ලොව වටිනාම ලිබරෝ ක්‍රීඩකයා – සැන්ටොස්

840

ලොව එදා මෙදාතුර පහළ වූ දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන්නේ ඔහුය. ලෝක වොලිබෝල් ලීග් ඉතිහාසයේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූ ප්‍රථම ලිබරෝ ක්‍රීඩකයා ඔහුය. එසේම 2016 රියෝ ඔලිම්පික් උළෙලේ වොලිබෝල් තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ද ඔහුය.

ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ අටවැන්න වෙන් වන්නේ මේ සුවිශේෂී ලිබරෝ ක්‍රීඩකයා වෙනුවෙන් ය.

සර්ජියෝ දුත්‍රා ඩොස් සැන්ටොස්… 

නැතහොත් ඔබ හොඳින්ම හඳුනන පරිදි සැන්ටොස්

සර්ජිනියෝ (Serginho) හා එස්කැඩිනා (Escadinha) යන අන්වර්ථ නාමවලින් ද හැඳින්වෙන සැන්ටොස් බ්‍රසීලියානු වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරමින් 2004 හා 2016 වසරවල ඔලිම්පික් රන් පදක්කමත්, 2008 හා 2012 වසර වල ඔලිම්පික් රිදී පදක්කමත්, 2006 හා 2010 වසරවල ලෝක ශූරතාවයත්, ලෝක ලීගය වසර කිහිපයක් පුරාවටත් ජයග්‍රහණය කිරීමට සමත් වූ ක්‍රීඩකයෙකි. 2009 වසරේ දී ඔහු  ලෝක ලීග් ඉතිහාසයේ වටිනාම ක්‍රීඩකයා ලෙස නම් වූ පළමු ලිබරෝ ක්‍රීඩකයා බවට පත්වන්නට සමත් විය.

  • නම – සර්ජියෝ දුත්‍රා ඩොස් සැන්ටොස් (Sérgio Dutra dos Santos)
  • අන්වර්ථ නාමයසර්ජිනියෝ (Serginho) , එස්කැඩිනාඉණිමඟ (Escadinha)
  • උපත – 15/10/1975 
  • උස – 1.84 cm (6.3’)
  • බර –  78 kg (188 lbs)
  • ක්‍රීඩා කරන ස්ථානය – ලිබරෝ (Libero)
  • කමිස අංකය – අංක 10
  • ප්‍රහාරක උස – 325 cm (128 in)
  • ආවරණ උස –310 cm (120 in)
  • නියෝජනය කළ රට – බ්‍රසීලය
  • වෙනත් කණ්ඩායම් – 
  • 1992–1997 SE Palmeiras (Brazil), 1997–1999 CRET São Caetano (Brazil), 1999–2000 EC União Suzano (Brazil), 2000–2004 EC Banespa (Brazil), 2004–2008 Copra Berni Piacenza (Italy), 2008–2010 BVC São Bernardo (Brazil), 2010–2017 SESI São Paulo (Brazil), 2017–2019 Corinthians/Guarulhos (Brazil), 2019– Ribeirão Preto Vôlei (Brazil)

ඔහුගේ විශේෂත්වය

ලෝක වොලිබෝල් ඉතිහාසය තුළ පහළවූ විශිෂ්ටතම ලිබරෝ ක්‍රීඩකයන් අතර ඉහළෙන්ම රැඳී සිටින සැන්ටොස් 21 වැනි සියවසේ මෙතෙක් පහළ වූ විශිෂ්ටතම ලිබරෝ ක්‍රීඩකයා වශයෙන් හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ලෝක ඉතිහාසයේ වෙනත් කිසිම ලිබරෝ ක්‍රීඩකයෙකු දිනා නොගත් තරමේ සම්මාන රැසකට හිමිකම් කියන්නට සමත් වී ඇති සැන්ටොස් ප්‍රතිවාදී ප්‍රහාරයකයන්ට හිසරදයක් වූ වාර ගණන මෙතෙකැයි කිව නොහැක.

ඔහුගේ පන්දු ගොඩගැනීම කෙතරම් උසස් තලයක පැවතුණේ ද යන්න සඳහන් කළහොත් ප්‍රතිවාදී පන්දු පිරිනමන්නන් කිසිම විටෙක සැන්ටොස් වෙත පන්දුව පිරිනැමීමට කටයුතු කළේ නැත. හැකි තරම් සැන්ටොස්ව මගහරිමින් පන්දු පිරිනැමීමට ප්‍රතිවාදී ක්‍රීඩකයන් උත්සාහ කළත් පසුපස කළාපයේ රැඳී සිටිමින් පිටිය පුරා දුව පැන පන්දු පිළිගැනීමට කටයුතු කළ නිසා සැන්ටොස්ගේ පන්දු ගොඩ ගැනීම් හමුවේ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ එම උපක්‍රමය එතරම් සාර්ථක වූ එකක් වූයේ නැත.

