සිරස් පැනීමේ රාක්ෂයා – රිකාඩෝ ලුකරෙලි

319

ඔහුගේ නම කියූ පමණින් වොලිබෝල් ක්‍රීඩාව හොඳින් හැදෑරූ අයෙකුට නම් සිහි වන්නේ ඔහුගේ ක්‍රීඩා රටාව තුළ ඇති තාක්ෂණයයි. ඔහුගේ ප්‍රහාරක ඉපිලීම් වල ඇති තාක්ෂණය ප්‍රේක්ෂක ඇසට එතරම් ප්‍රියජනකය. ඔහු තනි පන්දු ආවරණ යොමු කිරීමේ  සමතෙකි. 

එසේම ඔහු වයස අවුරුදු 21 වන විට වයස 23න් පහළ ලෝක වොලිබෝල් ශූරතාවයේ වටිනාම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් විය. ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙක් ද වන මේ ක්‍රීඩකයා 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දක්ෂතම පිටත ප්‍රහාරකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් විය.

රිකාඩෝ ලුකරෙලි (Ricardo Lucarelli)

ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ දොළොස් වැනි ලිපිය වෙන් වන්නේ මේ සුවිශේෂී ක්‍රීඩකයා වෙනුවෙන් ය.

  • නම – රිකාඩෝ සැමුවෙල් ලුකරෙලි සැන්ටොස් ද සූසා (Ricardo Samuel Lucarelli Santos de Souza)
  • අන්වර්ථ නාමයලූකා,
  • උපත – 14/02/1992 
  • උස – 1.96 cm (6.5”)
  • බර –  79 kg (174 lbs)
  • ක්‍රීඩා කරන ස්ථානය – පිටත ප්‍රහාරක (Outside Hitter)
  • කමිස අංකය – අංක 8 / 10 / 18
  • ප්‍රහාරක උස – 137 in (348 cm)
  • ආවරණ උස –128 in (326 cm)
  • නියෝජනය කළ රට – බ්‍රසීලය
  • වෙනත් කණ්ඩායම් – Minas Tênis Clube – Brazil (2010 – 2013), SESI São Paulo – Brazil (2013 – 2015), Funvic Taubaté – Brazil (2015 – 2020), Trentino Volley – Italy (2020 – To date)

ඔහුගේ විශේෂත්වය

ලුකරෙලිගේ තරග රටාවේ දැකිය හැකි වැදගත්ම අංගය වන්නේ ඔහුගේ ප්‍රහාරක තාක්ෂණයයි. ඔහු ප්‍රහාර එල්ල කිරීමට දැල අසලට ඇදී එන්නේ සිංහ පෝතකයෙකු කිසිවෙකුට නොදැනෙන අයුරින් තම ගොදුර වෙත ඇදෙන්නාක් මෙන් කඩිනම්, එහෙත් කිසිවෙකුට නොදැනෙන තරම් වූ සූක්ෂම බවකිනි. මේ නිසාම වොලිබෝල් විචාරකයන් ඔහුව හඳුන්වන්නේ “සිරස් පැනීමේ රාක්ෂයා”  (Monster of the Vertical Jump) ලෙසය. 

ඇතැම් විට ඔහු පහර එල්ල කර අවසන් වන තෙක්ම ප්‍රතිවිරුද්ධ පිලේ ක්‍රීඩකයන් ඒ පිළිබඳව වටහා ගන්නේ නැත. ඔහුගේ ප්‍රහාරක ඉපිලීම් ඒ තරමටම තාක්ෂණයෙන් අනූනය. 

මෙසේ තාක්ෂණයෙන් ඉහළ ඉලිපීමක් ලබා ගැනීම නිසාම දැල අසල එක් ස්ථානයක සිට ආවරණවලට හසු නොවන පරිදි ප්‍රතිවාදී පිටියේ විවිධ ස්ථානවලට විවිධ ආනතිවලින් යුත් පහරවල් එල්ල කිරීමට ලුකරෙලිට හැකියාව ලැබී ඇති අතර එය ද ඔහුගේ ක්‍රීඩා රටාව තුළ දැකිය හැකි විශේෂත්වයකි.

