යූත් ලීගයේ ශූරතාවය මහනුවරට

වයස අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 2023

330
වයස අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන 2023 වයස අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (6) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

මහනුවර සහ කොළඹ උතුර අතර පැවති එම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගත් මහනුවර කණ්ඩායම මෙහි ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක දිනා ගත් මහනුවර සහ කොළඹ උතුර කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර නායක රහල් අමරසිංහ පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 177ක් පමණයි.

>>Photos – Kandy vs Colombo North – U19 Sri Lanka Youth League 2023 | Final<<

මහනුවර පන්දු යැවීම හමුවේ කොළඹ උතුර කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 29ක් තුල දවාගෙන ඔවුන්ට ප්‍රබල අභියෝගයක් ලබා දීමට තේනුක ඒකනායක සහ අබ්දුල් හකීම් යන වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

අනතුරුව අංක 6 පිතිකරු ලෙස පිටියට පැමිණි ශාරුජන් ශන්මුගනාදන් 4 පහර 5ක් එල්ල කරමින් පන්දු 120ක් තුල ලකුණු 76ක් ලබා ගත්තේ කොළඹ උතුර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්.

රශ්මික හිරුශාන් ලකුණු 30යි. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ කණ්ඩායමේ හොඳම සබඳතාවය ගොඩනැංවූවා.

පන්දු යැවීමේ දී කොළඹ උතුර කණ්ඩායමට විශාල පීඩනයක් වුනු අබ්දුල් හකීම් සහ තේනුක ඒකනායක කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දක්වන විට, කවීෂ පියුමාල් සහ දිනුක තෙන්නකෝන් කඩුලු 2ක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 178ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරාවට සාර්ථක වුනු පුලිඳු පෙරේරා හට තීරණාත්මක අවසන් මහා තරගය තුල සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නායක රහල් අමරසිංහ සහ සුපුන් වඩුගේ ලකුණු 91ක සබඳතාවයක් ගොඩනංවමින් සෙමින් සීරුවේ ඔවුන්ගේ ජයග්‍රහණයට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා.

4 පහර 7ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් පන්දු 52ක් තුල වේගවත් ලකුණු 70ක් ලබා ගත් අමරසිංහ නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් දස්කම් දක්වන විට, වඩුගේ පන්දු 40ක් තුල ලකුණු 31ක් ලබා ගත්තා.

අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි කවිජ ගමගේ 4 පහර 8ක් සහ 6 පහරක් එල්ල කරමින් නොදැවී අගනා ලකුණු 49*ක් ලබා ගත් නමුත්, ඔහුට සිය අර්ධ ශතකය ලබා ගැනීමට හැකි වුනේ නැහැ. පන්දු යැවීමේ දී කොළඹ උතුර නායක වේගපන්දු යවන ක්‍රීඩක දුවිඳු රණතුංග කඩුලු 2ක් දවා ගත්තා.

අවසානයේ දී මහනුවර කණ්ඩායම පන්දුවාර 35කුත් පන්දු 5ක් පමණක් වැය කරමින් කඩුලු 4ක් පමණක් දැවී සිය නියමිත ඉලක්කය පසුකර ගියා.

  • කොළඹ උතුර – 177 (48.1):ශාරුජන් ශන්මුගනාදන් 76, රශ්මික හිරුශාන් 30, තේනුක ඒකනායක 3/27, අබ්දුල් හකීම් 3/39
  • මහනුවර – 178/4 (35.5):රහල් අමරසිංහ 70, කවිජ ගමගේ 49*, දුවිඳු රණතුංග 2/36

මහනුවරට කඩුලු 6ක ජයක්

  • අවසන් මහා තරගයේ වීරයා – රහල් අමරසිංහ (මහනුවර)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – පුලිඳු පෙරේරා (මහනුවර)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – යූරි කොත්තිගොඩ (ගාල්ල)
  • තරගාවලියේ වීරයා – විශේන් හැලඹගේ (කොළඹ දකුණ) / මල්ෂ තරුපති (ගාල්ල)

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<