්‍රහණය කිරීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුනා.

ගිබාගේ ක්‍රීඩා දිවිය ස්වර්ණමය අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ 2004 වසරේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවති ඔලිම්පික් වොලිබෝල් ශූරතාවලියයි. මෙහි දී එක් පසකින් ප්‍රබල ඉතාලි කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබද්දී ඔවුන්ට එරෙහිව අනෙක් පසින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට බ්‍රසීලය සමත් වුනා.  

දස දහසකට අධික ප්‍රේක්ෂක පිරිසකගේ උද්වේගකට දිරිගැන්වීම් මැද පැවැත්වුණ අවසන් මහා තරගයේ  දී ඉතාලි කණ්ඩායම වට 3:1ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුනා. එසේම  තරගාවලිය පුරාවටත්, විශේෂයෙන්ම අවසන් මහා තරගයේ දීත් දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (MVP – Most Valuable Player) ලෙස තේරී පත් වන්නට ගිබාට හැකියාව ලැබුණා.

© FoxSports

 

ඉන් නොනැවතුන ගිබා 2006 ලෝක ලීගය (2006 World League), 2006 ලෝක ශූරතාවය (2006 World Championship) සහ 2007 ලෝක කුසලාන (2007 World Cup) තරගාවලි ත්‍රිත්වයෙහිම වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුනේ එම තරගාවලි තුනෙහිම ජය බ්‍රසීල කණ්ඩායම වෙත අත්කර දෙමින්.

එම වකවානුව තුළ ඔහු ලොව හොඳම වොලිබෝල් ක්‍රීඩකයා ලෙස බොහෝ දෙනා විසින් පිළිගැනුණ  අතර 2006 දී ඔහු වසරේ හොඳම බ්‍රසීල ක්‍රීඩකයා ලෙස නම් කෙරුණේ ප්‍රීමියෝ බ්‍රසීල් ඔලම්පිකෝ (Prêmio Brasil Olímpico) සම්මානය ද ඔහු වෙත හිමි කර දෙමින්.

නමුත් 2008 වසර වන විට ගිබාගේ ක්‍රීඩා දිවිය තරමක් පසුබෑමකට ලක්වුනා. එම වසරේ දී බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ (Rio de Janeiro) නුවර පැවති ලෝක වොලිබෝල් ලීග් තරගාවලියේ දී සියල්ලන්ගේම අපේක්ෂාව වූයේ ඒ වන විට පිට පිටම පස් වතාවක් (2003, 2004, 2005, 2006, 2007) තරගාවලිය ජයග්‍රහණය කර තිබූ බ්‍රසීලය හයවැනි වතාවටත් ශූරතාව දිනා ගනු ඇතැයි යන්නයි. 

නමුත් අවසන් පූර්ව තරගයේ දී අනපේක්ෂිත අන්දමින් ඇමරිකා එක්සත් ජනපදය හමුවේ වට 3:0කින් පරාජයට පත්වීමට සිදුවීම අපේක්ෂා දල්වා ගෙන බලා සිටි බ්‍රසීල ක්‍රීඩකයන්ට පමණක් නොව ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ටත් විශාල කම්පනයක් වුනා.

එම වසර අග දී බ්‍රසීල කණ්ඩායමට බීජිං ඔලිම්පික් උළෙලේ අවසන් තරගයට පිවිසීමට හැකි වූ නමුත් එහි දී ද නැවතත් ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය හමුවේ පරාජයට පත් වීමට සිදු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට එවර ඔලිම්පික් තරගාවලියේ දී රිදී පදක්කමකින් සෑහීමකට පත් වන්නට සිදු වුනා.

© Volleybox

නමුත් ඊළඟ වසරේ දී (2009) ගිබාගේ නායකත්වයෙන් යුතුව බ්‍රසීල කණ්ඩායම නැවත වරක් ලෝක බොලිබෝල් ලීග් ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් වුනා. එසේම එම වසරේ ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය ජයග්‍රහණය කිරීමටත් බ්‍රසීලය සමත් වුනා.

2010 වසරේ දී ද ගිබාට කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයන් 6 දෙනා අතරට එක්වීමට නොහැකි වුනේ බ්‍රසීල පුහුණුකරු රෙසෙන්ඩේ විසින් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් වූ ඩාන්ටේ සහ මුරිලෝ ආරම්භක ප්‍රහාරකයන් ලෙස භාවිතා කළ නිසායි. 

නමුත් ගිබා දිගින් දිගටම බ්‍රසීල කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ  අතර කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ දායකත්වය නොපිරිහෙළා ඉටු කිරීමටත් කටයුතු කළා. ඔහුගේ නායකත්වය යටතේ 2010 වසරේ දී ලෝක ලීග් ශූරතාව අට වැනි වතාවට ජයගැනීමටත්, ලෝක වොලිබෝල් ශූරතාවය තුන්වැනි වරට දිනා ගැනීමටත් බ්‍රසීලය සමත් වුනා.

