මුම්බායෙන් තවත් විශිෂ්ට හඹා යාමක්!

IPL 2023

2051

2023 IPL තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් Mumbai Indians සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (3) පැවැත්වුනා.

මෙවර තරගාවලියේ 46 වැනි තරගය ලෙස ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Mumbai Indians නායක Rohit Sharma විසින් වන අතර ඔහු පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණු පන්ජාබ් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 9ක් ලබා සිටි Prabhsimran Singhගේ කඩුල්ල දවා ගැනීමට Arshad Khan විසින් සමත් වූ අතර ඉන් පසුව පිටියේ එක් වූ Shikhar Dhawan සහ Mathew Short විසින් පන්ජාබ් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

Piyush Chawla විසින් ලකුණු 30ක් ලබා සිටි Shikhar Dhawanගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව එම සබඳතාව බිඳ වැටුණු අතර, ඉන් පසුව Liam Livingstone පිටියට පිවිසුණා. නමුත් පන්ජාබ් ඉනිමේ ලකුණු 95ක් සටහන් වන විට ඔවුන්ගේ තෙවන කඩුල්ල ලෙස Shortව දවා ගැනීමට නැවතත් ක්‍රියාත්මක වූ Chawla විසින් සමත් වූ අතර ඉන් පසුව Jitesh Sharma විසින් Livingstone සමඟ පිටියේ එකතු වුනා.

මෙවර තරගාවලියේ ඉතා ප්‍රවේගකාරී ඉනිම් දියත් කරමින් විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් වී සිටින Jithesh සහ Livingstone විසින් එතැන් පටන් මුම්බායි පන්දු යවන්නන්ට දිගට හරහට පහර එල්ල කිරීමට පටන් ගත් අතර ඔවුන් දෙපළ විසින් පන්දු 52ක් පමණක් වැය කරමින් නොබිඳුණු ලකුණු 119ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

මෙහි දී මුම්බායි විසින් බොහෝ බලාපොරොත්තු සහිත ව සිය කණ්ඩායම සමඟ එකතු කර ගත් Jofra Archer විසින් යැවූ තරගයේ 19 වැනි පන්දු වාරයේ දී Liam Livingstone විසින් පිට පිට හයේ පහර තුනක් එල්ල කරමින් සමස්ත පන්දුවාරය තුල ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව Archer විසින් සිය පන්දුවාර 4 නිමා කළේ පන්ජාබය වෙනුවෙන් ලකුණු 56ක් ලබා දීමෙන් අනතුරුවයි. නමුත් ඔහු එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට සමත් වුනේ නැහැ.

මේ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට පන්ජාබය කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 214ක් රැස් කිරීමට සමත් වුනා. මෙහි දී Liam Livingstone විසින් පන්දු 42කින් ලකුණු 82ක් සහ Jithesh Sharma විසින් පන්දු 27කින් ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා.

මුම්බායි වෙනුවෙන් සාර්ථක ම පන්දු යවන්නා වීමට සමත් වූ Piyush Chawla සිය පන්දුවාර 4තුල ලකුණු 29කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඉන් පසුව පන්ජාබය ලබා දුන් අති දැවැන්ත ඉලක්කය හඹා යාමේ අභියෝගය භාර ගැනීමේ අභිප්‍රායෙන් යුතු ව මුම්බායි සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන Rohit Sharma සහ Ishan Kishan විසින් පිටියට පිවිසුණු අතර ඉනිමට කිසිදු ලකුණක් හෝ එක් වීමට පෙර ම Rohit Sharmaව ලකුණු නොලබා සිටිය දී ම දවා ගැනීමට Rishi Dhawan විසින් සමත් වුනා.

නමුත් ඉන් පසුව Ishan සමඟ පිටියේ එක් වූ Cameron Green ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, Nathan Ellis විසින් ලකුණු 23ක් ලබා සිටි Greenගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව එම සබඳතාව නිමා වුනා. නමුත් ඉන් පසුව Ishan සමඟ පිටියේ එක් වූ Suryakumar Yadav ඇඟට පතට නොදැනී ලකුණු ලබා ගැනීමට පටන් ගත් අතර ඔවුන් දෙපළ විසින් මුම්බායි ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 116ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. ඔවුන් ඒ සඳහා වැය කලේ පන්දු 55ක් පමණයි.

මෙහි දී Suryakumar Yadav විසින් පන්දු 31කින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු මුම්බායි ඉනිමේ තෙවන කඩුල්ල ලෙස දැවී ගිය අතර, සිය සටන් සගයාගේ දැවී යාමෙන් අනතුරුව Ishan Kishan ද ඉනිමට තවත් ලකුණු 8ක් එක් වන විට ලකුණු 75කට දවා ගැනීමට Arshdeep Singh විසින් සමත් වුනා. Kishan විසින් සිය ඉනිම සඳහා වැය කලේ පන්දු 41ක් පමණක් වන අතර ඔහු සිය ඉනිම වෙනුවෙන් අලංකාර හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් ද එල්ල කිරීමට සමත් වුනා.

මුම්බායි ඉනිමේ 17 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී Kishan දැවී යන විට ඔවුන්ගේ ලකුණු පුවරුව දිස් වුනේ ලකුණු 178කට කඩුලු 4ක් ලෙසයි. ඒ වන විට තමන්ගේ අතින් ගිලිහී යමින් තිබූ තරගය නැවතත් සියතට ගැනීමට පන්ජාබ් පන්දු යවන්නන් විසින් දැඩි වෙහෙසක් දරමින් සිටිය ද, ඉන් පසුව පිටියේ එක් වූ Tilak Varma සහ Tim David විසින් පන්ජාබ් සිහිනය සැණකින් බොඳ කර දැමීමට සමත් වුනේ ඉනිමේ පස් වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 38ක සබඳතාවක් පවත්වමිනුයි. මෙහි දී David පන්දු 10කින් ලකුණු 19ක් සහ Varma පන්දු 10කින් ලකුණු 26ක් ද නොදැවී ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව මුම්බායි පිතිකරුවන් විසින් පන්දුවාර 18 පන්දු 5ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට සමත් වුනා.

මෙහි දී මෙතෙක් කල් පන්ජාබය වෙනුවෙන් අතිශය සාර්ථක පන්දු යවන්නා වූ Arshdeep Singh හට එළව එළවා පහර දුන් මුම්බායි පිතිකරුවන් ඔහුගේ පන්දුවාර 4 නිමා වීමටත් පෙර ලකුණු 66ක් උදුරා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව Punjab Kings කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයක් කරා ගිය Mumbai Indians කණ්ඩායම 2023 IPL ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත් වූ අතර පන්ජාබයට දැන් ලකුණු සටහනේ හිමි වී ඇත්තේ 7 වැනි ස්ථානයයි.

Mumbai Indians වෙනුවෙන් වේගවත් ලකුණු 75ක් ලබා ගත් Ishan Kishan විසින් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තා.

  • Punjab Kings 214-3 (20) Liam Livingstone 82*, Jitesh Sharma 49*, Piyush Chawla 2-29
  • Mumbai Indians 216-4 (18.5) Ishan Kishan 75, Suryakumar Yadav 66, Nathan Ellis 2-34

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<