යම් ක්‍රීඩකයෙකුට වයස අවුරුදු 14 තරම් යොවුන් අවධියේ දී ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමට වරම් දිනා ගත හැකි නම් ඔහු සැබැවින්ම අතිවිශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙසින් සැලකීමේ වරදක් නැත. විල්ෆ්‍රෙඩෝ ලියොන් වෙනෙරෝ 2008 මැයි 24 වැනි දින පළමු වරට කියුබානු ජාතික කණ්ඩායම නියෝජනය කරන විට ඔහු වයස අවුරුදු 14යි මාස 10ක තරම් දැළි රැවුල හෝ හරි හැටි නොවැඩුන කොලු ගැටයෙකි.
ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ 13 වැනි ලිපිය වෙන් වන්නේ මේ සුවිශේෂී ක්‍රීඩකයා වෙනුවෙන් ය.
ලොව අංක එකේ පන්දු ඔසවන්නා – මීකා ක්‍රිස්ටෙන්සන්
- නම – විල්ෆ්‍රෙඩෝ ලියොන් වෙනෙරෝ (Wilfredo León Venero)
- අන්වර්ථ නාමය – ලියෝ (Leo), වොලිබෝල් ක්‍රීඩාවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo of volleyball ), ලයන් කිං (Lion King)
- උපත – 31/07/1993
- උස – 201 cm (6 ft 7 in)
- බර – 85 kg (187 lbs)
- ක්‍රීඩා කරන ස්ථානය – පිටත ප්‍රහාරක (Outside Hitter)
- කමිස අංකය – අංක 9
- ප්‍රහාරක උස – 146 in (370 cm)
- ආවරණ උස –136 in (346 cm)
- නියෝජනය කළ රට – 2007-2012 කියුබාව / 2019 න් පසු – පෝලන්තය
- වෙනත් කණ්ඩායම් –
2005–2010 Capitalinos (Cuba)
2010–2013 Orientales de Santiago (Cuba)
2014–2018 Zenit Kazan (Russia)
2015-2016 Al Rayyan (Qatar)
2018– Sir Sicoma Conad Perugia (Italy)
2007 වසරේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනා ගැනීමෙන් අනතුරුව ක්‍රමයෙන් ජාත්‍යන්තර අත්දැකීම්වලින් පරිපූර්ණ වෙමින් තම ක්‍රීඩාව ඉදිරියට රැගෙන ගිය ලියොන්, 2009 වසර වන විට ජාත්‍යන්තර පිටියේ ප්‍රබලතම ක්‍රීඩකයන් කිහිප දෙනා අතරට එක්වීමට සමත් විය. ඔහු කියුබානු වොලිබෝල් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක් ලෙසින් සැලකෙන 2009 – 2011 කාලසීමාව තුල කියුබානු ජාතික බොලිබෝල් කණ්ඩායමේ සිටි ප්‍රබලතම ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකි.
එම වකවානුවේ දී සුපිරි කියුබානු වොලිබෝල් තරු දෙකක් වන යොන්ඩි ලීල් හා රොබට්ලන්ඩි සයිමන් සමඟ එක්ව කියුබාවේ වොලිබෝල් ක්‍රීඩාව ඉහළම තලයකට ඔසවා තැබීමට ලියෝන් සමත් විය. ඔවුන් තිදෙනාගෙන් සමන්විත කියුබානු කණ්ඩායම එම වකවානුවේ දී හඳුන්වනු ලැබුවේ “ආශ්චර්යයේ පරම්පරාව” ලෙසිනි.
බොහෝ ප්‍රේක්ෂකයන් ලියෝන් හඳුන්වන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෙසයි. විචාරකයන්ට අනුව ලියෝන් වැනි ක්‍රීඩකයෙක් පහළ වන්නේ ඉතා කලාතුරකිනි. ඔහුට සම කළ හැකි වෙනත් ක්‍රීඩකයෙකු වොලිබෝල් ක්‍රීඩාවේ නොමැති බව සඳහන් කරන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ ලියෝන් ක්‍රීඩා කරන ශෛලිය ඔහුටම ආවේණික හා වෙනත් අයෙකුට අනුකරණය කළ නොහැකි එකක් බවය.
ඔහුගේ ප්‍රහාරක ඉපිලීම හා ප්‍රහාරක රිද්මය වොලිබෝල් ක්‍රීඩාවේ සාමාන්‍යයෙන් පිළිගැනෙන තාක්ෂණයට පටහැනි වූ එකකි. එය පුහුණුකරුවන් විසින් උගන්වන ආකාරයේ තාක්ෂණයක් නොවේ. නමුත් එය අතිශයින් ඵලදායී එකකි. බොහෝ වොලිබෝල් ක්‍රීඩකයන් ප්‍රහාර එල්ල කරන්නේ ඉදිරි හස්ත ක්‍රමයට (Front Arm Attack / Overhead Attack) වුවද ලියොන් බොහෝ විට ප්‍රහාර එල්ල කරන්නේ පැති හස්ත ක්‍රමයටයි (Side Arm Attack).
