“Bazball වලට අලුත් නමක් තියෙනවා” – මැක්ග්‍රා

2407
Courtesy – Getty images

මාර සතියක්. 

ජොනී බෙර්ස්ටෝව්ගේ විවාදාත්මක දැවීයාම මගේ කැමතිම දැවී යාම නොවෙයි කියමින් මට කතාව පටන් ගන්න ඕන. 

ඒ ගැන මම ගොඩක් හිතමින් හිටියා. හැම ප්‍රතිචාරයක් ගැනම කියවමින්. ඒක මාව දෙගිඩියාවකට පත් කළා. 

මුලින්ම, ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඒ ඉල්ලීම ඉල්ලා අස්කරගත්තා නම් මම කැමතියි. අතරමං වුණු ඉංග්‍රීසිකාරයෙක් වගේ සීමා ඉරෙන් එළියේ හිටපු ජොනී බෙර්ස්ටෝව්, ඇලෙක්ස් කේරි විසින් ස්ටම්ප් කළාට පස්සේ. 

ඒත් ඒ ගැන වැඩිපුර හිතනකොට තමයි මට වැඩිපුර හිතෙන්නේ, කමින්ස්ගේ තීරණය හරි තීරණය කියලා. මම හිතන්නේ ඒක එංගලන්ත මානසිකත්වයේ ගැඹුරේ තියෙන යම්කිසි සලකුණක්. 

හිටපු ක්‍රීඩකයන් එක්ක කතා කරද්දී, එංගලන්ත වේවා ඕස්ට්‍රේලියානු වේවා, කාටවත් ඒ ගැන ප්‍රශ්නයක් තිබුනේ නැහැ. බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තය බ්‍රයන් ලාරා පවා කිව්වේ ඒක දැවී යාමක් කියලා.

ජොනී බෙර්ස්ටෝව්, පන්දුව සජීවී මොහොතේ සීමා ඉරෙන් එපිටට ඇවිද ගිය අවස්ථාව  (Courtesy – Channel 9 )

දැන් මම බාස්බෝල් (Bazball) වල රසිකයෙක්. තමන්ව විශ්වාස කරන එක ගැන තිබෙන සංකල්පය, නිර්භීතව ක්‍රීඩා කිරීම සහ පීඩනය නැවත ප්‍රතිවාදීන් වෙත පැටවීම – මම ඒකත් එක්ක හදවතින්ම එකඟ වෙනවා. 

ඒත් බෙර්ස්ටෝව්ගේ දැවී යාමෙන් ගම්‍ය වෙන්නේ, අපි මේ තරගාවලියේ දී එංගලන්තයෙන් දකින දේ. 

ඒක සැහැල්ලුවීමක්. කැස්බෝල් (Cazball) කියන්නත් පුළුවන්, බාස්බෝල් නෙමෙයි. 

ඔබ ආපහු ලෝඩ්ස් වල තිබුණු ටෙස්ට් තරගයට ගියොත්, එංගලන්තය සැහැල්ලු වැඩියි. 

වර්ෂාවෙන් බාධා ආවට පස්සේ, ඕස්ට්‍රේලියානු පිතිකරුවන් නැවත ක්‍රීඩාංගනයට එන්න දැඩි උනන්දුවකින් හිටියා. විනිසුරුවන් ක්‍රීඩාංගණයට ආවා. ඒත් තත්වයන් සම්පූර්ණයෙන්ම තමන්ට වාසිදායක වෙලා තිබුණු එකත් නොසලකා, එංගලන්ත ක්‍රීඩකයන්ගෙන් බාගයක් විතර, නායකයාත් ඇතුළුව, හිටියේ බැල්කනියට වෙලා. 

පළමු ටෙස්ට් තරගයේ පළමු දවසෙන්ම ඔවුන් ඉනිම අත් හිටෙව්වා. නැවතත්, සැහැල්ලු වැඩියි. 

ඒ තරගයේ අවසන් හරියේ දී ඔලී රොබින්සන් කියලා තිබුණා ඕස්ට්‍රේලියාවේ අංක 11 පිතිකරුවන් තුන්දෙනෙක් ඉන්නවා කියලා. ඉන් එක්කෙනෙක් නේදන් ලයන්, ඔහු තමයි පිත්තෙන් තරගය දිනවලා දුන්නේ. 

එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රීඩා කරන නිදහස් විලාශයට මම ප්‍රිය කරනවා. ඒත් ඔවුන් ක්‍රීඩා කරපු සමහර පහරවල් ගැන ප්‍රශ්න ඇසිය යුතුයි. 

ක්‍රීඩාගාරයෙන් වගකීම ගන්නවා වෙන්නත් පුළුවන්. ඒත් ඇහෙන ශබ්දය තමයි, “අපි පිතිකරුවන්ට නිදහස දෙනවා, ඒක ඔවුන්ට අයිතියි,” කියන එකයි. 