පන්දු ගොඩගැනීමේ රාජකාරියෙන් පමණක් නොනැවතුන සැන්ටොස් කණ්ඩායමේ දෙවන පන්දු ඔසවන්නාගේ රාජකාරිය ද මැනවින් ඉටු කිරීමට සමත් වූයේ පසුපස කලාපයේ නතරවන පන්දු ඉදිරිපෙළ ප්‍රහාරකයන් වෙත මනා ලෙස ඔසවා දෙමින් ය. මේ නිසාම කිසිම විටෙක පන්දුව නිදහසේ ප්‍රතිවාදීන් වෙත යොමු නොකර පිටියේ සෑම අන්තයකින්ම පහර එල්ල කිරීමට බ්‍රසීල කණ්ඩායමට හැකියාව ලැබුණ අතර මෙය ප්‍රතිවාදී කණ්ඩායම්වලට විශාල අභියෝගයක් හා තර්ජනයක් එල්ල කළ කාරණයක් විය.

එසේම කණ්ඩායමේ පන්දු සකසන්නා පළමුව පන්දුව පිළිගත් අවස්ථාවල දී වහා පන්දුව වෙත පැමිණ පන්දුව සකසා දීමේ කාර්යයේ නිරත වීමට ද සැන්ටොස් අමතක කළේ නැත. කුඩා කළ දී පන්දු ඔසවන්නෙකු ලෙස ක්‍රීඩා කළ නිසා තමාට මේ හැකියාව ලැබුණ බව ඔහු වරක් සඳහන් කර තිබුණි.

ඔහු සතු තවත් හැකියාවක් වන්නේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් දිරිගන්වමින් පරාජය වීමට යන තරග ජයග්‍රහණය කරවීමට ඇති දක්ෂතාවයයි. 2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රංශයට එරෙහි තරගය මේ සඳහා හොඳම උදාහරණයයි.

සැන්ටොස් පිටිය තුළ විදුලි වේගයෙන් එහා මෙහා ගමන් කිරීමට සමතෙකි. ප්‍රහාර එල්ල වෙන ස්ථාන වෙත වහා ළඟා වී පන්දුව ගොඩ ගැනීමට ඔහු අති දක්ෂයෙකි. ලිබරෝ ස්ථානයේ ක්‍රීඩා කරන නිසා ක්‍රීඩා පිටිය තුළ දී සෑම ක්‍රීඩකයෙකු සමඟම ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගැනිමට හැකි වීමේ වාසිය උපරිමයෙන් ලබා ගන්නා සැන්ටොස් නිරන්තරයෙන් අනෙක් ක්‍රීඩකයන් සමීපයට ගොස් ඔවුන් හා කතා බහ කිරීම ඉතා සුලබව දැකිය හැකි දර්ශනයකි.

කිසියම් ක්‍රීඩකයෙකු වෙතින් අඩුපාඩුවක් සිදුවූ වහාම ඔහු වෙත ගොස් යමක් පවසා, පිටට තට්ටුවක් දමමින් දිරිමත් කිරීම සැන්ටොස්ගේ පුරුද්දකි. එසේම ප්‍රතිවාදීන් එල්ල කරන ප්‍රබල, ගොඩ ගැනීමට ඉතා අපහසු පහරවල් විශිෂ්ට ලෙස ගොඩගෙනැනීමෙන් පසුව ජයඝෝෂා නගමින් පිටිය වටා දිව යමින් ප්‍රදිවාදීන්ගේ මානසිකත්වය බිමට ඇද දැමීමටද ඔහු අති දක්ෂයෙකි..

වෘත්තීය දිවිය

2001 වසරේ සිට 2016 වසර දක්වා වසර 15ක කාලයක් බ්‍රසීල ජාතික කණ්ඩායමේ සාමාජිකත්වය දැරීමට සමත් වූ සැන්ටෝස් බ්‍රසීල කණ්ඩායම සමඟින් ලද ජයග්‍රහණ ප්‍රමාණය ඉතා විශාලය.

