LPL විකාශන අයිතියේ කැපී පෙනෙන වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2857

මෙම වසරේ ජූලි 30 සිට අගෝස්තු 21 දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියරේ විකාශන අයිතිය ප්‍රසිද්ධ ක්‍රීඩා නාලිකාවක් වන Star Sports සමාගම විසින් ලබාගෙන තිබෙනවා. 

ඒ අනුව මෙවර තරගාවලිය Star Sports යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මාලදිවයින සහ MENA කලාපයේ (සෞදි අරාබිය ඇතුළුව) රටවල්වල සිටින ප්‍රේක්ෂකයින්ට තරගාවලිය නැරඹීමට හැකි වෙනවා.  

“අපි ඉතාම සතුටින් කියන්න කැමති Star Sports තමයි අපගේ හතරවැනි අදියරේ නිල විකාශකයා කියලා. LPL තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට වෙනසක් ඇති කළා විතරක් නෙවේ තරුණ ක්‍රීඩකයින්ට දස්කම් දැක්වීමට හොඳ අවස්ථාවක් ලබා දුන්නා.  

මේ තරගාවලියට Star Sports වැනි ප්‍රබල කණ්ඩායම් එක්වීම සමඟ මෙම තරගාවලිය ඉතා විශාල ගෝලීය ප්‍රේක්ෂකයින් පිරිසක් එක් වෙනවා වගේම ඒ මඟින් තරගාවලියේ දසුන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ රටවල් සහ MENA කලාපයේ ප්‍රේක්ෂකයින්ට රැගෙන යාමට හැකි වෙනවා,” යැයි IPG ප්‍රධානි අනිල් මෝහන් ප්‍රකාශ කළා.  

“මම විශ්වාස කරනවා ඉතා තරගකාරී තරග සහ රසිකයින් අතර ඇති දැඩි උද්‍යෝගයට මඟින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඔසවා තබන්න පුළුවන් වෙයි කියලා. Star Sports වැනි කීර්තිමත් විකාශකයෙකු සිටීමෙන් තරගාවලිය පුළුල් ලෙස ලෝකයට ගෙන යන අතර ප්‍රේක්ෂකයින් වැඩි වශයෙන් එය පිළිගන්නවා,” යැයි තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩංවල මහතා ප්‍රකාශ කළා.  

Star Sports සමාගම ජාත්‍යන්තර සහ දේශීය තරගාවලි රැසක නිවහන ලෙස හැඳින්වීමට හැකි අතර ICC, Indian Premier League, Cricket Australia, Indian Super League, Premier League සහ Wimbledon වැනි ප්‍රධාන පෙළේ තරගාවලිවල විකාශන අයිතිය ඔවුන් සතු වෙනවා.  

“ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ ඇති මෙම සම්බන්ධය අපි ඉතා උද්‍යෝගයෙන් පිළිගන්නා අතර එය ඉන්දීය උප මහද්වීපයේ සහ MENA කලාපයේ ප්‍රේක්ෂකයින් වෙත ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. මේ සමඟ තරගාවලිය විශාල ප්‍රේක්ෂකයින් රැසකට විවර වෙන අතර අපි බලාපොරොත්තු වෙනවා උසස් තරගාවලියක් ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන්න,” Star Sports ප්‍රකාශකයෙකු සඳහන් කළා.  

මෙවර තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලෙස Babar Azam, Shakib Al Hasan, David Miller ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සහභාගී වන අතර තරගාවලිය කොළඹ සහ මහනුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි 

කණ්ඩායම් පහක් සහභාගී වන මෙම තරගාවලිය සඳහා Colombo Strikers, Dambulla Aura, Galle Titans, Jaffna Kings සහ B-Love Kandy යන කණ්ඩායම් තරග වදිනවා.  

ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<