ඔහුගේ මෙම අසාමාන්‍ය තාක්ෂණය නිසාම ඔහුගේ පහරවල් ආවරණය කිරීම ප්‍රතිවාදීන්ට ඉතා අපහසු කාරණයකි. පැති හස්ත ප්‍රහාර එල්ල කිරීමේ ඇති සුවිශේෂී වාසියක් වන්නේ එම පහරවල් වල ඇති ජවය ඉදිරි හස්ත ක්‍රමයට එල්ල කරන පහරවල් වලට වඩා වැඩි වීමයි. මේ නිසාම ලියොන් එල්ල කරන පහරවල් පන්දු ගොඩගන්නෙකු වෙතම ඇදී ගියත් ඒවා සාර්ථකව ගොඩගැනීම තරමක් අපහසුය.
එසේම ඔහු පිටත ප්‍රහාරකයෙකු ලෙසින් ක්‍රීඩා කරන බැවින් පැති හස්ත ක්‍රමය නිසා දැල අසල ප්‍රහාර එල්ල කිරීමේ දී ඔහුට වැඩි ආනතියක් සහිත කෝණවලින් පහර එල්ල කිරීමට හැකියාව ලැබෙයි. මේ නිසාම ඔහුට ආවරණ මඟහරවා ප්‍රහාර එල්ල කිරීමට වැඩි අවස්ථාවක් හිමි වේ.
පිටිය තුළ දී ලියොන් එතරම් ක්‍රියාශීලී අයුරින් දුව පැන යන්නෙකු නොවේ. විටෙක ක්‍රීඩා පිටිය තුළ කම්මැලියෙකු ලෙසින් හැසිරෙන ඔහු කිසිවෙකුත් නොසිතන මොහොතක එක්වරම විශාල පහරක් එල්ල කරමින් ප්‍රතිවාදීන් මවිත කිරීමට දක්ෂය.
ඔහුගේ ක්‍රීඩාවේ ඇති තවත් ප්‍රබල අවියක් වන්නේ පන්දු ආවරණය කිරීමේ හැකියාවයි.
විල්ෆ්‍රෙඩෝ ලියොන් වෙනෙරෝ උපත ලැබුවේ 1993 ජූලි 31 වැනි දින කියුබාවේ සන්තියාගෝ ඩි කියුබා හිදී ය. ඔහු විල්ෆ්‍රෙඩෝ ලියොන් හෙචවර්රියා සහ ඇලිනා වෙනෙරෝ බොසාගේ පුත්‍රයාය. ඔහුගේ මව හිටපු වොලිබෝල් ක්‍රීඩිකාවකි. ඔහු අධ්‍යාපනය ලැබුවේ කියුබාවේ ක්‍රීඩා පාසලක් වන එස්කුවෙලා නැෂනල් ඩෙල් වොලිබෝල් කියුබානෝ හි ය.
පසු කාලීනව ලියොන් සිය පෝලන්ත පෙම්වතිය මාගෝර්සාටා සමඟ කලක් පෝලන්තයේ ජීවත් විය. 2016 ජුනි 24 වැනි දින ඔහු ඇය සමඟ විවාහ විය. 2017 මැයි 13 වැනි දින ඔවුන්ගේ දියණිය නටාලියා උපත ලැබීය.
බොහෝ ප්‍රේක්ෂකයන් ලියොන්ව හඳුන්වන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෙසිනි.
වෘත්තීය දිවිය
වයස අවුරුදු නවය පමණ වන විට ලියොන් දේශීය තරගාවලි සඳහා ක්‍රීඩා කළ අතර පසුව ඔහුට වයස අවුරුදු 11 දී පළමු වරට විදේශ තරගාවලියක් සඳහා කියුබාව නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය. ඒ 2005 වසරේ වෙනිසියුලාවේ දී. එම තරගාවලිය ජය ගැනීමට ඔවුන් ජයග්‍රහණය කරන ලද අතර එහි දී හොඳින් ක්‍රීඩා කරමින් අනෙකුත් ක්‍රීඩකයන් අතර කැපී පෙනීමට ඔහුට හැකියාව ලැබුණි.