ගිබා ප්‍රමුඛ බ්‍රසීල කණ්ඩායම බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් වොලිබෝල් තරගාවලියට සහභාගී වුවත් එහි දීත් ඔවුන්ට අවසන් මහා තරගයේ දී රුසියාව හමුවේ පරාජයට පත් වුනා. මේ නිසා එවරත් ඔවුන්ට හිමි වුනේ රිදී පදක්කමයි. 

ඒ වන විට 36 හැවිරිදි වියේ උන් ගිබා එම තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර වොලිබෝල් පිටියෙන් සමුගැනීමට තීරණය කළා. ඒ වසර 18ක් පුරා බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් තම උපරිම දායකත්වය සැපයීමෙන් පසුවයි.

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණ

ඔලිම්පික් ක්‍රීඩා උළෙල 
2004 ඇතැන්ස් – රන් පදක්කම / 2008 බීජිං – රිදී පදක්කම / 2012 ලන්ඩන් – රිදී පදක්කම

ලෝක ශූරතා
2002 ආජන්ටිනාව – රන් පදක්කම / 2006 ජපානය – රන් පදක්කම / 2010 ඉතාලිය – රන් පදක්කම

ලෝක කුසලාන
2003 ජපානය – රන් පදක්කම / 2007 ජපානය – රන් පදක්කම / 1995 ජපානය – ලෝකඩ පදක්කම / 2011 ජපානය – ලෝකඩ පදක්කම

ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය
1997 ජපානය – රන් පදක්කම / 2005 ජපානය – රන් පදක්කම / 2009 ජපානය – රන් පදක්කම

ලෝක වොලිබෝල් ලීග් ශූරතාවය
2001 කැටෝවිස් – රන් පදක්කම / 2003 මැඩ්‍රිඩ් – රන් පදක්කම / 2004 රෝමය – රන් පදක්කම / 2005 බෙල්ග්‍රේඩ් – රන් පදක්කම / 2006 මොස්කව් – රන් පදක්කම / 2007 කැටෝවිස් – රන් පදක්කම / 2009 බෙල්ග්‍රේඩ් – රන් පදක්කම / 2010 කෝර්ඩෝබා – රන් පදක්කම / 2002 බෙලෝ හොරිසොන්ටේ – රිදී පදක්කම / 2011 ඩැන්ස්ක් – රිදී පදක්කම / 1999 මා ඩෙල් ප්ලාටා – රිදී පදක්කම / 2000 රොටර්ඩෑම් – රිදී පදක්කම

පෑන් ඇමරිකානු ක්‍රීඩා
2007 රියෝ ඩි ජෙනයිරෝ – රන් පදක්කම / 1999 විනිපෙග් – රිදී පදක්කම / 2003 සැන්ටෝ ඩොමින්ගෝ – ලෝකඩ පදක්කම

දකුණු ඇමරිකානු ශූරතා
1995 බ්‍රසීලය – රන් පදක්කම / 1997 වෙනිසියුලාව – රන් පදක්කම / 1999 ආජන්ටිනාව – රන් පදක්කම / 2001 කොලොම්බියාව – රන් පදක්කම / 2003 බ්‍රසීලය – රන් පදක්කම / 2005 බ්‍රසීලය – රන් පදක්කම / 2007 චිලි – රන් පදක්කම / 2009 කොලොම්බියාව – රන් පදක්කම

තනි ජයග්‍රහණ

1993 FIVB U19 ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player)
1995 FIVB U21 ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player)
2004 ඔලිම්පික් ක්‍රීඩා – වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player)
2006 FIVB ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player)
2006 FIVB ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player)
2006 ප්‍රීමියෝ බ්‍රසීල් ඔලිම්පිකෝ – වසරේ දක්ෂතම ක්‍රීඩකයා (Best athlete of the Year)
2007 පෑන් ඇමරිකානු ක්‍රීඩා – වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player)
2007 දකුණු ඇමරිකානු ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player)
2007 FIVB ලෝක කුසලානය – වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player)
2008 FIVB ලෝක ලීගය – හොඳම පිරිනමන්නා (Best Server)
2009 දකුණු ඇමරිකානු ශූරතාවය – හොඳම ප්‍රහාරකයා (Best Spiker)
2010 Famous Magazine – පසුගිය දශකයේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයා (Best Volleyball Player of the last Decade)
2011 Sky Sports – ලොව ජනප්‍රියතම වොලිබෝල් ක්‍රීඩකයා (The most famous Volleyball player in the World)
2015 Fox Sports – ඉතිහාසයේ හොඳම පිරිමි වොලිබෝල් ක්‍රීඩකයා (Best men’s Volleyball player of all Time)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<