පන්දු පිරිනැමීමෙහි ද අතිදක්ෂයෙක් වන ලුකරෙලි යොවුන් වියේ දී හොඳම පන්දු පිරිනමන්නා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති අයෙකි. 

ඊට අමතරව ලුකරෙලි සතු තවත් දක්ෂතාවයක් වන්නේ පන්දු ගොඩගැනීමයි. උසින් වැඩි ක්‍රීඩකයෙක් වුවද ඔහු සතු වන නම්‍යශීලීබව මේ සඳහා බොහෝ ඉවහල් වේ. විශේෂයෙන්ම 2016 රියෝ ඔලිම්පික් උළෙලේ අවසන් මහා තරගයේ දී ලුකරෙලිගේ පන්දු ගොඩගැනීමේ දස්කම් විචාරකයන්ගේ මහත් පැසසුමට ලක්වූ අතර එහිදී ඔහුගේ ගොඩගත් පන්දු 16කින් 15ක් ම සාර්ථක ඒවා බවට පත්විය.

වර්තමානයේ ලොව හොඳම ලකුණු රැස් කරන්නා, ලොව හොඳම ප්‍රහාරකයා සහ ලොව හොඳම පන්දු පිරිනමන්නා යන අංශ තුනෙන්ම ලොව පළමු ක්‍රීඩකයන් තිදෙනා අතර රැඳී සිටීමට ලුකරෙලි සමත්ව සිටියි.

පුද්ගලික දිවිය

හිප් හොප් සංගීතය ප්‍රිය කරන ලුකරෙලි තවමත් අවිවාහකයෙකි. ඔහු තම මවට බෙහෙවින් ඇලුම් කරන අතර තමාගේ සාර්ථකත්වය පසුපස සිටින්නේ තම මව බව නිතර ප්‍රකාශ කරයි. එසේම ඔහු තම සොහොයුරිටත් බෙහෙවින් ඇලුම් කරන අතර ඇයගේ දිවියේ විශේෂ අවස්ථා කිසිවක් මග නොහැරීමට තමා වග බලාගන්නා බව ලුකරෙලි පවසයි. ඔහු ක්‍රීඩා කරන බොහෝ තරග නැරඹීම සඳහා ඔහුගේ මව හා සොහොයුරිය පැමිණෙන බව ද රහසක් නොවේ.  

ලුකරෙලි ලොව ප්‍රකට සන්නාම නාමයක් වන Red Bull හි සන්නාම තානාපතිවරයෙක් ලෙස කටයුතු කරයි. එසේම ඔහු තමාව කවියෙකු ලෙස හඳුන්වාදීමට කැමති අයෙකි. 

සමාජ මාධ්‍ය අතුරින් ඔහුගේ ප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය වන්නේ Instagram ය. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා වන්නේ සුපිරි පැසිපන්දු ක්‍රීඩක කෙවින් ඩුරන්ට් ය. එසේම ලොව ප්‍රකට Lord of the Rings චිත්‍රපට මාලාවට බෙහෙවින් ප්‍රිය කරන ලුකරෙලි තමා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ එහි Legolas නම් චරිතය බව පවසයි. ඔහුගේ ප්‍රියතම රූපවාහිනී කතා මාලාව Game of Thrones කතා මාලාවයි.

ලොව අංක එකේ පන්දු ඔසවන්නා – මීකා ක්‍රිස්ටෙන්සන්

වෘත්තීය දිවිය

ලුකරෙලිගේ වෘත්තීය දිවිය ආරම්භ වන්නේ 2009 වසරේ යොවුන් ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියත් සමඟින් ය. එම තරගාවලියේ හොඳම පන්දු ලබා ගන්නා සම්මානය දිනා ගන්නා ඔහු 2011 වසරේ දී බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වාසනාව හිමිකර ගන්නා ලදී. 

