වැදගත් ජීවගුණය ද, නැත්නම් ජයග්‍රහණය ද ?

The Ashes 2023

1053
The Ashes 2023

2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (02) දිනයේ නිමා වූ අතර මෙතෙක් තරගාවලියේ වඩාත් ම කතාබහකට ලක් වූ දිනය ඊයේ බව හඳුන්වා දිය හැකි.

දෙවැනි තරගයේ පස්වැනි දිනය වූ ඊයේ උදෑසන තරගය ආරම්භ කරන විට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 371ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 114ක් ලබා සිටියා.

ඊයේ දිනයේ එංගලන්තයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 83ක් ලබා සිටි Ben Duckett දැවී ගිය අතර පසුව පිටියට පැමිණි Jonny Bairstow සහ නායක Ben Stokes ඉනිම ගොඩ නැංවීමට උත්සාහ කළා.

නමුත් Cameron Green විසින් දියත් කළ එංගලන්ත ඉනිමේ 52 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව Bairstow පසු කර Alex Carey වෙත ඇදී ගිය අතර, ඒ සමඟම පන්දුවාරය නිමා වී ඇති බවට සලකමින් Bairstow විසින් සිය සීමා ඉරෙන් ඉවත් වුනා. නමුත් එකෙනෙහි ම ක්‍රියාත්මක වූ Carey විසින් පන්දුව කඩුල්ල වෙත යොමු කරමින් Bairstowව දවා ගැනීමකට හසුකර ගැනීමට සමත් වුනා.

අවසානයේ ලකුණු 22ක් පමණක් ලබා සිටි Bairstow හට අවාසනාවන්ත ලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත් ව යාමට සිදු වුනා. Bairstowගේ කඩුල්ල ඕස්ට්‍රේලියාවට ලැබුනත්, එතැනින් පසුව ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ මෙම දවා ගැනීමයි.

මෙහි දී එංගලන්තයට සහය පළ කරන පාර්ශවය විසින් මෙම දවා ගැනීම ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් බව පවසන අතරේ ඕස්ට්‍රේලියාවට සහය පළ කරනා තවත් පිරිසක් එය අතිශය සාමාන්‍ය දැවී යාමක් බව සඳහන් කරනවා.

මෙම දවා ගැනීමෙන් පසුව පිටියට පිවිසි මීළඟ එංගලන්ත පිතිකරු Stuart Broad විසින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ ක්‍රියා කලාපය නිසා තරමක් ආවේගශීලී වී ඇති බවත් පෙනෙන්නට තිබුණා.

“ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 160ක් ක්‍රීඩා කරලා තියෙනවා සහ ඔහු තමන්ගේ  ශරීර භාෂාවෙන් (Body Language) ප්‍රතිවාදීන් සමඟ ගැටුණු පළමු වතාව මෙය නෙවෙයි.

ඔහු පිටියට එන වෙලාවේ තිබුණු තත්වය අනූව ඔහුට එය අවශ්‍ය වුනා. ඔහුට සටනට මැදිහත් වෙන්න අවශ්‍ය වුනා. ඔහු මුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායම  සටන වෙනුවෙන් තෝරා ගත්තා.”

Bairstowගේ දැවී යාමෙන් පසුව පිටියේ තනි වූ Stokes තරගයෙන් අනතුරුව එසේ Broad පිළිබඳ ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම සිදුවීමෙන් අනතුරු ව දිවා ආහාරය සඳහා තරගය නතර කළ පසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිය ක්‍රීඩාගාරය වෙත පිවිසීම සඳහා ගමන් ගනිද්දී ඔවුන්ට එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වුනේ එතරම් හොඳ මට්ටමේ ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

තරගය පැවැත්වුණු ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Long Room ප්‍රදේශයේ දී MCC සාමාජිකයින් වෙතින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරමක් දරුණු වාචික ප්‍රහාර එල්ල වූ බව පෙනෙන්නට තිබුණා. ඒ අතරින් ඕස්ට්‍රේලියාවේ David Warner සහ Usman Khawaja සමඟ ඔවුන් කිහිප දෙනෙකු උණුසුම් වචන හුවමාරුවක යෙදෙන බව ද දකින්නට ලැබුණා.

කෙසේ වෙතත් ඒ සඳහා සහභාගී වූ සාමාජිකයින් තිදෙනෙකුගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කර, එම සිදුවීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බව MCC විසින් පසුව සඳහන් කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඒ වෙනුවෙන් සිය කනගාටුව පල කරනා අතරේ දීයී.

Bairstowගේ කඩුල්ල දැවී යන විට එංගලන්ත ඉනිමේ සටහන් වී තිබුණේ ලකුණු 193ක් පමණයි. නමුත් එතැනින් සිය සටන නතර කිරීමට සූදානම් නොවන බව ඕස්ට්‍රේලියාවට දැනෙන්නට සැලැස්වූ Ben Stokes විසින් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් Broad සමඟ ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

හයේ සහ හතරේ පහර 9ක් සමඟින් ලකුණු 155ක් ලබා ගැනීමට Stokes විසින් සමත් වුනත්, එය ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගය ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

ඒ අනුව දෙවැනි අළුබඳුන තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනේ තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියෙන් පසුවෙමිනුයි.

තරගය කෙසේ නිමා වූවත් Bairstowගේ දැවී යාම පිළිබඳ කතාබහ නම් තවමත් නතර වී නැහැ.

තරගයෙන් අනතුරුව එම සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ එංගලන්ත නායකයා සඳහන් කරන්නේ, Bairstow විසින් සීමා ඉරෙන් පිටතට පැමිණියේ පන්දුවාරය නිමා වූ නිසා බවයි.