ඒක ධාවන තරගයක් දුවනවා වගෙයි. 27 වැනියට තරගය අවසන් කරහම යම්කිසි කෙනෙක් ඔබට පදක්කමක් දෙනවා වගෙයි. මේ ක්‍රීඩා කෙරෙන්නේ ටෙස්ට් ක්‍රිකට්. මේ අළුබඳුන! 

මම 2005 තරගාවලිය දක්වා ගියොත්, මට එරෙහිව ක්‍රීඩා කරපු කණ්ඩායම, මයිකල් වෝන්, ඇන්ඩෲ ස්ට්‍රෞස්, කෙවින් පීටර්සන්, ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් සහ අනෙක් අය. 

ඔවුන් හයියයි සහ ඕනෑම වෙලාවක සටනකට සූදානමින් හිටියා. විශ්වාසයෙන් හොඳින් ක්‍රීඩා කරනවා වගේම. 

මේ එංගලන්ත කණ්ඩායමට දීලා තියෙන නිදහස ඔවුන්ට තිබුනා නම්මම කියන්නම්, එජ්බැස්ටන් සහ ලෝඩ්ස් වල දී ඔවුන් 2-0ක් විදියට පසුපසින් නොහිටින්න තිබුණා. 

බෙර්ස්ටෝව්ගේ දැවී යාම, යෝක්ෂයර්කාරයා හරියට ක්‍රීඩාව ඔහුට අයිතියි වගේ සීමා ඉරෙන් එළියට ඇවිද්දහම, ඒ තමයි මේ කණ්ඩායම වපුරලා තියෙන බෝගයේ අස්වැන්න කියලා අපට පේන්නේ. 

ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණයගැන මේ සතියේ දී මම ගොඩක් කියෙව්වා. හ්ම්, ඔබ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආකල්පමය වශයෙනුත් ගරු කළ යුතුයි. ඔබට නිකංම බෑ සීමා ඉරෙන් එළියට ඇවිදගෙන යන්න. 

එංගලන්ත කණ්ඩායමට ඔවුන් ඉන්නේ සටනක බව අවබෝධ වෙන්න, බෙර්ස්ටෝව්ට සිදු වුන දේ වගේ එකක් සිදුවෙන්නම වුන එක ගැන කණගාටුයි. 

ස්ටුවට් බ්‍රෝඩ් පිතිකරණයට එනකොට ඔබ දුටුවා ඔහු සටනකට සූදානම් බව. දින කිහිපයකට පෙර ඔහු ඩේවිඩ් වෝනර්ගේ කර වටේ අත දාගෙන හිටගෙනත් ඉඳලා තිබුණා. 

ප්‍රේක්ෂකයාට වැදුනහම එංගලන්ත ක්‍රීඩකයන් පත්තු වෙනවා. ඒත් මේ වෙනකොටත් ඔවුන් 2-0ක් විදියට ඉන්නේ පිටුපසින්. ඒක හරියට අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා වගෙයි. ඇයි එංගලන්තයට සහ ප්‍රේක්ෂකයන්ට නැගිටින්න බෙර්ස්ටෝව්ට වුනා වගේ දෙයක්ම වෙන්න ඕන වුනේ? 

එංගලන්ත ප්‍රජාවට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් තිබිය යුත්තේ අන්න ඒ ප්‍රශ්නයයි. 

කෝපය විසින් බෙන් ස්ටෝක්ස්ගේ අදහගන්න බැරි ඉනිම වැසී නොයයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔහු ඉක්මණින් වෙනස් වෙලා, හයේ පහරවල් නමයකුත් එක්ක වේගයෙන් ලකුණු 155ක් වාර්තා කරපු එක අදහගන්නත් අමාරුයි. 

විශ්‍රාම ගන්න දවසට, ක්‍රීඩාවේ හිටපු ශ්‍රේෂ්ඨයෙකු හැටියට බෙන් ස්ටෝක්ස් සමුගනීවි. මේ වෙනකොටත් ඔහු ඒ කුලකයට අයත් නොවෙනවා නම්. 

ඇත්ත වශයෙන්ම ලෝඩ්ස් ටෙස්ට් තරගයේ අනෙක් විවාදාත්මක දේ තමයි, සිව්වැනි දිනයේ දී මිචෙල් ස්ටාක් විසින් රැකගත් බෙන් ඩකට්ගේ උඩපන්දුව. 

මම මගේ හැඟීම පැහැදිලිව කිව්වා*. මට කලකිරුණා සහ මම ක්‍රිකට් නීතියට අනුව තීරණය භාරගත්තත්, මගේ මතය නම් වෙනස් වෙලා නැහැ. 