සම්ප්‍රදාය තුට්ටුවකට මායිම් නොකරන හැඩකාරයා – Earvin N’Gapeth
පසුව කියුබාව තුළ විවිධ වයස් කාණ්ඩවල දී අඛණ්ඩව ජාතික තරගාවලි හයක් ජය ගැනීමට ඔහුට හැකි වූ අතර, එමඟින් කියුබානු කනිෂ්ඨ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ අවධානයට ලක්වීමට ඔහුට අවස්ථාව ලැබුණි. ඒ අනුව කියුබාවේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිවහන වන හවානාහි පිහිටි ජාතික ක්‍රීඩා මධ්‍යස්ථානයේ පුහුණුවීමට ඔහුට අවස්ථාව හිමි විය.
ඒ අනුව කණිෂ්ඨ කණ්ඩායම සමඟින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ලියොන් හට 2007 වසරේ දී කියුබානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමි විය. පසුව 16 හැවිරිදි ක්‍රීඩකයෙකු ලෙසින් ඔහු 2009 ලෝක ලීග් තරගාවලියේ දී හොඳම පන්දු පිරිනමන්නා යන සම්මානය දිනා ගැනීමට සමත් විය.
ඉන් පසුව 2009 ජූලි 31 වැනි දින ඔහු කියුබානු වයස 21න් පහල කණ්ඩායම නියෝජනය කරමින් වයස 21න් පහළ ලෝක ශූරතාවලියේ රිදී පදක්කමක් දිනා ගත්තේය. එහි දී ඔවුන්ට බ්‍රසීලයට එරෙහි අවසන් තරගයෙන් පරාජයට පත්වීමට සිදු විය.
2009 දී කියුබානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලියොන් නොර්සෙකා ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි දී තරගාවලිය තුළ වටිනාම ක්‍රීඩකයා, දක්ෂතම ප්‍රහාරකයා හා නැගී එන තරුව ලෙසින් තනි පුද්ගල සම්මාන තුනක්ම දිනා ගැනීමට ඔහු සමත් විය. පසුව ඔවුන් 2011 වසරේ දී මෙම නොර්සෙකා ශූරතාවය නැවතත් ජයග්‍රහණය කළ අතර එහි දී ලියොන් දක්ෂතම ප්‍රහාරකයා හා හොඳම ලකුණු රැස් කරන්නා යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීය.
එයින් අනතුරුව ලියොන් කියුබාව සමඟින් 2010 ලෝක ශූරතාවලියට සහභාගී වූ අතර එහි දී බ්‍රසීලයට එරෙහි අවසන් තරගයෙන් පරාජයට පත්වීමෙන් පසු තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. අනතුරුව 2010 වසරේ ඔහුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී සටහනක් තබමින් වයස අවුරුදු 17ක් පමණක් වන විට කියුබානු ජාතික කණ්ඩායමේ ළාබාලම නායකයා බවට පත් වන්නට ඔහුට වරම් හිමි විය.
ඉන් පසුව 2012 වසරේ දී ඔහුගේ නායකත්වයෙන් යුත් කියුබානු කණ්ඩායම ලෝක ලීග් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
නමුත් 2013 වසරේ දී ඔහු ආන්දෝලනාත්මක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් කියුබානු ජාතික කණ්ඩායමෙන් ඉවත්ව තම සහෝදර ක්‍රීඩක යොන්ඩ්‍රි ඩියාස් හා එක්ව කියුබාවෙන් පිටත් වී රුසියාව බලා නික්ම ගියේ ලොව ප්‍රබලතම වොලිබෝල් ක්‍රීඩා සමාජ කණ්ඩායමක් වන රුසියාවේ සෙනිත් කසාන් කණ්ඩායම හා එක්වීමේ අරමුණෙන් යුතුවය. මේ නිසා ලියොන් හට කියුබානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.
පසුකාලීනව ලියොන් පෝලන්ත ජාතික තරුණියක් හා පෙම් සබඳතාවයක් ඇරඹීම නිසා ඔහු කලක් පෝලන්තයේ ජීවත් විය. පසුව 2015 ජූලි 14 වැනි දින ඔහුට පෝලන්ත පුරවැසිභාවය ලැබුණු අතර එසේ පුරවැසි භාවය ලබා ගැනීමෙන් පසුව පෝලන්ත ජාතික වොලිබෝල් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඔහු තුළ ඇති කැමැත්ත ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.