ක්‍රීඩා සමාජ තරග බිමේ ද වසර 27 ක් තරම් ඉතා දිගු කාලයක් ගත කර ඇති ඔහු බ්‍රසීලයේ හා ඉතාලියේ විවිධ ක්‍රීඩා සමාජ කණ්ඩායම් අටකට ක්‍රීඩා කර ඇත. ඔහු සතුව බ්‍රසීලියානු ශූරතා පදක්කම් අටක් ඇති අතර වර්තමානයේ ඔහු රිබෙයිරෝ ප්‍රීටෝ වේලෙයි ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

සැන්ටොස් 2000 දශකයේ පැවති සෑම ලෝක මට්ටමේ වොලිබෝල් තරගාවලියකම පාහේ පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වූ ක්‍රීඩකයෙකි. ඔහු හත් වතාවක් දකුණු ඇමරිකානු ශූරතාවය ජයග්‍රහණ කර ඇති  අතර ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ බ්‍රසීල කණ්ඩායම සමඟ එක්ව සෑම දකුණු ඇමරිකානු ශූරතාවක්ම ජයග්‍රහණය කිරීමට සමත් වූ ක්‍රීඩකයෙකි.

2002 සහ 2006 යන වසරවල දී ඔහු බ්‍රසීල කණ්ඩායම සමඟ වොලිබෝල් ලෝක ශූරතාවයන් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර වෘත්තීය ජීවිතය තුළ දී ඔහු FIVB ලෝක ලීගයේ රන් පදක්කම් 7ක් සහ රිදී පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් වී ඇත.

2004 වසරේ දී ඔහු ප්‍රථම වරට ඔලිම්පික් ශූරයකු බවට පත් වන්නට සමත් විය. එහි දී අවසන් මහා තරගයේ දී ඉතාලි කණ්ඩායම පරාජයට පත් කරමින් තරග වට 3 – 1ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට බ්‍රසීල කණ්ඩායම සමත් වූහ.

Brazil’s Sergio Santos eyes the ball during the men’s volleyball gold medal match of the London 2012 Olympics Games against Russia, in London on August 12, 2012. AFP PHOTO / ALBERTO PIZZOLI (Photo credit should read ALBERTO PIZZOLI/AFP/GettyImages)

කෙසේ වෙතත්, ඊළඟ ඔලිම්පික් දෙකේ දී අවාසනාවන්ත ලෙස අවසන් මහා තරග දෙකම පරාජයට පත්වූ බ්‍රසීල ජාතික වොලිබෝල් කණ්ඩායමට රිදී පදක්කමකින් පමණක් සෑහීමකට පත් වන්නට සිදු විය. 

ඔහු 2012 ඔලිම්පික් උළෙලින් පසු ජාතික කණ්ඩායමෙන් අර්ධ විශ්‍රාම ගත් අතර නැවත කණ්ඩායමට පැමිණියේ 2015 ලෝක ලීගයට සහභාගී වීමටය. ඉන්පසු ඔහු 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ නමුත් එවකට බ්‍රසීල කණ්ඩායමේ පුහුණුකරු වූ බර්නාඩිනෝ ඔහුගේ එම තීරණයට එකඟ වූයේ නැත.

ඉන් පෙර පැවති තරගාවලි දෙකෙන්ම පරාජය වන්නට බ්‍රසීල කණ්ඩායමට සිදුවූ නිසා 2016 වසරේ ඔලිම්පික් තරගාවලිය ඔවුන්ට ඉතා වැදගත් තරගාවලියක් වීමත්, එම තරගාවලියට ප්‍රවේශ වන විට බ්‍රසීල කණ්ඩායමට එල්ල වී තිබූ පීඩනයත් නිසා සැන්ටොස් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් කණ්ඩායමට අත්‍යාවශ්‍ය බව බර්නාඩිනෝ එහි දී පැවසීය.

එසේම නම්‍යශීලී බවෙන් හා ක්‍රියාශීලී බවෙන් තරමක් අඩු වුවත් ඔහුගේ අත්දැකීම් අන් ක්‍රීඩකයන් හා බෙදාගනිමින් කණ්ඩායමට නායකත්වය දීමට සැන්ටොස් කණ්ඩායමේ සිටිය යුතුම බවද ඔහු පවසා තිබුණි.

sinhalaමෙම කරුණු හොඳින් සලකා බැලීමෙන් පසුව තම රටට රන් පදක්කමක් ගෙන ඒමේ සිහිනය ඉටු කිරීම සඳහා නැවතත් කණ්ඩායමට පැමිණ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට සැන්ටොස් තීරණය කරන ලදී.