නමුත් ඒ මොහොතේ පන්දුවාරය නිමා වූ බවට විනිසුරුවන් විසින් සංඥා කළා ද, නැද්ද යන්න සම්බන්ධයෙන් යම් ගැට‍ලුවක් නිර්මාණය වී තිබෙනවා.

“ඒ ගැට‍ලුව මගේ පැත්තේ තිබුණා නම් මම විනිසුරුවරුන් වෙත වැඩි පීඩනයක් එල්ල කරලා අහනවා ඔවුන් පන්දුවාරය නිමා කළා ද කියලා. ඊට පසුව මට එවැනි දෙයක් කළ යුතු නම් මම ක්‍රීඩාවේ ජීවගුණය ගැන ගැඹුරින් සිතා බලනවා.

ඕස්ට්‍රේලියාවට ඒක තරගයේ ජයග්‍රහණය තීරණය කළ මොහොත. මට ඒ විදිහට තරගයක් ජයග්‍රහණය කරන්න අවශ්‍යයි ද?

ඒ සඳහා මගේ පිළිතුර ‘නැහැ’ කියන එකයි.”

Stokes විසින් එවැනි යමක් තමන් අතින් සිදු නොවන බව පුන පුනා ප්‍රකාශ කළත්, ඕස්ට්‍රේලියානු නායක Pat Cummins නම් එම දවා ගැනීම පිළිබඳ එවන් මතයක් දරන බවක් පෙනෙන්නට නැහැ.

Bairstow විසින් එම පන්දුවාරයේ දී මෙම දවා ගැනීමට පෙර ද කිහිප වතාවක ම මේ අයුරින් සීමා ඉර තරණය කළ බව Carey විසින් නිරීක්ෂණය කර තිබූ බවයි Cummins පවසන්නේ.

“මම හිතන්නේ පන්දු කිහිපයකට පෙරත් එය සිදු වුනු බව Carey දැක්කා. මම හිතුවේ ඒක සම්පූර්ණයෙන්ම සාධාරණ ක්‍රියාවක් කියලයි. එහෙම තමයි නීතියේ තියෙන්නේ. සමහර අය එකඟ නොවෙන්න පුළුවන්. ඒත් මම ඒක දැක්කේ එහෙමයි.”

එමෙන්ම මෙය Jonny Bairstow විසින් ද කඩුලු රකින්නා ලෙස නිතරම සිදු කරනා දෙයක් බවයි Cummins විසින් පවසන්නේ. එම නිසා එය කඩුලු රකින්නකුගේ පාර්ශවයෙන් ගත් කළ ඉතා සාමාන්‍ය දෙයක් බවත් ඔහු සඳහන් කරනවා.

(එම තරගයේ දී ම Jonny Bairstow විසින් Marnus Labuschagne පිතිකරණයේ යෙදෙන අවස්ථාවක මෙවැනි ප්‍රයත්නයක් දැරූ බවට සඳහන් වෙමින් මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් තිබෙනවා.)

මේ අතර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට නවමු මාවතක් විවර කර දුන් පුහුණුකරු Brendon McCullum විසින් ද මෙම දවා ගැනීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කර තිබුණා.

“ඔබට ඒ මොහොතේ දී තීරණයක් ගන්න සිදු වේවී. එම තීරණ ගැනීම එතරම් පහසු නැහැ, සමහර විට ඒවා තරගයට වගේ ම පෞද්ගලික චරිතවලට ද විශාල බලපෑමක් එල්ල කළ හැකි.”

එමෙන්ම එම සිදුවීම කණ්ඩායම් දෙක අතර බැඳීමට යම් බලපෑමක් එල්ල කළ බවත් Macculum විසින් සඳහන් කරනවා.

මට හිතන්න බැහැ අපි ඉක්මනින් බියර් එකක් වත් බොයි ද කියලා. අපේ පැත්තෙන් අපිට තව ටෙස්ට් තරග තුනක් තියෙනවා අළුබඳුන ජයග්‍රහණය කරන්න උත්සාහ ගන්න. එතන තමයි අපේ අවධානය තියෙන්නේ.”

නමුත් Macculum විසින් මීට වසර 17කට පමණ පෙර (2006 දී) ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු ටෙස්ට් තරගයක් අතරතුර ශතකයක් වාර්තා කළ කුමාර් සංගක්කාර වෙත සුබ පැතීමට සීමා ඉරෙන් පිට වූ මුත්තයියා මුරලිදරන්ව දුවද්දී දවා ගත් බව සහ ඊටත් වසරකට පෙර සිම්බාබ්වේ ක්‍රීඩක Chris Mpofuව දවා ගැනීමට ද මෙවන් උත්සාහයක් දැරූ බව ESPN cricinfo වෙබ් අඩවිය මගින් සිහිපත් කරනවා.

කෙසේ වෙතත් Macculum විසින් 2016 වසරේ දී පැවැත්වූ MCC’s Spirit of Cricket Culture දේශනය අතරතුර එම දවා ගැනීම සම්බන්ධයෙන් සංගා සහ මුරලි දෙදෙනාගෙන් ම ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේ එම තමන් ඒ පිළිබඳ පසුතැවිලි වන බව සඳහන් කරමිනුයි.

මේ සිදුවීම සහ එංගලන්තය මෙම තරගය පරාජය වීම නිසා එංගලන්තය මාධ්‍ය මගින් මේ වන විටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැඩි ලෙස විවේචන කරමින් සිටිනවා. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් තවත් අදහස් දක්වනු ඇති බවත් අනුමාන කළ හැකියි.

ඒ පිළිබඳ ව මෙන් ම 2023 අළුබඳුන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<