උස පන්දු ප්‍රහාරයේ යැන්කි සලකුණ – ක්ලේටන් ස්ටැන්ලි

වොලිබෝල් පුරාවෘත අංක 10

226

වොලිබෝල් වැනි කණ්ඩායම් තරගයක තනි ක්‍රීඩකයෙකුගේ දස්කම් මතින් ඔලිම්පික් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම පහසු කාර්යයක් නොවේ. 

2008 ඔලිම්පික් උළෙල ආරම්භ වීමට ප්‍රථමයෙන් එහි වොලිබෝල් රන් පදක්කම බ්‍රසීලය ඉදිරියේ ලියවී තිබූ බව සැවොම දන්නා කාරණයකි. නමුත් එක් ඇමරිකානුවෙකුගේ දස්කම් නිසා එය බ්‍රසීලයට අහිමි වී ගිය බව ද දැන් සියල්ලන්ම දන්නා කාරණයකි.

2008 වසරේ චීනයේ බීජිං නුවර පැවති ඔලිම්පික් තරගාවලියේ දී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට රන් පදක්කම හිමි වූයේ ඔහුගේ දස්කම් නිසා බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. එම ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ හොඳම පිරිනමන්නා, හොඳම ලකුණු රැස් කරන්නා සහ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයම දිනා ගැනීමට ඔහු සමත්වීම මඟින් ඉහත ප්‍රකාශයේ සත්‍යතාවය ඔබට මැනගත හැකි වනු ඇත.

ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ දසවැන්න වෙන් වන්නේ තම තනි දස්කම් මතින් ඇමරිකා එක්සත් ජනපදයට ඔලිම්පික් රන් පදක්කමක් දායාද කළ ඒ විශිෂ්ටයා පිළිබඳවය.

ක්ලේටන් ස්ටැන්ලි

නම – ක්ලේටන් අයෝනා ස්ටැන්ලි (Clayton Iona Stanley)

අන්වර්ථ නාමය – Clay, The Bird

උපත – 20/01/1978 

උස – 205 cm (6.9”)

බර –  104 kg (229 lbs)

ක්‍රීඩා කරන ස්ථානය – ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක (Opposite)

කමිස අංකය – අංක 13

ප්‍රහාරක උස – 142 in (357 cm)

ආවරණ උස –121 in (322 cm)

නියෝජනය කළ රට – ඇමෙරිකා එක්සත් ජනපදය

වෙනත් කණ්ඩායම් – 

P.A.O.K. Thessaloniki ග්‍රීසිය  (2001–2002), Aris Thessaloniki ග්‍රීසිය (2002–2003), Panathinaikos Athens ග්‍රීසිය (2003–2004), Iraklis Thessaloniki ග්‍රීසිය (2004–2005), Gigantes de Carolina ග්‍රීසිය (2005–2005), Iraklis Thessaloniki ග්‍රීසිය (2005–2006), Zenit Kazan රුසියාව (2006–2010), Ural Ufa – රුසියාව (2010–2012), Lokomotiv Novosibirsk – රුසියාව (2012–2012), Suntory Sunbirds – ජපානය (2013–2016)

ඔහුගේ විශේෂත්වය

ස්ටැන්ලිගේ විශේෂතම දක්ෂතාවය වන්නේ ආවරණ මඟ හරවමින් පිටියේ ඉදිරි කලාපය තුළ උස පන්දු ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාවයි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරගයක ඉදිරි පස කලාපයේ සිට උස පන්දු ප්‍රහාර එල්ල කිරීම තරමක් අපහසු කටයුත්තකි. 

එයට හේතුව වන්නේ උස පන්දු ඔසවා දීම් වලදී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට හොඳින් පන්දුව දර්ශනය වන නිසා බොහෝ විට ආවරණ ත්‍රිත්වයක් උස පන්දු ප්‍රහාර වෙත යොමුවන නිසාය. මෙය මගහරවා ගැනීමට බොහෝ ක්‍රීඩකයන් අනුගමනය කරන උපක්‍රමයක් වන්නේ පසුපස කලාපයේ සිට උස පන්දු පහර එල්ල කිරීමයි.

නමුත් ස්ටැන්ලි මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් තමා වෙත එල්ල වන ආවරණ ත්‍රිත්වයම මඟ හරවමින් ප්‍රතිවාදී පිටිය තුළට පහර එල්ල කිරීමට සමතෙකි. මේ බව වඩාත් තහවුරු කළ අවස්ථාවක් ලෙසින් 2008 වසරේ චීනයේ බීජිං නුවර පැවති ඔලිම්පික් තරගාවලියේ අවසන් පූර්ව තරගය හා අවසන් මහා තරගය පෙන්වා දිය හැක.

