වාර්තාගත හඹා යෑමක් සමඟින් පාකිස්තානය තුන්කොන් තරගාවලිය ජය ගනී

Pakistan ODI Tri-Series 2026

2
Pakistan ODI Tri-Series 2026

එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයග්‍රහණය කළ සම කණ්ඩායම් අතරට එකතු වූ පාකිස්තානය අද (31) ශ්‍රී ලංකාවට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කරමින් එරට පැවැති තුන්කොන් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. 

Lahore හි Gaddafi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 325ක් ලබා ගන්නවා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම ඉනිමේ තවත් පන්දු 9ක් ඉතිරි ව තිබිය දී කඩුලු 7ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

ඔවුන්ගේ මෙම හඹා යෑමට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ඉන්දියාවටයි. ඒ 2002 වසරේ Lord’s ක්‍රීඩාංගණයේ දී පැවැති ඉන්දියාව සහ එංගලන්තය අතර තරගයේ දී එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 325ක් හඹා යෑමේ දී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී තවත් පන්දු 3ක් පමණක් ඉතිරි ව තිබිය දී ජයග්‍රහණය කරමින් පෑ දක්ෂතාවයි.

>>ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

මෙම තරගයට ශ්‍රී ලංකාව පෙර තරගය හා එක් වූ කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර තිබුණා. ඒ එශාන් මාලිංග වෙනුවට මහීෂ් තීක්ෂණ එක් කර ගනිමිනුයි. පාකිස්තාන කණ්ඩායම ද එක් වූයේ පෙර ශ්‍රී ලංකාව හා සමඟ තරගයට එක් වූ කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කරමිනුයි. ඒ අනුව ඔවුන් මෙම තරගයේ දී  Shadab Khan වෙනුවට Faheem Ashraf එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම

 

කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, පවන් රත්නායක, දසුන් ශානක, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක.

පාකිස්තාන කණ්ඩායම

 

Shaheen Shah Afridi (නායක), Fakhar Zaman, Maaz Sadaqat, Babar Azam, Saad Baig (කඩුලු රකින්නා), Salman Agha, Hasan Nawaz, Arafat Minhas, Faheem Ashraf, Haris Rauf සහ Naseem Shah.

ළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම අදත් සුපුරුදු ලෙසින් ම අවිශ්ක ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් විසින් ආරම්භ කළා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 104ක දී ලකුණු 87ක සබඳතාවක් එක් කරනවා

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

ඉන් අනතුරු ව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 8ක් පමණයි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු  109ක් ව තිබුණා.

ඉන් අනතුරු ව කඩුල්ලේ දී කමිඳු මෙන්ඩිස් හා පවන් රත්නායක එක් ව පන්දු 118ක දී ලකුණු 146ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් බවක් එක් කරනවා. එම කඩුල්ල තුළ දී කමිඳු මෙන්ඩිස් 37ක් වන තම එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මංගල ශතකය ද සහ පවන් රත්නායක තම 14ක් වන එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 2 වැනි අර්ධ ශතකය ද වාර්තා කළා.

කමිඳු මෙන්ඩිස් 3 වැනි කඩුල්ලට දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255ක් ව තිබූ අතර ඔහු පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 131ක් ලබා සිටියා.

පවන් රත්නායක ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව ශ්‍රී ලංකා ඉනිමේ පසු පෙළ පිතිකරුවන්ගෙන් සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ දසුන් ශානක සහ සහන් ආරච්චිගේ පමණයි. දසුන් ශානක පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ද සහ සහන් ආරච්චිගේ පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගත්තා.

අනෙක් පිතිකරුවන් වූ ජනිත් ලියනගේ (6) සහ දුනිත් වෙල්ලාලගේ (3) අඩු ලකුණුවලට සීමා වෙමින් දැවී ගිය අතර ඉනිම අවසන් වෙද්දී මහීෂ් තීක්ෂණ පන්දු 8ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 9ක් ද සහ අසිත ප්‍රනාන්දු පන්දු 5ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 6ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Salman Agha, Shaheen Shah Afridi, Haris Rauf සහ Naseem Shah කඩුලු ද්විත්වය බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 14ක් වෙද්දී දැවී යන්නේ පන්දු 21ක් තුළයි. එම කඩුලු ද්විත්වයේ ම හිමිකාරීත්වය ඩිල්ශාන් මදුශංක සතු වෙනවා.

එම තත්ත්වයෙන් පාකිස්තානය ගලවා ගැනීමට Fakhar Zaman සහ Saad Baig එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 140ක දී ලකුණු 149ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Saad Baig ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියා. එය ඔහුගේ 5ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිමයි.

ඉන් අනතුරු ව පිටියට පිවිසෙන්නේ Salman Agha. ඔහු පිටියට පිවිස Fakhar Zaman හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 41ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ශතකලාභී ආරම්භක පිතිකරු Fakhar Zaman ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඔහු දැවී යන විට පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 127ක් ලබා සිටියා. එය ඔහුගේ 97ක් වන එක්දින ජාත්‍යන්තර තරගවල 12 වැනි ශතකය වූ අතර ඒ සමඟින් ඔහු එක්දින ජාත්‍යන්තර ලකුණු 4000 කඩඉම ද පසු කිරිමට සමත් වෙනවා.

Salman Agha ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 25කට මුහුණ දෙමින් ලකුණු 17ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව පාකිස්තාන ඉනිමට පන්දු 65ක දී ලකුණු 94ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය ආසන්නයට ගෙන ඒමට  Hasan Nawaz සහ Arafat Minhas සමත් වුණා. 6 වැනි කඩුල්ලට එක් වූ ඔවුන් දෙදෙනා ගේ මෙම සබඳතාව නිමා වෙන්නේ Arafat Minhas ගේ දැවී යෑමත් සමගිනුයි. ඔහු දැවී යන පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා. එය ඔහුගේ 8ක් වන එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුණා.

තරගය අවසන් වෙද්දී Hasan Nawaz පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ඩිල්ශාන් මදුශංක ලකුණු 63කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අසිත ප්‍රනාන්දු ලකුණු 72කට කඩුලු 2ක් ද, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාව  – කඩුලු 8ක් දැවී 325 (50.0) අවිශ්ක ප්‍රනාන්දු 38, කමිඳු මෙන්ඩිස් 131, පවන් රත්නායක 77, Shaheen Shah Afridi 2/50, Naseem Shah 2/80, Salman Agha 2/44, Haris Rauf 2/60
  • පාකිස්තානය – කඩුලු 7ක් දැවී 331 (48.3)Fakhar Zaman127, Saad Baig 74, Hasan Nawaz  නොදැවී 37, Arafat Minhas 61, අසිත ප්‍රනාන්දු 2/72, ඩිල්ශාන් මදුශංක 3/63

පාකිස්තාන කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

තරගයේ වීරයා – Fakhar Zaman (පාකිස්තානය)

තරගාවලියේ වීරයා – Arafat Minhas (පාකිස්තානය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<