2013 වසරේ වයස 23න් පහළ ලෝක ශූරතාවයේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමත් සමඟ ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සමත් වූ ලුකරෙලි එම වසරේ දී ම ලෝක වොලිබෝල් ලීග් තරගාවලියේ දී සුපිරි ප්‍රහාරක ඉවාන් සයිට්සෙව් සමඟ දක්ෂතම පිටත ප්‍රහාරකයා සම්මානයට සම හිමිකම් කියන්නට සමත් විය. ඒ වන විට ඔහු වයස අවුරුදු 21ක් තරම් ලාබාල වියේ පසු විය.

2014 වසර වන විට බ්‍රසීල කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු බවට පත්ව සිටි ලුකරෙලි එම වසරේ දී ලෝක ලීග් තරගාවලිය හා ලෝක ශූරතා තරගාවලිය යන තරගාවලි ද්විත්වයෙහිම අනුශූරතාවයන් ජයග්‍රහණය කිරීමට සමත් විය. එම තරගාවලි දෙකෙහිම දක්ෂතම පිටත ප්‍රහාරකයා සම්මානය දිනා ගැනීමට ඔහු සමත් වුනේ ලෝක වොලිබෝල් පිටියේ ප්‍රබලතම ප්‍රහාරකයන් කිහිප දෙනා අතරට තමාගේ නමත් එක් කරවමිනි. 

ඉන්පසුව 2015 වසරේ දකුණු ඇමරිකානු තරගාවලියේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ද බ්‍රසීල කණ්ඩායම සමත් වූ අතර 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල සඳහා තමන් හොඳින් සූදානම් බව ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.

නමුත් ඔලිම්පික් තරගාවලියට පෙර 2016 ජුනි මාසයේ පෝලන්තයේ පැවති ලෝක වොලිබෝල් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය තරග වට 3-0ක් ලෙස සර්බියාව හමුවේ පරාජය වීමත් සමඟ ලුකරෙලි හා බ්‍රසීල කණ්ඩායම ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් තබා තිබූ රන් පදක්කම් බලාපොරොත්තුව මදක් සසල වී ගියේය. 

එසේ නමුත් ඉන් මසකට පසුව පැවැත්වූ ඔලිම්පික් උළෙලේ වොලිබෝල් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට බ්‍රසීලය සමත් වූ අතර එහි දී ඔලිම්පික් උළෙලේ දක්ෂතම පිටත ප්‍රහාරකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ලුකරෙලි සමත් විය.

පසුව 2017 වසරේ දී  FIVB ලෝක ලීගය, දකුණු ඇමරිකානු ශූරතාවය හා FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය යන තරගාවලි ත්‍රිත්වයෙහිම ශූරතාවයන් ජයග්‍රහණය කරන්නට ලුකරෙලිගේ සාමාජිකත්වයෙන් යුත් බ්‍රසීල කණ්ඩායම සමත් විය. 

සම්ප්‍රදාය තුට්ටුවකට මායිම් නොකරන හැඩකාරයා – Earvin N’Gapeth

එහි දී FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය හා දකුණු ඇමරිකානු ශූරතාවය යන තරගාවලි දෙකෙහිම දක්ෂතම පිටත ප්‍රහාරකයා සම්මානයෙන් පිදුම් ලද ලුකරෙලි 2017 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් විය.

2018 වසරේ නොවැම්බරයේදී ඔහුගේ වළලුකර ආබාධයකට ලක්වූ අතර එහි දී ශල්‍යකර්මයකට මුහුණ දීමට ලුකරෙලි හට සිදු විය.

මේ නිසා 2019 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට තිබූ ලෝක ශූරතා තරගාවලියට ඔහු සහභාගී වීම අවිනිශ්චිත වුවත් අවසානයේ එම තරගාවලියට සහභාගී වෙමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ලුකරෙලි සමත් විය.

