එංගලන්තයට අහිමි වූ ලකුණු මැෂිම ස්මිත්!

9771

අපි මේ කතාව කියන්න යන ගැටවරයා අවුරුදු 17-18 වගේ වයසට එද්දී තිබුණේ එයාගේ සම වයසේ දරුවන්ට තියන ප්‍රශ්නවලට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක්. 

ඒ තමයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කරලා කවදාහරි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමේ සිහිනය සැබෑවක් කරගන්නවා ද එහෙමත් නැත්නම් එංගලන්තයේ සරේ ප්‍රාන්තය නියෝජනය කරලා එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගන්නව ද කියලා. 

අද අපේ කතානායක තරුණයාගේ අම්මා ලන්ඩන් නුවර ඉපදිච්ච කාන්තාවක්. ඒ නිසා ඔහුට බ්‍රිතාන්‍ය පුරවැසිභාවයත් තියනවා. 

මේ වෙද්දී මේ ළාබාල ක්‍රීඩකයා වෙනුවෙන් සරේ ප්‍රාන්තයෙන් වසරකට පවුම් 30,000ක් ගෙවන තුන් අවුරුදු කොන්ත්‍රාත්තුවකට පිඹුරුපත් සකස් වෙලා තිබුණේ.  

ඒත් එක්කම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඔහුට කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා. එයින් ඔහුට වසරකට ඕස්ට්‍රේලියානු ඩොලර් 12,000ක් ලැබෙන්න නියමිතයි. 

දැන් මේ තරුණයා දෙලොවක් අතර හිරවෙලා. 

හැබැයි, 

මේ තීරණාත්මක අවස්ථාව වෙද්දී මේ තරුණ ක්‍රීඩකයා තීරණය කරලා ඉවරයි මොන තරම් බාධක ආවත් ඔහු කවදහරි නියෝජනය කරන්න යන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කියලා. 

අද අපේ කතානායකයාගේ නම ස්ටීව් ස්මිත්. මේ කියන්න යන්නේ ඔහුගේ කවුරුත් වැඩිය අහලා නැති අපූරු කතාව. 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න මට ප්‍රධාන විකල්ප දෙකක් තිබුණා. එක්කෝ ඕස්ට්‍රේලියාව එහෙමත් නැත්නම් එංගලන්තය නියෝජනයෙන්. සරේ ප්‍රාන්තයෙන් ලැබුණ කොන්ත්‍රාත්තුව, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ලැබුණ කොන්ත්‍රාත්තුවවට වඩා සිත් ගන්නා සුළුයි. 

නමුත් මම හැදී වැඩුණු, ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගත්ත තැන ඕස්ට්‍රේලියාව. මම තීරණය කරලා තිබුණේ ඕස්ට්‍රේලියාවේ රැඳී ඉන්න ගමන් මගේ ජාත්‍යන්තර ක්‍රිකට් සිහිනය ඕස්ට්‍රේලියානු කණ්ඩායම හරහා සැබෑවක් කරගන්න. 

ඒ වයසේ දී මගේ වයසේ අනෙක් දරුවෝ වැඩිදුර අධ්‍යාපනය වගේ දේවල් ගැන හිතද්දී මට තිබුණේ ඕන් ඔය වගේ ප්‍රශ්න. 

මට එංගලන්තය එක්ක සම්බන්ධතාවයක් හැදෙන හැටිත් පොඩ්ඩක් කියන්න ඕන. 

1980 අවුරුද්දේ අග මගේ තාත්තා රාජකාරි කටයුත්තකට ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලන්ඩන් නුවරට එනවා. ඔහු සුදුසුකම් ලත් රසායනඥයෙක්. තාත්තා වැඩ කරපු සමාගමේ තවත් ශාඛාවක් එංගලන්තයෙත් තිබුණා. තාත්තාට අම්මාව මුණගැහෙන්නේ මේ ගමනේ දී. 