විශේෂයෙන්ම රුසියාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී වරක් ස්ටැන්ලි විසින් ආවරණ තුනක් මඟහරවා රුසියානු ලිබරෝ ක්‍රීඩක අලෙක්සෙයි වර්බෝව්ගේ මුහුණ මත පතිත වන්නට එල්ල කළ පහර ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඈත් නොවන පහරක් ලෙස හැඳින්විය හැක.

පුද්ගලික දිවිය

ස්ටැන්ලි උපත ලැබුවේ හවායි හි හි දීය. ඔහුගේ පියා ජෝන් ස්ටැන්ලි වූ අතර මව  සැන්ඩ්‍රා හේන් නම් විය. ඔහුට සහෝදරයන් තිදෙනෙක් (රීස් හේන්, විල් ස්ටැන්ලි සහ ජෝන් ස්ටැන්ලි) සහ සහෝදරියන් දෙදෙනෙක් (තායා ස්ටැන්ලි සහ නටාෂා හේන්) සිටියි. 

ඔහුගේ මාපියන් දෙදෙනා සහ සීයා වූ ටොම් හේන් යොවුන් අවධියේ දී වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වී සිටි ක්‍රීඩකයින් විය. ඔහුගේ මව සහ සීයා කැනඩා කණ්ඩායම නියෝජනය කළ අතර පියා එක්සත් ජනපදය නියෝජනය කරන ලදි.

ස්ටැන්ලිගේ පියා 1968 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා කර ඇති අතර ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) හි සාමාජිකයෙකි. ස්ටැන්ලිගේ සීයා ටොම් හේන්, 1968 පිරිමි ඔලිම්පික් වොලිබෝල් කණ්ඩායමට ද ඇතුළත් විය. ඔහුගේ මව සැන්ඩ්‍රා හේන් කැනඩාවේ ජාතික කණ්ඩායම වෙනුවෙන් වෘත්තීය වශයෙන් ක්‍රීඩා කර තිබේ. 

ස්ටැන්ලි 2004 වසරේ දී ග්‍රීසියේ ඇතන්ස් හි දී තම පළමු ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමත් සමඟ ඔහු සහ ඔහුගේ පියා ඇමරිකා එක්සත් ජනපද වොලිබෝල් ඉතිහාසයේ පළමු පියා-පුතු ඔලිම්පියානුවන් බවට පත් වන්නට සමත් වූහ.

2013 ජූලි මාසයේ දී ස්ටැන්ලි, ක්‍රිස්ටින් ජැක්සන් සමඟ විවාහ ගිවිස ගත්තේය. 2014 මාර්තු මාසයේ දී ඔවුන් ප්‍රකාශ කළේ තම පළමු දරුවා අපේක්ෂා කරන බවයි. ඉන් අනතුරුව 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ දියණිය මෙලොව එළිය දුටුවාය.

වෘත්තීය දිවිය

ස්ටැන්ලි හොනලූලු හි කයිසර් උසස් පාසලෙන් තම උසස් අධ්‍යාපනය හා උපාධිය සම්පූර්ණ කරන ලදි. නමුත් එහි දී ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ යෙදුණේ නැත. එයට හේතුව වූයේ එම වකවානුවේ දී කයිසර් උසස් පාසල සතුව පිරිමි වොලිබෝල් කණ්ඩායමක් නොතිබූ බැවිණි. 

කයිසර් උසස් පාසලෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු හවායි විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ අතර එහි දී ඔහු ස්පාඤ්ඤ භාෂාව හදාරන ලදී. ඒ අතරම 1997 වසරේ ඔහු වොලිබෝල් ක්‍රීඩාවට අත්පොත් තැබීමට තීරණය කරන ලද අතර 1999 විශ්ව විද්‍යාල වසර අවසාන වන විට වාර්තා පිට වාර්තා තබන වොලිබෝල් ක්‍රීඩකයෙකු බවට පත් වන්නට ස්ටැන්ලි හට හැකියාව ලැබුණි.

2004 වසරේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවති ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම නියෝජනය කිරීමට ස්ටැන්ලි හට අවස්ථාව හිමිවූ නමුත් එහි දී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට පස්වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය. 