උස පන්දු ප්‍රහාරයේ යැන්කි සලකුණ – ක්ලේටන් ස්ටැන්ලි
2019 ජූලි 24 වැනි දින ඔහු පෝලන්ත ජාතික වොලිබෝල් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පූර්ණ සුදුසුකම් ලැබීය. වර්තමානයේ ඔහු ක්‍රීඩා කරන්නේ පෝලන්ත ජාතික වොලිබෝල් කණ්ඩායම වෙනුවෙනි. ඒ අනුව ඔහු රටවල් දෙකක් වෙනුවෙන් ජාත්‍යන්තර වොලිබෝල් පිටිය නියෝජනය කිරීමට සමත් වූ ක්‍රීඩකයෙකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
සුවිශේෂී ජයග්‍රහණ
කණ්ඩායම් ජයග්‍රහණ – ක්‍රීඩා සමාජ තරග
CEV චැම්පියන්ස් ලීගය
- 2014/2015 – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2015/2016 – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2016/2017 – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2017/2018 – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය
- 2015 – රිදී පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2016 – රිදී පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2017 – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
ජාතික ශූරතා
- 2008/2009 කියුබානු ශූරතාවලිය – රන් පදක්කම (කැපිටල්නෝස් සමඟ)
- 2009/2010 කියුබානු ශූරතාවලිය – රන් පදක්කම (කැපිටල්නෝස් සමඟ)
- 2010/2011 කියුබානු ශූරතාවලිය – රන් පදක්කම (ඔරියන්ටල්ස් ඩි සන්තියාගෝ සමඟ)
- 2014/2015 රුසියානු කුසලානය – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2014/2015 රුසියානු ශූරතාවය – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2015/2016 රුසියානු සුපර් කප් – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2015/2016 රුසියානු කුසලානය – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2015/2016 රුසියානු ශූරතාව – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2016/2017 රුසියානු සුපර් කප් – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2016/2017 රුසියානු කුසලානය – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2016/2017 රුසියානු ශූරතාව – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2017/2018 රුසියානු සුපර් කප් – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2017/2018 රුසියානු කුසලානය – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
- 2017/2018 රුසියානු ශූරතාවය – රන් පදක්කම (සෙනිත් කසාන් සමඟ)
කණ්ඩායම් ජයග්‍රහණ – කියුබානු ජාතික කණ්ඩායම සමඟ
- 2009 FIVB ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය – රිදී පදක්කම
- 2009 නෝර්සෙකා ශූරතාවය – රන් පදක්කම
- 2010 FIVB ලෝක ශූරතාවය – රිදී පදක්කම
- 2011 නෝර්සෙකා ශූරතාවය – රන් පදක්කම
- 2011 පෑන් ඇමරිකානු ක්‍රීඩා – රිදී පදක්කම
- 2012 FIVB ලෝක ලීගය – ලෝකඩ පදක්කම
කණ්ඩායම් ජයග්‍රහණ – පෝලන්ත ජාතික කණ්ඩායම සමඟ
- 2019 CEV යුරෝපීය ශූරතාවය – ලෝකඩ පදක්කම
- 2019 FIVB ලෝක කුසලානය – රිදී පදක්කම
තනි ජයග්‍රහණ
- 2009 FIVB ලෝක ලීගය – හොඳම පන්දු පිරිනමන්නා
- 2009 නෝර්සෙකා ශූරතාවය – හොඳම ප්‍රහාරකයා
- 2009 නෝර්සෙකා ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
- 2011 පෑන් ඇමරිකානු ක්‍රීඩා – වටිනාම ක්‍රීඩකයා
- 2011 නෝර්සෙකා ශූරතාවය – හොඳම ප්‍රහාරකයා
- 2011 නෝර්සෙකා ශූරතාවය – හොඳම ලකුණු ලාභියා
- 2014 රුසියානු තරු කණ්ඩායමේ සාමාජිකයා
- 2015 CEV චැම්පියන්ස් ලීගය – හොඳම පිටත ප්‍රහාරකයා
- 2015 CEV චැම්පියන්ස් ලීගය – වටිනාම ක්‍රීඩකයා
- 2015 ඇන්ඩ්‍රි කුස්නෙට්සොව් සම්මානලාභියා
- 2015 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – හොඳම පිටත ප්‍රහාරකයා
- 2016 CEV චැම්පියන්ස් ලීගය – හොඳම පිටත ප්‍රහාරකයා
- 2016 CEV චැම්පියන්ස් ලීගය – වටිනාම ක්‍රීඩකයා
- 2016 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – හොඳම පිටත ප්‍රහාරකයා
- 2017 CEV චැම්පියන්ස් ලීගය – හොඳම පිටත ප්‍රහාරකයා
- 2017 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – හොඳම පිටත ප්‍රහාරකයා
- 2018 CEV චැම්පියන්ස් ලීගය – හොඳම පිටත ප්‍රහාරකයා
- 2019 CEV යුරෝපීය ශූරතාවය – හොඳම පිටත ප්‍රහාරකයා
Image credits: Getty Images
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<