2016 රියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රංශයට එරෙහි තරගය එසේ සැන්ටොස් විසින් තම අත්දැකීම් හා දිරිගැන්වීම් උපයෝගී කරගනිමින් බ්‍රසීල කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය තරගයකි. තරගයේ දෙවන වටය ලකුණු 22-25ක් ලෙස පරාජය වූ බ්‍රසීලය තුන්වැනි වටය ද පරාජයට පත්වෙමින් සිටි අතර තරගය අතටතුර කෙටි විවේකයක දී සැන්ටොස් සිය සගයන්ට පැවසුවේ ඔවුන් සියල්ලන්ටම ඔලිම්පික් රන් පදක්කමක් ජයග්‍රහණ කිරීමට 2020 වසරේ හෝ හැකියාව තිබුනත් තමාට ඇති එකම අවස්ථාව මෙය වන නිසා තමා වෙනුවෙන් දිය හැකි උපරිමය ලබාදෙන ලෙසයි.

එයින් දිරිමත් වූ බ්‍රසීල ක්‍රීඩකයන් එම වටයත්, ඉන් පසුව පැවති වටයත් ජයගෙන සමස්ත තරගය වට 3-1ක් ජයග්‍රහණය කිරීමට සමත් වූහ. 

පිළිවෙළින් තරග එකින් එක ජයග්‍රහණය කරමින් අවසාන මහා තරගයේ දී ඉතාලියට එරෙහිව රන් පදක්කම දිනා ගැනීමට බ්‍රසීලය සමත් වූ අතර ඉන් ප්‍රීතියට පත්වූ නරඹන්නන් සැන්ටොස් ව ඔවුන්ගේ රජු ලෙස හැඳින්වූවේය. තරගාවලිය තුළ ඔහුගේ දස්කම් පිළිබඳව සලකා බැලූ සංවිධායකයින් සර්ජියෝ 2016 රියෝ ඔලිම්පික් උලෙළේ වොලිබෝල් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් නම් කරන ලදී.