ටික කාලෙකින් තාත්තා ආපහු ඕස්ට්‍රේලියාවට ආවත් ඒ දෙන්නා නිතරම දුරකතනයෙන් සහ ලියුම් වලින් ගනුදෙනු කරලා තිබුණා.  

1981 අවුරුද්දේ මැද අම්මා, තාත්තව මුණ ගැහෙන්නත් එක්කම ඕස්ට්‍රේලියාවට එනවා. අම්මා නැවත එංගලන්තය බලා පිටත් වෙන්න හදන අන්තිම මොහොතේ තමයි තාත්තා විවාහ යෝජනාවක් ගෙනැල්ලා තියෙන්නේ. 

අම්මයි තාත්තායි විවාහ වෙලා තිබුණේ එංගලන්තයේ දී. සති තුනක් විතර එහේ ජීවත් වෙච්ච ඒ දෙන්නා ආපහු ඕස්ට්‍රේලියාවට එනවා. 

කුඩා ස්ටීව් ස්මිත් ගන් ඇන්ඩ් මුවර් පිත්ත අත දරා
කුඩා ස්ටීව් ස්මිත් ගන් ඇන්ඩ් මුවර් පිත්ත අත දරා

අම්මා තවමත් අවුරුද්දකට වතාවක් එංගලන්තයට යනවා නිවාඩුවක් ගත කරන්න. ඒ ආකාරයෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ගමන අම්මාට ඉතාම ලේසි හුරුපුරුදු එකක් බව කියන්න පුළුවන්.

මට වයස අවුරුද්දක් විතර වෙද්දී තාත්තාට නැවත වතාවක් රාජකාරි කටයුත්තකට වෙනත් රටකට යන්න වුනා. මෙවර අපි ගියේ නවසීලන්තයට. අපි එහෙම ගියේ ඕක්ලන්ඩ් නුවරට. එහෙම ගියපු මට සමහර විට නවසීලන්ත ජාතික කණ්ඩායම පවා නියෝජනය කරන්න දුරස්ථ අවස්ථාවක් තිබුණා. 

යන්තම් තේරෙන වයසට එද්දී මට සිඩ්නි නුවරට ඇවිත් මගේ  පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්න සිදු වුනා 

මම මුලින්ම එංගලන්තයට ගියේ අවුරුදු 16 දී. ඒ නිව් සවුත් වේල්ස් සංවර්ධන කණ්ඩායම එක්ක. ෆිල් හියුස් සහ ජැක්සන් බර්ඩ් දෙන්නා මේ කණ්ඩායමේ සාමාජිකයෙක්. අපිත් එක්ක මේ සංචාරය ගියපු සෑම් රොබ්සන් පහුකාලෙක එංගලන්ත කණ්ඩායම නියෝජනය කළා. 

අපි එංගලන්තය පුරා සංචාරය කළා. මට බොහෝම ඉක්මනින් මහා බ්‍රිතාන්‍යයේ ජීවන රටාව අල්ලලා ගියා. මේ සංචාරයේ දී අපි ඕවල් ක්‍රීඩාංගණය නරඹන්නත් ගියා. ඊට අවුරුදු හතකට පස්සේ මම මගේ මුල්ම ටෙස්ට් ශතකය වාර්තා කර ගත්තේ ඕවල් ක්‍රීඩාංගණයේ දී වීම විශේෂත්වයක්. 

මට ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුණේ නැහැ. කොහොමත් ඉගනුමෙන් මම මහා ලොකු දේවල් ලබාගෙන තිබුනෙත් නැහැ. මට ඕන වුනේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට මගේ ගමන ඉක්මන් කරගන්න. 

මම ඒ වෙද්දී සදර්ලන්ඩ් දිස්ත්‍රික් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් හිටියේ. ඒ කාලේ මට මිචෙල් ක්ලේඩන් නම් ක්‍රීඩකයෙක් මුණ ගැහුණා. ඔහු ඕස්ට්‍රේලියාවේ උපදිච්ච කෙනෙක් වුනත්, මහා බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් තිබුණා. ඔහු ඒ වෙද්දී යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් හිටියේ. 