නමුත් එහි දී තමන් සිදු කළ වැරදි නිවැරදි කරගෙන 2008 වසරේ චීනයේ බීජිං නුවර පැවති ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම එහි දී වසර විස්සකට පසු වොලිබෝල් ක්‍රීඩාවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය අතරතුර ඔහු දැක්වූ දක්ෂතා වෙනුවෙන් ඔලිම්පික් උළෙලේ වටිනාම ක්‍රීඩකයා, ඔලිම්පික් උළෙලේ හොඳම ලකුණු රැස් කරන්නා සහ හොඳම පිරිනමන්නා”ලෙස සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට ස්ටැන්ලි සමත් විය.

ස්ටැන්ලි ඇමරිකානුවෙක් වුවත් ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම සඳහා ඔහු විසින් තෝරා ගනු ලැබුවේ ග්‍රීසියයි. ඔහුගේ ක්‍රීඩා දිවියේ වැඩි කාලයක් ඔහු ක්‍රීඩා කරන ලද්දේ ග්‍රීසියේ ක්‍රීඩා සමාජවලය. නමුත් ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසන් භාගය තුළ දී ඔහු රුසියාවේ හා ජපානයේ ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළේය. 

2006 වසරේ දී ඔහු ලොව ප්‍රබලතම ක්‍රීඩා සමාජ කණ්ඩායමක් වන රුසියාවේ සෙනිත් කසාන් කණ්ඩායම හා එක්ව වසර හතරක කාලයක් ඔවුන් හා ක්‍රීඩා කළ අතර පසුව 2013 වසරේ සිට 2016 වසරේ ක්‍රීඩාවෙන් සමුගන්නා තෙක් ජපානයේ සන්ටොරි සන් බර්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලදී.

බොහෝ අය නොදන්නා සියවසේ විශිෂ්ටතම වොලිබෝල් ක්‍රීඩකයා – කාච් කිරාලි

 

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණක්‍රීඩා සමාජ තරග

  • 2004-05 CEV චැම්පියන්ස් ලීගය – ගොර්ම් රිදී කුසලාන අනුශූරතාවය, Iraklis Thessaloniki
  • 2005-06 CEV චැම්පියන්ස් ලීගය – ගොර්ම් රිදී කුසලාන අනුශූරතාවය, Iraklis Thessaloniki 
  • 2007-08 CEV Indesit Champions League – යුරෝපීය සංගමයේ පලිහ ශූරයා, Zenit Kazan

කණ්ඩායම් ජයග්‍රහණඇමෙරිකා එක්සත් ජනපද  ජාතික කණ්ඩායම සමඟ 

  • 2005 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය රිදී පදක්කම
  • 2005 නෝර්සෙකා ශූරතාවය රන් පදක්කම
  • 2007 FIVB ලෝක ලීගය ලෝකඩ පදක්කම
  • 2007 ඇමරිකානු කුසලානය රන් පදක්කම
  • 2007 නෝර්සෙකා ශූරතාවය රන් පදක්කම
  • 2008 FIVB ලෝක ලීගය රන් පදක්කම
  • 2008 බීජිං ඔලිම්පික් රන් පදක්කම
  • 2009 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය ලෝකඩ පදක්කම

තනි ජයග්‍රහණ

  • 2003 නෝර්සෙකා වොලිබෝල් ශූරතාවය “වටිනාම ක්‍රීඩකයා”
  • 2004-05 CEV චැම්පියන්ස් ලීග් “හොඳම පිරිනමන්නා”
  • 2004-05 CEV චැම්පියන්ස් ලීග් “හොඳම ලකුණු රැස් කරන්නා “
  • 2005 ලිගා ඩි වොලිබෝල් සුපිරි “සිහින කණ්ඩායම”
  • 2005-06 CEV චැම්පියන්ස් ලීග් “හොඳම ලකුණු රැස් කරන්නා “
  • 2007 නෝර්සෙකා වොලිබෝල් ශූරතාවය “හොඳම පිරිනමන්නා”
  • 2007-08 CEV චැම්පියන්ස් ලීග් “වටිනාම ක්‍රීඩකයා”
  • 2008 බීජිං ඔලිම්පික් “වටිනාම ක්‍රීඩකයා”
  • 2008 බීජිං ඔලිම්පික් “හොඳම පිරිනමන්නා”
  • 2008 බීජිං ඔලිම්පික් “හොඳම ලකුණු රැස් කරන්නා “
  • 2009-10 CEV චැම්පියන්ස් ලීග් “හොඳම පිරිනමන්නා”
  • 2010 FIVB ලෝක ශූරතාවය “හොඳම පිරිනමන්නා”
  • 2012 FIVB වොලිබෝල් ලෝක ලීගය “හොඳම පිරිනමන්නා”

Image credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<