සුවිශේෂී ජයග්‍රහණ

  • කණ්ඩායම් ජයග්‍රහණ
  • 2001 ඇමරිකා කුසලානය – රන් පදක්කම
  • 2001 FIVB ලෝක ලීගය – රන් පදක්කම
  • 2001 දකුණු ඇමරිකානු ශූරතාවය සමඟ -රන් පදක්කම
  • 2002 FIVB ලෝක ලීගය – රිදී පදක්කම
  • 2002 FIVB ලෝක ශූරතාවලිය – රන් පදක්කම
  • 2003 පෑන් ඇමරිකානු ක්‍රීඩා – ලෝකඩ පදක්කම
  • 2003 FIVB ලෝක ලීගය – රන් පදක්කම
  • 2003 දකුණු ඇමරිකානු ශූරතාවය සමඟ -රන් පදක්කම
  • 2003 FIVB ලෝක කුසලානය – රන් පදක්කම
  • 2004 FIVB ලෝක ලීගය – රන් පදක්කම
  • 2004 ඔලිම්පික් ක්‍රීඩා – රන් පදක්කම
  • 2005 ඇමරිකා කුසලානය – රිදී පදක්කම
  • 2005 FIVB ලෝක ලීගය – රන් පදක්කම
  • 2005 දකුණු ඇමරිකානු ශූරතාවය – රන් පදක්කම
  • 2005 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – රන් පදක්කම
  • 2006 FIVB ලෝක ලීගය – රන් පදක්කම
  • 2006 FIVB ලෝක ශූරතාවලිය – රන් පදක්කම
  • 2007 පෑන් ඇමරිකානු ක්‍රීඩා – රන් පදක්කම
  • 2007 FIVB ලෝක ලීගය – රන් පදක්කම
  • 2007 දකුණු ඇමරිකානු ශූරතාවය – රන් පදක්කම
  • 2007 FIVB ලෝක කුසලානය  – රන් පදක්කම
  • 2008 ඇමරිකා කුසලානය – රිදී පදක්කම
  • 2008 ඔලිම්පික් ක්‍රීඩා – රිදී පදක්කම
  • 2009 FIVB ලෝක ලීගය – රන් පදක්කම
  • 2009 දකුණු ඇමරිකානු ශූරතාවය – රන් පදක්කම
  • 2009 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – රන් පදක්කම
  • 2010 FIVB ලෝක ලීගය – රන් පදක්කම
  • 2010 FIVB ලෝක ශූරතාවලිය – රන් පදක්කම
  • 2011 FIVB ලෝක ලීගය – රිදී පදක්කම
  • 2011 දකුණු ඇමරිකානු ශූරතාවය සමඟ – රන් පදක්කම
  • 2011 FIVB ලෝක කුසලානය – ලෝකඩ පදක්කම
  • 2012 ඔලිම්පික් ක්‍රීඩා – රිදී පදක්කම
  • 2015 දකුණු ඇමරිකානු ශූරතාවය – රන් පදක්කම
  • 2016 FIVB ලෝක ලීගය – රිදී පදක්කම
  • 2016 ඔලිම්පික් ක්‍රීඩා – රන් පදක්කම
  • තනි ජයග්‍රහණ
  • 2001 බ්‍රසීලියානු ලීගය – හොඳම ලිබරෝ
  • 2001 ඇමරිකානු කුසලානය – හොඳම පන්දු ගොඩගන්නා
  • 2002 බ්‍රසීලියානු ලීගය – හොඳම ලිබරෝ
  • 2002 බ්‍රසීලියානු ලීගය – හොඳම පන්දු ගොඩගන්නා
  • 2002 FIVB ලෝක ලීගය – හොඳම පන්දු ගොඩගන්නා
  • 2003 බ්‍රසීලියානු ලීගය – හොඳම ලිබරෝ
  • 2003 බ්‍රසීලියානු ලීගය – හොඳම පන්දු ලබන්නා
  • 2003 පෑන් ඇමරිකානු ක්‍රීඩා – හොඳම ලිබරෝ
  • 2003 FIVB ලෝක ලීගය – හොඳම පන්දු ගොඩගන්නා
  • 2003 FIVB ලෝක ලීගය – හොඳම පන්දු ලබන්නා
  • 2003 FIVB ලෝක කුසලානය – හොඳම ලිබරෝ
  • 2004 ඔලිම්පික් ක්‍රීඩා – හොඳම පන්දු ගොඩගන්නා
  • 2004 ඔලිම්පික් ක්‍රීඩා – හොඳම පන්දු ලබන්නා
  • 2004 ඔලිම්පික් ක්‍රීඩා – හොඳම ලිබරෝ
  • 2006 CEV ඉහළම කණ්ඩායම් කුසලානය – හොඳම ලිබරෝ
  • 2007 පෑන් ඇමරිකානු ක්‍රීඩා – හොඳම පන්දු ලබන්නා
  • 2007 පෑන් ඇමරිකානු ක්‍රීඩා – හොඳම ලිබරෝ
  • 2007 දකුණු ඇමරිකානු ශූරතාවය – හොඳම ලිබරෝ
  • 2007 FIVB ලෝක කුසලානය – හොඳම ලිබරෝ
  • 2008 CEV චැම්පියන්ස් ලීගය – හොඳම ලිබරෝ
  • 2008 ඇමරිකා කුසලානය – හොඳම පන්දු ලබන්නා
  • 2008 ඇමරිකානු කුසලානය – හොඳම ලිබරෝ
  • 2009 FIVB ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා
  • 2009 දකුණු ඇමරිකානු ශූරතාවය – හොඳම ලිබරෝ
  • 2009 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – හොඳම ලිබරෝ
  • 2010 බ්‍රසීලියානු ලීගය – හොඳම පන්දු ගොඩගන්නා
  • 2011 බ්‍රසීලියානු ලීගය – හොඳම පන්දු ගොඩගන්නා
  • 2011 දකුණු ඇමරිකානු සමාජ ශූරතාවය – හොඳම පන්දු ගොඩගන්නා
  • 2011 දකුණු ඇමරිකානු සමාජ ශූරතාවය – හොඳම ලිබරෝ
  • 2011 දකුණු ඇමරිකානු ශූරතාවය – හොඳම පන්දු ගොඩගන්නා
  • 2011 දකුණු ඇමරිකානු ශූරතාවය – හොඳම පන්දු ලබන්නා
  • 2011 දකුණු ඇමරිකානු ශූරතාවය – හොඳම ලිබරෝ
  • 2011 දකුණු ඇමරිකානු ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2011 FIVB ලෝක කුසලානය – හොඳම පන්දු ලබන්නා
  • 2011 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – හොඳම පන්දු ලබන්නා
  • 2011 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – හොඳම ලිබරෝ
  • 2015 දකුණු ඇමරිකානු ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2016 ඔලිම්පික් ක්‍රීඩා – හොඳම ලිබරෝ
  • 2016 ඔලිම්පික් ක්‍රීඩා – වටිනාම ක්‍රීඩකයා

Image credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<