මම ඔහුට මගේ ඇත්ත තත්ත්වය කිව්වා. මම එංගලන්තයේ සංචාරය කළ බවත් එහි ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන විදියට මම ආසා කරන බවත් මම මිච්ට කිව්වා. මට ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන ඉක්මන් කර ගත යුතු බවයි මම ඔහුට කිව්වේ. 

මට ඕනෑ කළේ මිච් හරහා එංගලන්ත ප්‍රාන්ත බලධාරීන් සමඟ සම්බන්ධතා කිහිපයක් ගොඩ නගා ගන්න.  

කිසිම සුදුසුකමක් නැතුව කළින්ම පාසල් ජීවිතයෙන් අයින් වෙනවට මගේ දෙමාපියන්ගේ අකැමැත්තක් තිබුණේ නෑ. නමුත් ඒ වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනිවාර්යයෙන්ම ඉදිරියට යා යුතු බව ඔවුන්ගේ මතය වුනා. 

ක්‍රිකට් වලින් ඉදිරියට යන්න නම් වෙනත් රටවල්වල අවස්ථාවන් විවෘතව තිබෙන බව ද ඔවුන් දැනන් හිටියා. 

2007 වසරේ සෙවනොක්ස් කණ්ඩායම නියෝජනය කරන්නට එංගලන්තයට ආ ස්ටීව් ස්මිත්
2007 වසරේ සෙවනොක්ස් කණ්ඩායම නියෝජනය කරන්නට එංගලන්තයට ආ ස්ටීව් ස්මිත්

වයස අවුරුදු 17 දී මම එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පිටත්ව ආවා. ඒ කෙන්ට් ක්‍රිකට් ලීගයේ සෙවනොක්ස් වයින් වෙනුවෙන් ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට. සෙවනොක්ස් වයින් වෙනුවෙන් මා දැක්වූ දස්කම් නිසා තරග කිහිපයකට කෙන්ට් දෙවැනි පෙළ කණ්ඩායම නියෝජනය කරන්නත් මට අවස්ථාවක් ලැබුණා. නමුත් කෙන්ට් බලධාරීන් ගෙන් ඊට වැඩි යමක් මට නොලැබෙන බවක් පේන්න තිබුණේ.

සරේ කණ්ඩායම මගේ ද්විත්ව පුරවැසිභාවය දැනගෙන හිටියා. ඇලන් බුචර්, ඒ කියන්නේ එංගලන්ත කණ්ඩායම නියෝජනය කරපු මාක් බුචර්ගේ තාත්තා මට කතා කළේ ඒ අවස්ථාවේ දී. ප්‍රතික්ෂේප කළ නොහැකි තරමේ මුදලක් සමඟ තුන් අවුරුදු කොන්ත්‍රාත්තුවක්. දහඅට හැවිරිදි තරුණයෙකු ලෙස ක්ෂණික කම්පනයක් ආ නමුත් එවැන්නක් ප්‍රතික්ෂේප කිරීම මට දැඩි තීරණයක් වුණේ නෑ. 

මේ අතරේ ඕස්ට්‍රේලියානු බලධාරීන් මා ගැන උනන්දුවක් ඇති බවත් මට තේරුණා. ඇත්තටම 2008 වසරේ මලයාසියාවේ තිබූ යොවුන් ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඔවුන් මා තෝරාගෙන තිබුණා. මගේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ගමන ආරම්භය වැටුණේ එතන. 

සරේ කණ්ඩායම සමග ඒ තරම් විශාල ගනුදෙනුවක් ප්‍රතික්ෂේප කිරීම ගැන අදටත් මට අබමල් රේණුවක හෝ පසුතැවීමක් නැහැ. 

ස්ටීව් ස්මිත්, බ්‍රයන් මර්ගට්‍රොයිඩ් සමඟ ලියූ The Journey: My story, from backyard cricket to Australian Captain ග්‍රන්ථය ඇසුරෙනි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<