නීතියේ තියෙන විදියට, ‘පන්දුව බිම තැබීමට පෙර, ඔබ චලනය වන ආකාරයේ සම්පූර්ණ පාලනය ඇතිව සිටිය යුතුයි‘. ඒත් පොළොවෙන් එතරම් ඉහළදී රැකගත් උඩපන්දුවක් බිමට අතහැරියාය කියන තීරණය දෙනවා මීට පෙර කවදාවත් මම දැකලා නැහැ. 

ඒ නීතිය තිබිය යුත්තේ පොළොවට ආසන්නයේ දී ලබා ගන්නා උඩපන්දු වලට. පොළොවෙන් ඉහළට පන්දුව ඔසවද්දී, නැත්නම් පාවෙලා ගිහින් රැකගන්නා උඩපන්දුවල දී ඇඟිලි තුඩු අතර පන්දුව හිරවුනහම. 

ඒ ඇරෙන්නට මම එකඟ වෙන්නේ නැහැ. ඒත් මට කණගාටුයි, ස්ටාක්ගේ උඩපන්දුව වගේ එකකට නීතිය නීතියක් තිබිය යුතු නෑ. 

හැමදේකින්ම පස්සේ අපි දන්නවා, මේ සති අග හෙඩින්ලි වල වාතාවරණය ටිකක් දැඩි වෙයි. 

සතුරුකමක් දකින්නට සිදු වෙනවා. ඒත් එය ඉන් එහාට නොයාවි යැයි මම බලාපොරොත්තු වෙනවා. ලෝඩ්ස් වල ලෝන්ග් රූම් එකේ දී සිදු වුනා වගේ**. 

හෙඩින්ලි වෙස්ටර්න් ටෙරස් එක සහ හොලීස් ප්‍රේක්ෂකාගාරය ගැන ගොඩක් කතාබහට ලක්වෙනවා. මම අවංක වෙන්නම්, මම ක්‍රීඩකයෙකුව ඉද්දී එහෙ ගියපු හැම වතාවකම අපි දිනුවා. ඉතින් ඒක ඒ තරම් නරක වුනේ නැහැ.

2005 අළුබඳුන තරගාවලියේ ලෝඩ්ස් හිදී පැවති තරගයේ දී ග්ලෙන් මැක්ග්‍රා විසින් කෙවින් පීටර්සන් හට යැවූ පන්දුවක් (Courtesy – Getty images )

2005 අන්තිම දිනයේ දී කෙවින් පීටර්සන් ශතකයක් වාර්තා කළාට පස්සේ විතරයි එංගලන්ත ප්‍රේක්ෂකයන් අපට තදට ගහන්න ගත්තේ. 

ඒත් මම 2019 දීත් එහෙ ගියා. බෙන් ස්ටෝක්ස් ඒ තරගය තනියෙන් දිනන්න ක්‍රීඩා කරපු පුදුමාකාර ඉනිම ක්‍රීඩා කරද්දී. එදා වාතාවරණය නම් අදහගන්න බෑ. 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඒක හසුරුවාගනීවී. ඒ ගැන විවාදයක් නැහැ. යන කතාවලින් එංගලන්තය හිඩැස් වහගනීවී. ඒත් ඕස්ට්‍රේලියාවටත් ඒ බලපෑම එහෙමම දැනෙන බවත් ඉවතලන්න එපා. 

ඔවුන්ට දැනේවි හැම කොණකින්ම ඔවුන්ට ප්‍රහාර එල්ල වෙන බව, ඒ නිසා ඔවුන් කණ්ඩායමක් හැටියට එකතු වේවි. 

ඇත්ත වශයෙන්ම ඔවුන්ට අවධානයෙන් ඉන්න වේවි, මොකද, එංගලන්තය දැඩිව නැවත පැමිණේවි. මම බලාපොරොත්තු වෙනවා ඇත්තම අළුබඳුන තරගයක්‘. 

තරගාවලියට කලින් මම කිව්වේ හැම තරගයක්ම අවසානය දක්වා ඇදී ගිහින්, ඕස්ට්‍රේලියාව ඒ ඔක්කොම ජයග්‍රහණය කරලා 5-0ක් හැටියට තරගාවලිය ජයගනීවීය කියලා. 

මේ දක්වා බොහොම හොඳයි“. 

– BBC Sports හි මැතිව් හෙන්රි සමඟින් හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැක්ග්‍රා කළ සාකච්ඡාවකින්. 

*එම තීරණය සමඟින් තමන් එකඟ නොවන බව මැක්ග්‍රා මින් පෙර සඳහන් කොට තිබුණා. 

**ලෝඩ්ස් ක්‍රීඩාගාරයට ඇතුල්වන ලෝන්ග් රූම්හිදී ලෝඩ්ස් සාමාජිකයන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් අතර බහින් බස් වීම් සිදු වුනා. සාමාන්‍යයෙන් එය ලෝඩ්ස් ක්‍රීඩාංගණය තුළ දී සිදු නොවන පන්නයේ එකක්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<