තම වෘත්තීය ක්‍රීඩා සමාජ තරග දිවිය ආරම්භ කළ 2010 වසරේ සිට ලුකරෙලි ක්‍රීඩා කළේ බ්‍රසීල ක්‍රීඩා සමාජ කණ්ඩායම් නියෝජනය කරමිනි. නමුත් 2020 වසරේ දී එම රටාව වෙනස් කරමින් ඉතාලි වොලිබෝල් ක්‍රීඩා සමාජයක් වන Trentino Volley කණ්ඩායම හා එක්වීමට ලුකරෙලි තීරණය කළේය.

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණක්‍රීඩා සමාජ තරග

  • 2018/2019 බ්‍රසීලියානු සුපර්ලිගාරන් පදක්කම Funvic Taubaté – Brazil සමඟ
  • දකුණු ඇමරිකානු ක්‍රීඩා සමාජ ශූරතාවය
    • 2013 රිදී පදක්කම – Minas Tênis Clube – Brazil සමඟ
    • 2016 රිදී පදක්කම – Funvic Taubaté – Brazil සමඟ
    • 2020 ලෝකඩ පදක්කම – Funvic Taubaté – Brazil සමඟ

කණ්ඩායම් ජයග්‍රහණබ්‍රසීල ජාතික කණ්ඩායම සමඟ 

  • 2013 FIVB ලෝක ලීගය – රිදී පදක්කම
  • 2013 දකුණු ඇමරිකානු ශූරතාවය – රන් පදක්කම
  • 2013 FIVB U23 ලෝක ශූරතාවය – රන් පදක්කම
  • 2013 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – රන් පදක්කම
  • 2014 FIVB ලෝක ලීගය – රිදී පදක්කම
  • 2014 FIVB ලෝක ශූරතාවය – රිදී පදක්කම
  • 2015 දකුණු ඇමරිකානු ශූරතාවය – රන් පදක්කම
  • 2016 FIVB ලෝක ලීගය – රිදී පදක්කම
  • 2016 ඔලිම්පික් ක්‍රීඩා – රන් පදක්කම
  • 2017 FIVB ලෝක ලීගය – රිදී පදක්කම
  • 2017 දකුණු ඇමරිකානු ශූරතාවය – රන් පදක්කම
  • 2017 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – රන් පදක්කම
  • 2019 FIVB ලෝක කුසලානය – රන් පදක්කම

තනි ජයග්‍රහණ

  • 2009 FIVB යෞවන ලෝක ශූරතාවයහොඳම පන්දු ලබාගන්නා
  • 2013 දකුණු ඇමරිකානු ක්රීඩා සමාජ ශූරතාවයහොඳම පන්දු පිරිනමන්නා
  • 2013 FIVB U23 ලෝක ශූරතාවයවටිනාම ක්රීඩකයා 
  • 2013 FIVB ලෝක ලීගයහොඳම පිටත ප්රහාරකයා
  • 2013 දකුණු ඇමරිකානු ශූරතාවයහොඳම පිටත ප්රහාරකයා
  • 2014 FIVB ලෝක ලීගයහොඳම පිටත ප්රහාරකයා
  • 2014 FIVB ලෝක ශූරතාවයහොඳම පිටත ප්රහාරකයා
  • 2016 දකුණු ඇමරිකානු සමාජ ශූරතාවයහොඳම පිටත ප්රහාරකයා
  • 2016 ඔලිම්පික් ක්රීඩාහොඳම පිටත ප්රහාරකයා
  • 2017 FIVB ලෝක ලීගයහොඳම පිටත ප්රහාරකයා
  • 2017 දකුණු ඇමරිකානු ශූරතාවයහොඳම පිටත ප්රහාරකයා
  • 2017 FIVB ලෝක ග්රෑන්ඩ් චැම්පියන්ස් කුසලානයහොඳම පිටත ප්රහාරකයා
  • 2017 FIVB ලෝක ග්රෑන්ඩ් චැම්පියන්ස් කුසලානයවටිනාම ක්රීඩකයා 
  • 2019 බ්රසීලියානු සුපර්ලිගාවටිනාම ක්රීඩකයා
  • 2019 බ්රසීලියානු සුපර්ලිගාහොඳම පිටත ප්රහාරකයා

Image credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<